වෙනස් ජීවන විලාසිතාවක්; ප්‍රතිපත්තිමය දහමක්! | Page 2 | සිළුමිණ

වෙනස් ජීවන විලාසිතාවක්; ප්‍රතිපත්තිමය දහමක්!

කොරෝනාව විසින් අප සියලු ගති සිරිත්, ආචාර සමාචාර, සැමරුම් පමණක් නොව සාමාන්‍ය ජීවිතය ද වෙනස්ම මානයකට ඇද දමා තිබේ. ගෙවෙන මාස, සති හා දින ගැන නිනව්වක් නැතිව සේ මේ ගෙවී යන කාලය අතිශය සංශයවාදී ය.

බුදුන්ගේ තෙමඟුල සැමරෙන වෙසක් උළෙලෙහි අසිරියෙන් වෙනදා නම් මේ වනවිට රට ම ඇලළී ගොස් ය. චතුරාර්ය සත්‍යය ගැන ඇසෙන, අටලෝ දහම ගැන ඇසෙන කවි, ගීපද අද ඇසෙන්නේ නැත. රට පුරා ඇත්තේ ඇසට නොපෙනෙන වයිරසයක් විසින් අණසකට ගත් භයබිරාන්තකමකි; බිත්ති හතර ඇතුළට වී ජීවිතය බේරා ගන්නට කරන සටනකි.

අපේ රටේ ජාතික උත්සව අතරින් වෙසක් උත්සවය ප්‍රමුඛතම ආගමික උලෙළයි. එහි ආරම්භය හා විකාශය පිළිබඳ ශාස්ත්‍රීය නිර්වචන බොහෝ ය. එහෙත් ඒ ශාස්ත්‍රීය මට්ටමට මෙහා ඇති ප්‍රායෝගිකත්වය විසින් අපට ජීවන පරමාදර්ශ උරුම කර දී ඇත්තේ ය. එනිසා වඩා වැදගත් වන්නේ වෙසක් උලළෙහි සමාජීය අදාළත්වය කතා කිරීම ය. සිංහලයන්ගේ ආර්ථිකය වැව් පදනම් කරගෙන සකස් වූයේ යම් සේද ඔවුන්ගේ ජීවන ශික්ෂාව සුමට වූයේ බුදුදහම පදනම් කරගෙන ය. මහ ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ සිංහල බුදු සමය යනුවෙන් හඳුන්වන්නේ එයින් ජනිත වන අදහස් සමුදායක සමුදයාර්ථයකි.

තම ශාස්තෘවරයාගේ ගුණ සිහිපත් කිරීම, උන් වහන්සේ සිහිපත් කරමින් ආගමික සංකේත වන්දනා කිරීම, සිද්ධස්ථාන නැරඹීමට යෑමෙන් පහන් සංවේගයක් ඇති කර ගැනීම, තොරණ, පහන්කූඩු හා වෙසක් සන්දර්ශන නැරඹීමෙන් විනෝදයක් ලැබීම ආදී වශයෙන් සංස්කෘතිකමය වටිනාකමකින් වෙසක් උළෙල විචිත්‍ර වෙයි. සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතික ජීවිතයෙහි වැදගත් කොටසක් වශයෙන් වෙසක් උළෙලහි අගය අඩු වී නැති බව වෙසක් සමය දෙස් දෙයි. බෞද්ධයන්

මතු නොව වෙනත් ආගමිකයන් ද පහන් කුඩු ආදිය නරඹීමෙන් වින්දනයක් ලබති; එය සංස්කෘතික මංගල්‍යයක් වන්නේ එනිසා ය. එනිසා ම එයට වාණිජමය වශයෙන් ලැබී ඇති වටිනාකම ද ඉහළ ය. ඒ වාණිජ වටිනාකමට බෞද්ධාගමික වීම අත්‍යවශ්‍ය ද නැත.

වෙසක් යනු ජීවිතයේ අනිත්‍යතාව පදනම් කරගත් උලෙළක් වීම අමතක වීමට ද මේ වාණිජමය කරුණ බලපෑම් කර තිබේ.

වෙනදා මාස කිහිපයක සිට බට කපා, වේළලා, එකට එක් ව කූඩු තනා, සව් කොළ අලවා, ඉටිපන්දම් ගසා දල්වන වෙසක් කූඩු වෙනුවට ප්ලාස්ටික් වෙසක් කූඩු අඩු මිලට මිලදී ගන්නට තිබේ. එදා මාස ගණනක් තිස්සේ මහන්සි වී හදන කූඩුවක් පුංචි සුළඟකට පැද්දෙද්දී පිළිස්සී යන්නේ ජීවිතයේ අනිත්‍යතාව මෙනෙහි කරමිනි. අද වෙසක් කූඩුවල ඉටිපන්දම් නැත; බට නැත; සව් කොළ නැත. ඉතින් පිච්චෙන්නේ ද නැත. එබැවින් වත්මන් දරුවන්ට අනිත්‍යතාව ගැන අත්දැකීමක් එමඟින් ලැබෙන්නේ ද නැත.

කොරෝනාව ගෙයි බිත්ති හතරට ජිවිතය කොටු කර තිබියදී ඔබට කළු වළාවෙන් මතු වී පෙනෙන මේ රිදී ඉර දෙස බලන්නට අපි ඇරියුම් කරමු. නිවැසියන් හා දරුවන් හා එක්ව වෙසක් උලෙළ සිය නිවෙසේ සිට සමරන්නට අවකාශ උදා වී තිබේ. ආගමික සහයෝගීතාවට පෙර සිඳී ගිය මානව සහයෝගීතාවට මෙමඟින් ඉබේ ම පාර කැපී තිබේ.

කොවිඩ් වසංගතය විසින් වෙසක් සමරන්නට අලුත් මානයක් ඉදිරිපත් කර තිබේ. අප අද එය අලුත් යැයි කීවාට ඇත්තට ම එය අපේ සාම්ප්‍රදායික පැවැත්ම ය. පිරිත අප බොහෝ ලෙඩ රෝග සඳහා පැවැත්මක් අපේක්ෂාවෙන් සජ්ඣායනය කරන්නකි.

පරිත්‍රාණ ධර්ම සජ්ඣායනා සත්‍ය ක්‍රියා බලයේ ආනිශංසය අනුරාධපුර රාජ්‍ය සමයේ අවස්ථා කිහිපයක දී ම ප්‍රත්‍යක්ෂ වූ බවට ඓතිහාසික සාධක පවතී. තම රාජ්‍යයේ සශ්‍රීකත්වය පතා භාතිය රජතුමා රුවන්වැලිසෑය මළුවේ වන්දනාමාන කරන අවස්ථාවක සෑ ගර්භය ඇතුළත රහතන් වහන්සේලා පිරිත් සජ්ඣායනා කරනු ඇසුණු පුවතක් මහාවංශයේ කියැවේ.

මහා නියං සායක් ඇති වුණ සමයේ සිරිසඟබෝ රජු රුවන්වැලි සෑයේ අබියස බුදු ගුණ සජ්ඣායනා කරමින් සිටින අතරතුර මහා වර්ෂාවක් ඇදහැළී නියං සාය දුරු වී ගිය බව පැවසේ. උපතිස්ස රජුගේ කාලයේ දී දුර්භික්ෂයක් ඇතිවූ කල්හි විශේෂයෙන් පිළියෙල කළ රථයක බුද්ධ ප්‍රතිමාවක් වඩා හිඳුවා, පැන් කළයක් ඉදිරිපිට තබා භික්ෂූන් වහන්සේලා පිරිසක් රතන සුත්‍රය සජ්ඣායනා කරමින් කිහිප වරක් නගරය දක්ෂිණා කොට පිරිත් පැන් ඉසීමෙන් පසුව මහා වැසි ඇද හැළී දුර්භික්ෂය නිමා වූ බව කියැ වේ.

උපතිස්ස රජතුමා එසේ කටයුතු කළේ, බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර දුර්භික්ෂය ඇතිවූ සමයේ පිරිත් සජ්ඣායනාවෙන් එය මැඩ පැවැත්වූ අයුරු පිළිබඳ සංඝයා වහන්සේගෙන් විමසා දැන ගැනීමෙන් පසුව ය. එදවස සජ්ඣායනා කර ඇත්තේ රතන සූත්‍රයයි. එයින් පසුව ආපදා අවස්ථාවන්හි පිරිත් දේශනා කරවා සෙත් පැතීමේ නියෝගයක් රජු විසින් පනවන ලද බව ඉතිහාසය කියයි. මෙසේ පිරිත් දේශනා කරවාගෙන සෙත් පැතීමේ අවස්ථා ගැන 9 වැනි, 12 වැනි සියවස්වල ලියවුණු ලිපි ලේඛනයන්හි ඇතුළත් ය.

අද ද දසතින් පිරිත් හඬ ඇසෙන්නේ ය. එය මනසට ශාන්තියක් එක්කරන්නේ ය. කොවිඩ් පිළිබඳ අනවරත බිය මඳක් හෝ සමනය කරන්නේ ය. එවන් වූ බුදු දහමකින් ජනප්‍රිය අර්ථයට වැඩි යමක් අපට බලාපොරොත්තු විය හැකිය. මේ ඒ බලාපොරොත්තුවට ඉඩ ලැබුණු දෙවන වෙසක් සමයයි.

වර්ෂ කිහිපයකට වරක් චීනයේ 'කහ ගඟ'දෙගොඩතලා යයි. දෑ ඉවුර පසුකරන දිය කඳ ගංගා නිම්නය ආලාපාලු කොට දමයි.

මේ පිළිබඳ ව දන්නා ගඟ දෙපස සිටින චීන්නු ඊට අනුගත ව ජීවත් වෙති. ව්‍යසනය නාසය අසලට ගොඩවදින තුරු නොයි ද ඔවුහූ නිරන්තර 'සූදානම් ශරීරයෙන්' කටයුතු කරති. කලකට පසුව චීනය සාරවත් ම අස්වැන්න නෙළන්නෙත් ගංවතුර දෙගොඩතලා ගිය දෑ ඉවුරෙනි.

ඔවුන්, විපත සැපතක් බවට පත් කරගන්නේ එහෙම ය. මේ ද එවන් අවස්ථාවකි. අප මේ විපත ගැන සවිඥානික වුවහොත් අපට කොවිඩ් පරාජය කිරීම අපහසු නැත.

වෙසක් මස ප්‍රදර්ශනවාදී බුදු දහමෙන් වැළකී, ප්‍රතිපත්තිමය බුදු දහමට ළං වීමට අපට කෙරෙන ආරාධනාව අප දෝතින් ම වැලඳ ගත යුත්තේ ඒ නිසා ය.

 

Comments