
‘හරි වහර‘ කියවන්නන් විසින් කරනු ලැබෙන විමැසුම් බොහෝ ය. එහෙත් මෙහි ලා ඉදිරිපත් කැරෙනුයේ වැඩි දෙනකුට පලවත් වෙති යි සිතෙන ගැටලු පිළිබඳ විමැසුම් ම ය. එ බඳු ගැටලුක් අත් ඉදිරිපත් කැරේ. මේ ගැටලුව නම් නිවැරැදි වදන සිංහල ද, සිංහළ ද යනු යි. ඒ ඉදිරිපත් කැරුණේ බස ගැන ගැඹුරු දැනුමක් නැත ද ඉතා විමැසිල්ලෙන්, සැලැකිල්ලෙන් බස යොදන්නකු විසිනි. ඔහු ගේ අදහස නම් අන් සියල්ලට පෙර මෙය නිවැරැදි වැ දත යුතු බව යි. සැබෑ ම අදහසෙකි.
සිංහල යනු සංස්කෘත භාෂාවට අයත් වන්නකැ යි ද සංස්කෘතයේ (දන්තජ) ‘ල‘ විනා (මූර්ධජ) ‘ළ‘ නො යෙදෙති යි ද එ හෙයින් ‘සිංහල‘ යනු ම නිවැරැදි යැ යි ද පවසා ඉතා කෙටියෙන් ගැටලුව විසැඳිය හැකි යි. එ වුව ද මෙ වදන ගැන දත යුතු තව ද බොහෝ කරුණු වන හෙයින් තව දුරටත් විමසා බලනු වටනේ ය.
සිංහල යනු ලක් දිව වසන ප්‍රධාන ජාතියත් ඒ ජාතියට අයත් භාෂාවත් හඳුන්වනුව යෙදෙන වදන යි. ඒ හා බැඳුණු තවත් බොහෝ දෑ ද සිංහල නමින් ගැනේ. සිංහල හාල්, සිංහල කැවිලි ආදිය නිදසුන් ය. නාම ප්‍රකෘතියක් වන සිංහල යනු අප්‍රාණිවාචී ව ‘සිංහලය - සිංහලයෙන් - සිංහලයට - සිංහලයෙහි‘ ආදි වශයෙන් ද, ප්‍රාණිවාචී ව ‘සිංහලයා - සිංහලයාට - සිංහලය‘ ආදී වශයෙන් ද වර නැඟේ.
මේ සිංහල නාමය පුරාතන සංස්කෘත ග්‍රන්ථයන්හි ද යෙදී ඇත. මහා භාරතයෙහි ද මෙය නොයෙක් තන්හි යෙදී ඇති බව පෙනේ. මේ එක් නිදසුනෙකි. ආදි පර්වයෙ ගැනුණෙකි.
පෞණ්ඩරාත් කිරාතාත් ද්‍රවිඩාත් සිංහලාත් බර්බරාංස් තථා
මහා භාරතයෙහි තව ද තැන්හී ද, කාශ්මීර රාජතරංගණී, බාල රාමායණ ආදි ග්‍රන්ථ ගණනාවෙක් හි ද සිංහල නාමය පෙනේ. එ හෙයින් මේ සංස්කෘතයෙහි ප්‍රචලිත වූවක් බව නිසැක ය.
‘සිංහල යනු පාලියෙහි එන්නේ ‘සීහළ‘ යන රූපයෙනි. එහි (මූර්ධජ) ‘ළ‘ යෙදේ. සමන්තපාසාදිතා ආදි අට්ඨකථාවන්හි මෙන් ම අභිධානප්පදීපිකා වැනි කෝෂ ග්‍රන්ථයන්හි ද වෙනත් පාලි ග්‍රන්ථයන්හි ද සීහළ නාමය යෙදී ඇත්තේ ය. ලංකාවේ පුරාතන ඉතිහාස කථා ඇතුළත් ‘සීහළවත්ථු‘ නම් ග්‍රන්ථයක් ද වෙයි.
මහාවංසයෙහි සිංහල නාමය ගැන ඇති සඳහන වඩාත් වැදැගත් වේ.
සීහබාහු නරින්දො සො සීහමාදින්නවා ඉති
සීහළො තෙත සම්බන්ධා ආහු සබ්බෙපි සීහළා මෙයින් සිංහල නාමය නිපැදුණු සැටි ද කියැවෙයි. එ නම් සිංහබාහු රජු (සිය පිය) සිංහයා ගත් හෙයින් (මැරූ හෙයින්) ඔහු සම්බන්ධ වූ (ඔහු ගෙන් පැවැතෙන) සියල්ලන් සිංහල (සීහළ) නම් වූ බවයි.
ධම්පියා අටුවාව ද කියන්නේ සිංහයා මැරූ හෙයින් සිංහල වූ බව යි.
“සීහබාහු රජ සිහකු මරා සීහළ නම් වී. ‘සීංහ ලුනවා ඉති සීහළො.‘ විඳෑ කුමර ඒ ඔහු දරු බැවින් ‘සීහළ‘ නම් වී. සෙසුවො එවුහු පිරිවර බැවින් සීහළ නම් වූහු.“
මෙ ගැන වෙනත් අදහස් ද වේ. පණ්ඩුකාභයන් විසින් (සිංහබාහු ගෙන් පැවැතෙන පණ්ඩුවාසුදේව පුත්‍රයන් ප්‍රමුඛ) සිංහ ජනයා මැරූ හෙයින් සිංහල නම එ තැන් සිට වී යැයි ද ඇතැම්හු කියත්.
සිංහල යනු සංස්කෘතයෙහි කුරුඳු යන අරුතින් ද යෙදේ. ලංකාවෙහි බෙහෙවින් කුරුඳු වැවෙන හෙයින් රටටත් දැයටත් සිංහල යනනම යෙදිණි යි ද ඇතැමෙක් කියත්.
මේ කවර මතය අනුව වුවත් සිංහල යන්නෙහි යෙදෙනුයේ (දන්තජ) ‘ල‘ ම ය. මෙහි ‘ල‘ යනු තද්ධිත ප්‍රත්‍යයයක් ලෙස සලකන්නෝ ද සිංහල යනු ම ලියත්. පාලියෙහි ‘සීහළ‘ යි (මූර්ධජ) ‘ළ‘ සහිත ව ලිවීම ගැන වාදයක් නැත.
ගැටලුවක් ඇති වනුයේ (මූර්ධජ) ‘ළ‘ සහිත ව සිංහළ යි යෙදීම නිසා යි. ඇතැම්හු මේ අපශබ්දයක් හෙවත් අපව්‍යවහාරයකැ යි සලකා එක හෙළා බැහැර කරත්. එ වුව ද, මධ්‍යතන අවධියේ ඇතැම් සෙල් ලිපියෙක පවා මේ යෙදුම දක්නා ලැබේ. ඒ ගල් වඩුවා ගේ භ්‍රමයක් හෝ ප්‍රවාදයක් යැ යි දැක්විය හැකි ය. එහෙත් නූතන අවධියේ වියතුන් විසිනුදු සිංහළ යනු යොදා ඇති බව පෙනී යයි.
ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලකයන් ‘සිංහළ සාහිත්‍ය ලිපි‘ යි තම පොතක් නම් කිරිම මෙහි ලා අගනා නිදසුනෙකි. එ තුමන් ගේ ප්‍රධාන සංස්කාරකත්වයෙන් ඇරැඹි ශබ්ද කෝෂයෙහි ද මුල් කලප් පළ වූයේ ‘සිංහළ ශබ්ද කෝෂය‘ නමිනි.
වඩාත් මෑතෙක දී ‘සිංහළ‘ යනු වහරෙහි පතළ කරන අරීසෙන් අහුබුදුවන් විසිනි. ඔවුන් එහි නිපැදියාව (නිප්පත්තිය) දැක්වූයේ සිවුහෙළ > සීහෙළ > සිංහළ යනුවෙනි. එ කියන සිවු හෙළයෝ නම් යක් (යක්ෂ), රකුස් (රාක්ෂය), අසුර, නා (නාග) යන්නෝ යි. ඔවුන් ගේ එකතුවෙන් සිංහල ජාතිය ඇති වූ බව අහුබුදුවන් ගේ අදහස විය. වෙල්ලාල ජයමහ නමින් පතළ වූ කවියා ද එ බව දක්වා ඇති.
අරීසෙන් අහුබුදුවන් පළ කළ එ බඳු නිරුක්ති නොපිළිගන්නෝ පවා ඔවුන් බසට කළ මෙහෙය සමරති. ඔවුන් ගේ වියොවින් දස වසරක් පිරෙන මේ සතියේ දී ඒ වෙසෙසින් සැමැරිය යුතු යි.
කවියකු, ගීත ප්‍රබන්ධකයකු, ගද්‍ය රචකයකු, ජාති හිතෛෂී විද්වතකු ලෙස ප්‍රකට වූ අහුබුදුවෝ ‘නිවැරැදි බස ඔසොවයි රැස‘ යන දර්ශනයෙන් යුතු ව නිවැරැදි බස් වහර සුරැකීමටත් පැතිරැවීමටත් සිය දිවිය පුරා මහ මෙහෙවරක් කළ හ. පොත්පත් ලිවීමෙන් ද දෙසුම් පැවැත්වීමෙන් ද (මේ ‘හරි වහර‘ වැනි) පුවත්පත් ලිපි ලිවීමෙන් ද කළ මෙහෙවර දැයේ හරසරට ලක් වනු ඇති.
‘සිංහළ‘ යි (මූර්ධජ ‘ළ‘ සහිත ව) ලිවීමට ප්‍රාමාණික සාධක නො ලැබෙන තෙක් ‘සිංහල‘ යනු ම නිවැරැදි සේ සැලැකීම මැනැවි.