අභි­මා­න­වත් 91 වස­රක් | Page 2 | සිළුමිණ

අභි­මා­න­වත් 91 වස­රක්

ලංකාවේ පරිණතම ඉරිදා පුවත්පත වන සිළුමිණට මාර්තු 30 වැනිදාට වසර 91 ක් පූර්ණය වේ. සති අන්ත පුවත්පත් අතර එදා සිට අද දක්වා අවිච්ඡින්නව පැවත එන එක ම ජාතික පුවත්පත වන්නේ සිළුමිණයි. අනූ එක් වසරක් යනු පුද්ගල ජීවිතයක නම් ඇසූපිරූ තැන් ඇති පරිණතම අවදියයි. පුවත්පතක් විෂයයෙහි එය තවත් යමක් එකතු වෙයි. එනම් ඇසූ පිරූ තැනින් නොනැවතී පාඨක සමාජය සමඟ ස්වකීය දැනුම් සම්භාරය බෙදා හදා ගැනීමයි. පාඨකයාට කිසිවක් ප්‍රධානය කිරීම සේම යළිත් පාඨකයාගෙන් කිසිවක් ලබා ගැනීම ද ඵලදායී පුවත්පත් කලාවේ සම්ප්‍රදායයි. ඒ පෝෂණ - ප්‍රතිපෝෂණ සම්ප්‍රදානය මැනවින් එදා සිට රැකි පුවත්පතක් වශයෙන් සිළුමිණ සිය ලකුණ සටහන් කරයි.

සිළුමිණ බිහිවෙන 1930 වර්ෂය යනු පුවත්පතකට කළ හැකි විස්මිත හා ප්‍රභාසම්පන්න සමාජ මෙහෙවරෙහි විභවය කෙරෙහි අපමණ විශ්වාසයක් තැබිය හැකි කාලයකි. තොරතුරු සන්නිවේදනය වාණිජ මට්ටමට රැගෙන යෑමේ සමාරම්භකයා ලෙසින් අවිවාදිත ව හඳුන්වා දිය හැකි ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයන් සිළුමිණ බිහිකරන අවදිය එතරම් ම ප්‍රබල ය. අමාරුවෙන් ආරම්භ කළ බොහෝ පුවත්පත් වැසෙන, අධිරාජ්‍යවාදයේ කළු සෙවණැලි හොල්මන් කරන පසුබිමක ලේක්හවුස් ආයතනය ආරම්භ කරමින්, වැහෙන්නට ගිය පුවත්පත් මිලට ගනිමින් ඔහු කළ පුවත්පත් විප්ලවය හා සම කළ හැකි විප්ලවයක් ආසියානු කලාපය ඇතුළත සොයාගත නොහැකි තරම් ය. ඒ විප්ලවයේ අසමසම ආලෝක කදම්බය සිළුමිණයි.

සිළුමිණ 91 වැනි වියට පාතබද්දී එය බිහිකිරීමේ ලා අපමණ වෙහෙස ගත් නියමුවාණන් සිහි කරන්නේ ගෞරවයෙනි. ඩී. ආර්. විජයවර්ධනයන් හා එක් ව සිළුමිණ බිහි කිරීමේ බර කරට ගත් සිළුමිණ ප්‍රථම කර්තෘ පියසේන නිශ්ශංකයන් ද; සිළුමිණ නාමය තැබූ රත්මලානේ ධර්මාරාම හිමියන් ද; ඉරහඳ පවතිනා තාක් කල් පවතින්නට නැකත සෑදූ බෙන්තර වළල්ලාවිට කෝරලයේ සංඝනායක මහ නාහිමියන් ද අවසෙස් ව මේ පුණ්‍යානුමෝදනාවේ කොටස්කරුවන් ය.

සිළුමිණ බිහි වූ 19 වැනි ශතවර්ෂයට අයත් වකවානුවේදී ලංකාවේ නිදහස සම්බන්ධ විවිධ කතාබහ හා විචාර ඇතිවෙමින් පැවැතිණි. උගත් ස්වදේශික ජනතාව විවිධ මට්ටමේ සංවිධාන පිහිටුවා ගනිමින් ලේ වැගිරීම්, සන්නද්ධ අරගලවලින් තොර සංස්කෘතික නිදහසක් වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටියහ. ලෝකය පුරා ම එකී වකවානුව වෙන විට යටත් විජිත වාදයට එරෙහි සංස්කෘතික අරගලයක් පිළිබඳ ගිනිසිළු නැඟෙමින් පැවතිණි. එවන් වකවානුවක පවතින සමාජ, ආර්ථික, සංස්කෘතික කාරණා සැලකිල්ලට ගැනීමේදී සිළුමිණ වන් සතිඅන්ත පුවත්පතක් ආරම්භ කිරීමේ දුෂ්කරත්වය ගැන අටුවාටීකා අවැසි නැත.

අකුරු කියා සංකේත පද්ධතියක් තිබූ පලියට හා ඒවා කඩදාසි මත යකඩින් සැඳි මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය වූ පමණින් එහි සහෘදය ගැටලු හා සංවාද නැත්නම් ජනරංජනීය හා ජනතාකර්ෂණීය පුවත්පතක් බිහිවන්නේ නැත. අධ්‍යාපනය, විනෝදාස්වාදය, තොරතුරු සම්පාදනය හා පෙලඹවීම යන මූලික සන්නිවේදන අවශ්‍යතා සියල්ල පුවත්පතක සංගෘහිත නොවන්නේ නම් එය පාඨකයා වෙතින් ප්‍රතික්ෂේප වේ. රටේ ලොකු - කුඩා, උගත් - නූගත් සෑම තරාතිරමක ම කියවන පිරිස අත රැඳෙන; ඔවුන්ට සමීප පුවත්පතක් වන්නට නම් එහි ලියැවෙන අන්තර්ගතය පාඨකයාට සමීප විය යුතු ය. කමලා ළමා සමාජයේ සිට, නවා පොතක් සේ සකසා ගත හැකි ශාස්ත්‍රීය අතිරේකය දක්වා සිළුමිණ පාඨක විවිධත්වයට ගරු කළේ ය. ඒ අතින් මෙරට පුවත්පත් අඹර තුළ විශිෂ්ටත්වයේ කීර්තිය ලද එක ම පුවත්පත සිළුමිණ බව තහවුරු කරන හොඳ ම ලකුණ වන්නේ එය මෙරට ජනතාව අතරේ සත දහයේ විශ්වවිද්‍යාලය ලෙස ලත් විරුදාවලිය නිසා ය. දේශීය විශ්වවිද්‍යාල බිහි වී නැති වකවානුවක, බලවත් හා ධනවත් එක් පිරිසක් විදෙස් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබද්දී ඒකභාෂික දේශීය පාඨකයන්ට විශ්වවිද්‍යාලයක දැනුම් පරාසය ලබා දුන්නේ සිළුමිණ යි. එකී බුද්ධිමය දානයට ප්‍රතිගෞරව කරනු වස් ජනතාව සිළුමිණට ජනතා සම්මානය දුන්නේ දෙවරක් නොසිතා ය. භින්න රුචිකත්වයට ගරු කරන සිළුමිණ අදත් ඒ සම්ප්‍රදායට ගරු කරන්නේ පාඨක ප්‍රතිපෝෂණයට ගරු කරමිනි. මාර්තු 30 දා සිළුමිණ පා තබන නවවැනි දශකයේ මුල්භාගය වූ කලී පුවත්පත් කලාවට පොදුවේ අභියෝග රැසක් එල්ල කරන වකවානුවකි. මේ වකවානුව සිළුමිණ බිහි වූ 30 දශකය මෙන් තොරතුරු සොයා ගැනීමේ මාධ්‍ය විරල වකවානුවක් නොවේ. තොරතුරු සම්පාදනයේ, බෙදාහදා ගැනීමේ මහා තරගයක් නිර්මිත වකවානුවකි. එදා මෙන් මාධ්‍ය විරල නැත; ඇත්තේ පළමුවැන්නා වීමේ තරගයකි. ඒ තරගයට තරගයක් දීමට නම් සිළුමිණ ද යාවත්කාලීන තොරතුරු සංගෘහිත සන්නිවේදන මාධ්‍යයක් විය යුතු ව තිබේ. පවතින ප්‍රවණතා හමුවේ වෙනස් වෙමින් වුව ද සදාචාර සම්පන්න මාධ්‍ය කලාවක් පවත්වා ගෙන යෑමේ ලා වත්මනෙහි සිළුමිණ ඉදිරියේ දැවැන්ත අභියෝගයක් තිබේ. කවර සමාජාර්ථික හෝ දේශපාලනික වෙනසක් වුව ද සිළුමිණ ජනතාව වෙත සමීප කර වූ එහි ආරම්භක අධිෂ්ඨාන වෙත අනවරත ව කාල තරණයක යෙදෙන්නට පත්තර මහගෙදරින් එළිදකින සිළුමිණ ශක්තිමත් බැව් කිව යුතු ම ය. සිළුමිණ මාධ්‍ය ලොව ඇතුළත සිළුමිණක් ව වැජඹෙන්නේ මෙකී උත්තුංග ශක්තිය නිසා ය.

පවතින දහසක් අභියෝග මැද වුව පාඨක විශ්වාසය රැක ගැනීමත් එකී විශ්වාසයට ගරු කිරීමත් අදටත් සිළුමිණ දන මන පොබයන පුවත්පතක් වීමෙහි රහසයි. සිළුමිණ සන්නාමයක් ව එදා මෙදා තුර බිහි වූ සියගණන් පුවත්පත් අතරේ බැබළෙන්නේ හා ඒවාට ද පූර්වාදර්ශයක් වෙන්නේ එය වටා අද දක්වා රැඳී සිටින සුවහසක් පාඨක සහෘදය ප්‍රජාව නිසා ය. පුවත්පතේ ජීවය රඳවන මේ සමස්ත පාඨක ප්‍රජාවට අපගේ ප්‍රණාමය නිබඳ ව ම හිමි විය යුතුය.

අනූඑක්වසරක් යනු පුවත්පතකට පරිණතම අවදියකි. පාඨක සහෘදය ප්‍රජාව හා අර්ථ සම්පන්න සහසබඳතාවක් දශක නවයක් තිස්සේ අවිච්ඡින්නව පවත්වා ගෙන යෑම පහසු කරුණක් නොවේ. සිළුමිණට 91 සපිරෙද්දී එය මෙරට මාධ්‍ය කලාවේ සන්නාමයක් බවට පත්වෙන්නේ එබැවිනි.

Comments