
සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ හරියටම තව දින දෙකකි. සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික මංග්‍යලයයි. අප ද, ප්‍රජාව ද, භූමිය ද ඒ අනුව සමස්ත සමාජයීය, පාරිසරික ක්‍රියාවලිය ද අලුත් වෙන කාලයයි. හිතේ සතුටට අලුත් අවුරුද්දේ වත් පිළිවෙත් චාරිත්‍රානුකූල ව ඉටු කරන්නට නොහැකි වන්නේ නම් එය අසතුටට කරුණකි.
මීට වසර 115කට එපිට එනම් 1904 අප්‍රේල් මාසයේ සිංහල අවුරුද්දට දෙතුන් දවස පෙර මහ ගෙදර පවත්වන ලද උත්සවයකින් කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ වගතුග කීමෙන් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ නවකතාව ආරම්භ වෙයි. 1944දී මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියනු ලැබූ මේ නවකතාවේ මීට ශතවර්ෂයකට පෙර සිංහල ගමක සිංහල අවුරුද්ද පවත්වන ලද ආකාරය මනාව විස්තර වෙයි.
“සිංහල අවුරුද්ද නිමිත්තෙන් අවුරුද්දකට දෙතුන් දවසකට කලින් ගමේ ප්‍රධාන පවුල් තුන හතරකට අලුත් වළන් කත් ගෙනෙන කුඹුල්කාරයෝ බතින් ද අනතුරුව රසකැවිල්ලෙන් ද සංග්‍රහ ලබති. වළන් කත් වෙනුවට ඔවුන් ලබන්නේ සහල්, පොල්, මිරිස්, ලුණු, කැවුම්, අතිරස යන ආදියයි. ඔවුහු ඉතා සන්තෝෂයෙන් ඒ ද්‍රව්‍ය ගෙන ගොස් අඹු-දරුවන් සමඟ අවුරුදු කති. කුඹල්කාරයෝ වළන් කත් සමඟ පොඩි වළන් අඩුක්කුව බැගින් ද ගෙනෙති. මේ පොඩි වළන් කුඩා දැරියන් උදෙසා ය.”
සිංහල අලුත් අවුරුද්ද එදා මෙදාතුර ජන විඥානයට බලපෑම් කරන්නේ ජීවිතය හා අත්‍යන්තයෙන් ම බැඳෙමිනි. එය ජීවන අංගයක් ම විනා අන් යමක් නොවේ.
සමස්‌ත අවුරුදු උත්සවයට පාදක වූ කරුණු අතරින් ප්‍රමුඛත්වයක් ලැබු ක්‍ෂේත්‍ර කීපයකි. එයින් පළමු තැන හිමි වන්නේ ජ්‍යෝතීර්වේදයටයි. සූර්ය වන්දනාව හා අභිචාරී සිරිත් තව ක්ෂේත්‍රයකි. වෙනස් වෙමින් පැවත එන සාම්ප්‍රදායික සංස්‌කෘතික අංග අවුරුදු උලෙළ ඔපවත් කරන්නේ ඊට බෙහෙවින් වටිනාකමක් එක්කරමිනි. සාරධර්ම වර්ධනය කිරීම ද; සාමූහික චින්තනය ද මෙකල්හි වර්ධනය වේ. මේ සියල්ල ම කැටි කොට විචිත්‍ර වූ අවුරුදු උත්සවය පවත්වනු ලබන්නේ ඒ වෙනුවෙන් ම ඇති චාරිත්‍ර ක්‍රියාවට නැංවීමෙන් ය.
හත්වන සියවසේ දී පමණ සීගිරිය බලන්නට ගොස් එහි සිතුවම් නරඹා අසල වූ කැටපත් පවුරෙහි ගීයක් කුරුටු ගෑ කවියකු ද බක් මහේ නව සඳ ගැන සඳහන් කළේ ‘නව බග් ල සන්ද්’ යනුවෙනි. තමා බක් මහේ නව සඳ දුටු මිනිසකු යැයි ඔහු ආඩම්බරයෙන් පැවසූ බව ද සඳහන් වේ. නව සඳ බැලීමේ චාරිත්‍රය එකල පටන් පැවැති බව ඉන් අර්ථවත් වේ.
ඉරු දෙවියන් මෙන්ම සඳ දෙවියෝත් ලෝකය ආලෝකවත් කරති. අවුරුදු කාලයට සිංහල බෞද්ධයෝ දෙවරක් සඳ බලති. එක් වරක් පරණ අවුරුද්දට ය; අනෙක් වර අලුත් අවුරුද්දට ය.
අලුත් අවුරුද්දේ පායන්නේ නව සඳ යි. අලුත් අවුරුද්දට නව සඳ බැලීමෙන් සිත ශක්තිමත් කෙරෙතැයි අදහස් කෙරේ. නව සඳ දවසින් දවස මෝරා පුර සඳක් බවට පත් වන්නාක් මෙන් උදා වුණු අලුත් අවුරුද්ද ද වාසනාවෙන් පිරේවා යැයි සිංහලයෝ ප්‍රාර්ථනා කරති.
මේ අනුව අලුත් අවුරුද්ද යනු සිද්ධි ක්‍රියාදාමයක එකතුවකි. යක්‍ෂ, නාග, දේව, රාක්‍ෂ ආදී සිවු හෙළයන්ගේ ආදි ම ඉතිහාසය විමසන විට ද රාවණ, තාරක, මනු වැනි සූර්යවංශිකයන් වර්ෂයේ හිරු ගමන මුල්කොට නැකැත් කෙළි පවත්වා ඇති බව ඉතිහාසයේ සඳහන් ය. ක්‍රි. පූ 400 වැන්නේ පමණ පණ්‌ඩුකාභය රජු දවස නැකැත් කෙළි ක්‍රීඩාවෙන් සිත් ඇලවී යැයි මහාවංශය සඳහන් කරයි. ප්‍රධාන ජීවන මඟ ගොවිකම කරගත් අපේ ඇත්තන්ට සූර්ය මංගල්‍යය වෘත්තියෙන් ම උරුමව පැවත එයි; ඒ ගොවිතැන හා හිරු අතර පවතින අසීමිත සබඳතාව නිසා ය. ලොව පවතින සියලු ම ජීවී, අජීවී, වස්‌තූන්ගේ උපත පැවැත්ම හා අභාවය පාලනය කිරීමේ බලය පවතින්නේ ද හිරුට ය. ඒ නිසාම පෘථිවියෙන් මහකන්නයේ අස්‌වැන්න ලබන බක් මාසයේදී ම කෘතවේදීත්වය හුවා දක්‌වමින් අලුත් සහල් මංගල්‍යයෙන් අවුරුදු සිරිත පුරති. ඒ අවුරුදු උදාවේ එක් ලකුණකි.
ඇඳිරි නීතිය නිසා ගෙදරට ම වී සැමරූ පසුගිය අවුරුදු සමය මෙන්ම, මුළුමනින් ම නිදහස් නොවූ මෙවර අලුත් අවුරුද්ද ද කොරෝනාව ගැන මතකය හා පරිස්සම මුළුමනින් ම නිමා නොවූ සමයෙකි. තවමත් කොරෝනා භීතිය මුළුමනින් ම පහව ගොස් නැත. සෞඛ්‍යාරක්ෂාවට අනුකූලව ඒ නීතිරීති අනුගමනය කරමින් නිරෝධායන ආරක්ෂාව තමන් විසින් ම සලසා ගැනීම වැදගත් ය.
අලුත් අවුරුද්ද ලෙස අප අර්ථකථකතනය කර ගන්නේ ම පිරිසුදු හා නිරෝධායන ක්‍රියාවලියකි. අවුරුද්ද එළැඹෙත් ම අපි ගේ දොර අස්පරස්කර හුනු, තීන්ත හෝ ගොම ගා විෂබීජ හරණය කරන්නෙමු. පරණ ඇඳුම් වෙනුවට අලුත් ඇඳුම්, පරණ ළිප වෙනුවට ගොම ගා පිරිසුදු කරන ලද නව ලිප, කිරි ඉතිරුවන නව මුට්ටිය, කිරිබත් උයන නව වළඳ ආදිය නව බවේ, පිරිසුදු බවේ ලකුණු ය. අනතුරු ව හදන හත්මාළුව; අපි සැමගේ උදර සුවතාව උදෙසා ය. නොනගතය; ගෙදර ගෘහිණියට විවේකයක් උදෙසා ය. නොනගතයේ පන්සල් යන අපි මනසින් ධාර්මික ව ද; ගතින් නිරෝධායනය ද වෙමු. පන්සල් භූමියට ඇතුළු වෙද්දී ම පයට පෑගෙන වැලි කැට ඔබේ පයේ ස්නායූ උද්දීපනය කරයි. කාබන්ඩයොක්සයිඩ් වැඩියෙන් ම උරාගන්නා ශාකය සේ නම් ලද බෝ ගස විෂ වායු උරාගෙන ඔක්සිජන් සම්පාදනය කරයි. ඒ ද නිරෝධායනයකි. ළිඳ සමඟ කරන ගනුදෙනුව, නැකතට හිස තෙල් ගෑම ආදී අප පුරාණ චාරිත්‍ර විධි සියල්ල ම නිරෝධායනයේ විවිධ ක්‍රමෝපායන් ය. කොටින්ම කිවහොත් සිංහල අලුත් අවුරුද්ද ම නිරෝධායන ක්‍රියාවලියකි. තම සමීපතමයන් ට ආදරය කරන්නට උගන්වන අලුත් අවුරුද්ද; කොරෝනාව සමඟ ජීවත් වන්නේ කෙසේද යන්න ද ස්වභාවික නිරෝධායන නීති ඔස්සේම ජීවන දහමෙන් ම සාක්ෂාත් කරවයි. ආයූ බල වඩවන බොහෝ දෑ එහි අන්තර්ගත ය. එවැවින් අලුත් අවුරුද්ද යනු ජීවන දහමේ ම කොටසකි; නැත්නම් ජීවිතයට එය ආගමක් සේ සබැඳි ය.
සිංහල හින්දු අලුත් අවුරුද්ද සබඳතා අලුත් කරන සමයෙකි. ඒ සබඳතා සිය ආයු, බල, වර්ණ රැකෙන සේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූල ව සිදු කළ යුතු ම ය.
ඒ, නිරෝධායන සුබ අලුත් අවුරුද්දක් උදෙසාය.