කොරහේ කිඹුලන් දැකීම | Page 2 | සිළුමිණ

කොරහේ කිඹුලන් දැකීම

න්ධකාරයට බිය දරුවකුට පහසුවෙන් සමාව දීමට අපට හැකිය. නමුත් සැබෑ ජීවිතයේ ඛේදවාචකය නම් වැඩුණු මිනිසුන් ආලෝකයට බිය වීමය කියා ප්ලේටෝ පවසා තිබේ. බොහෝ මිනිසුන් ආලෝකයට දියුණුවට බිය වෙති. ඒ එහි උපයෝගීතාව පිළිබඳ නොදැනුම්වත්කමිනි. වරාය නගරය ගැන ද එසේ ම ය. සමහරු මේ කුමක්ද කියාවත් නොදනිති; එහෙත් විලාසිතාවට වාගේ විරුද්ධ වෙති.

ලෙනාඩ් වුල්ෆ් 1910 දී හරි අපූරු ප්‍රකාශයක් කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 1908 සිට 1911 දක්වා උප දිසාපතිවරයාව සිටි ඔහු ලාංකිකයන් අතර බෙහෙවින්ම ප්‍රචලිතය. ඔහු කියා ඇත්තේ ‘හම්බන්තොටට වරායක් හදනවා නම් ඒකම මේ රට දියුණු කරන්න ඇති කියා ය‘. එසේ කියූ ඔහු 60 දශකයේදී ලංකාවේ සංචාරයකට පැමිණි අවස්ථාවේ අසා ඇත්තේ ‘තවමත් හම්බන්තොට වරායක් හැදුවේ නැද්ද‘ කියා ය. ලෙනාඩ් වුල්ෆ් දුටු සිහිනය සැබෑ වෙන්නට ශතකයක් ගත විය. නානා ප්‍රකාර බේගල් කියූව ද එහි උපයෝගිතාව අද ප්‍රායෝගිකවම ඔප්පු වී හමාරය. වරාය නගරය ගැන අතේ පැළවෙන බොරු කියන බොහෝ දෙනා ද මේ වැනි ම ය. කුමක් හෝ සංවර්ධනයක් ගැන කියද්දී ඔවුන්ට ජීවිත කාලයේ ම නොතිබූ තරම් ජාති වාත්සල්‍යයක් ඇති වෙයි. ඉනික්බිති ඔවුහු පොදු ජනතාව කුපිත වන අන්දමේ ප්‍රකාශ නිකුත් කරති. අවසන සංවර්ධනයේ සැබෑ ප්‍රතිඵල භුක්ති විඳීමේදී නම් අර කිසිවක් මතක නැත. ගැසූ බෙරයකුත් නැත; බෙරේ පළුවකුත් නැත කියන්නේ මේවාට ය.

හුඹස් බිය නිසා වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු යහපාලන ආණ්ඩු සමයේ තාවකාලික ව වසර දෙකහමාරක් පමණ අත්හිටෙව්ව ද පරිසර වාර්තා කැඳවීමෙන් පසු නැවත ආරම්භ කළේ ය. එනිසා සිදු වූ පාඩුව බිලියන ගණනකි; මේ වන විට කෑගසන කාටවත් ඒ ගැන මතක නැති වීම ඛේදවාචකයකි. ඔවුහු කොරහේ කිඹුල්ලු දකිති. එහෙත් හූනෙක්වත් දැකගත නොහැකි වෙති. චීන කොලනි කතාවත්, ගණිකා මඩම් කතාවත්, රාත්‍රී සමාජ ශාලා කතාත් කියමින් නැති බියක් මවන්නට උත්සාහ ගනිති.

මේ සුරංගනා කතා කියමින් කල් මැරිය හැකි කාලයක් නොවේ. ශීඝ්‍රයෙන් ආර්ථික දියුණුවක් සාක්ෂාත් කරගත යුතු කාලයකි. වසංගතයක් ලොව ම ආක්‍රමණය කරමින් සිටියදී රටක් ආගාධයට යනතෙක් වගකිව යුතු පාලන තන්ත්‍රයකට බලා සිටිය නොහැකි ය. ව්‍යාපාර කිරීමේ පහසුව අතින් ආයෝජකයන්ට වඩාත් සුදුසු රටවල් අතර ලංකාව සිටින්නේ 165 වැනි ස්ථානයේ ය. එසේ බලන කල ලංකාව සිටින්නේ ආයෝජන තත්ත්ව අනුව පහළ ම ස්ථානයක ය. විදෙස් ආයෝජකයන් ලංකාවට ගෙන ඒමේ කඩිනම් සැලැස්මක්, ව්‍යාපෘතියක් සැකසීම අත්‍යවශ්‍ය කරුණක් ව පවතින මේ මොහොතේ කෙරෙන කඩිනම් සංවර්ධන ඉලක්ක වෙත අකුල් හෙළීම ශක්තිමත් විපක්ෂයක කාර්යය නොවිය යුතුය. පෘථිවියේ මහාද්වීපවලට වඩා සාගරය වැඩිය.

දිනෙන් දින වැඩිවන ජනගහනයට සුදුසු ගොඩබිම් හා ආර්ථික කලාප ඇතිකිරීම එනිසා අත්‍යවශ්‍ය කරුණකි. මේ අධික අවශ්‍යතාව වෙනුවෙන් සාගරය ගොඩකර ගොඩබිම් තනන්නට මිනිසා පෙලඹුණේ අද ඊයේ නොවේ ය. ලොව පුරා රටවල් රැසක ම සාගර කලාප ඉදිකර ඇත්තේ ඒනිසා ය. සාගර නගරවල ඇති ආකර්ෂණීය නිමැවුම ද සංචාරක පෙලඹවීම ඇති කරන්නේ ය. තායිලන්තයේ කෝ පෙන්සි නගරය, මෙක්සිකෝවේ වැනීසිය, ජපාන වරාය නගරය, ග්වාතමාලාවේ ෆ්ලෝරිස් නගරය, ඩුබායි පාම් නගරය මහ මුහුද ගොඩකර නව නගර ඉදිකරන ලද සාර්ථක අවස්ථා ය.

එමෙන්ම අප වරාය නගරය ඉදිකරන චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම ලෝකයේ ප්‍රධාන ඉදිකිරීම් සමාගම් 225 ක් අතර දහවැනි ස්ථානයේ සිටියි. මෑත කාලය ඇතුළත මෙරට දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටරවුම් පාර, හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොළ යනාදී වශයෙන් ඉදිකිරීම් ගණනාවකට මෙකී සමාගම සම්බන්ධ විය. එබැවින් සමාගමේ ක්‍රියාපටිපාටිය ගැන බිය විය යුතු නැත.

බොහෝදෙනෙක්ට ප්‍රශ්නයක් වී තිබුණේ වරාය නගර කොමිසම ගැන ය. යෝජිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ බහුතරය ශ්‍රී ලාංකියන් බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මුදල් අමාත්‍යාංශ ලේකම් හා කැබිනට් මණ්ඩල ලේකම් වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ඉකුත් 22 දා ය. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් කැඳ වූ අවස්ථාවේදී අතරමැදි පෙත්සම් වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළේ ය. වරාය නගරය ශ්‍රී ලංකාවේ පාලනයෙන් නිදහස් ය කියමින් බොරු භීතිකා මවමින් වරාය නගරය ගැන හුඹස් බියක් ඇති කරමින් කතා කළ බොහෝ දෙනකුට ඒ පිළිතුර ප්‍රමාණවත් ය.

නව රැකියා අවස්ථා උදා වීම, සංචාරක පුරයක් සේ දෙස් විදෙස් ආකර්ෂණයට නතු වීම, ඍජු ආයෝජන කලාප වර්ධනය වීම, රටේ දේශීය නිෂ්පාදනවලට අසීමිත වටිනාකමක් ලැබීම වැනි ඍජු ප්‍රතිලාභ රැසක් මේ හරහා රටට ලැබීම වැළැක්වීමට නොහැකිය.

සර්ව අශුභවාදී වෙමින් දේශපාලන කෝණයෙන් මේ විසල් ලෝකය දෙස නොබලා සියල්ල විවේචනය කරමින් සිටීම එක් අතකින් ඛේදජනක ය. කොළඹ වරාය නගර පනත මේ වන විට අන්තර්ජාලයේ තිබේ. ඕනෑ ම කෙනෙකුට එය කියවා ගැනීමට හැකිය. එසේ නොකියවා හිතේ තියෙන තියෙන දේවල් තැන තැන කියන්නට යෑම අතාර්තික ය. වරාය නගරය හේතුවෙන් ඉදිරියේදී විවර වන විසල් ලෝකය ඉදිරියේ ඇති අවස්ථා ගැන සවිඥානික වීම වැදගත් ය.

ප්‍රකට විද්වතකු මේ වැනි අවස්ථා හා පටු චින්තනය ගැන හරි අපූරු කතාවක් කියා තිබේ. එනම් ‘ඔබ හැදී වැඩුණු කොටුවෙන් පිටතට නොගියහොත්, ලෝකය කොතරම් විශාලදැයි ඔබට වැටහෙන්නේ නැත‘

Comments