ලොව ජන­හ­ද­වත්හි නොමැ­කෙන නාමය මහත්මා ගාන්ධි | Page 3 | සිළුමිණ

ලොව ජන­හ­ද­වත්හි නොමැ­කෙන නාමය මහත්මා ගාන්ධි

මහත්මා ගාන්ධි 1944 දී පමණ පණ්ඩිත් නේරු සමඟ එක්ව, මවු­න්ට්බැ­ටන් සාමි­ව­ර­යාත්, නාය­ක­යෙක්වූ මොහ­මඩ් අලි­ජි­න්නාත් සමඟ සාකච්ඡා කොට, 1947 අගෝස්තු 15 වැනිදා නිද­හස ලබා­ගත්තේ ය. ඉන්දීය 
නිද­හස මල් වට්ටි­යක තබා­ගෙන ලබා­ග­ත්තක් නොවේ. භාරත දේශය - ඉන්දි­යාව නිද­හස ලබා­ගත්තේ, දැඩි කැප­වී­ම­කින්, ඉන්දීය භූමි­ත­ලය ජන­තා­වගේ රුහි­රෙන් තෙත් කර­ව­මිනි. ගාන්ධි සැම­වි­ටම සාමය හා සුහ­ද­ත්වය පැතුව ද, බ්‍රිතාන්‍ය පාල­ක­යන්ට එය වැද­ගත් නොවිණ

ඉන්දියාවේ උපත ලද අතිවිශිෂ්ට මහා යුග පුරුෂයෙකි මහත්මා ගාන්ධි මැතිතුමා. ඉන්දීය නිදහස් සටනේදී, අවිහිංසාවාදීව ක්‍රියාමාර්ග අනුගමනය කරමින්, සිය ජනතාව පිබිදුවාලූ මෙම ශ්‍රේෂ්ඨ ඉන්දීය පුත්‍රයා, මෙයට වසර 73 කට පමණ පෙර සිය ආශ්‍රමයේදී, ‘නතුරම් ගොඩසේ’ නම් පුද්ගලයෙක්ගේ වෙඩි පහරවල්වලින් ජීවිතක්ෂයට පත් විය. ඒ 1948 ජනවාරි 30 වැනිදා ය.

නූතන ඉන්දීය වංශ කතාවේ තම නාමය රන් අකුරෙන් සනිටුහන් කළ මෝහාන්දාස් කරම්චාන්ද් ‘මහත්මා ගාන්ධි’ ශ්‍රීමතාණන්ට ගෞරව උපහාරයක් වශයෙන් එතුමාගේ ආදර්ශමත් ජීවිතය අළලා මෙම ලිපිය ලියමි.

ඉන්දියාවේ බටහිර පෙදෙසේ පිහිටි කුඩා නගරයක් වන ‘පෝරබන්ඩාර්’ PORABANDAR හි 1869 ඔක්තෝබර් 02 වැනිදා මෝහාන්දාස් MOHANDAS උපත ලැබීය. මවුපියන් කරම්චාන්ද් හා පුත්ලිවායි ය. සතර දෙනෙකුගෙන් යුත් දරුවන් අතර අන්තිමයා මොහුය. ගාන්ධිවරුන් වෙළෙඳ ව්‍යාපාරිකයන් ය.

කුඩා දරුවෙක් ලෙස ඉගෙනුම ලබද්දීම මොහාන්දාස් කරම්චාන්ද් ගාන්ධි ඉංග්‍රීසි භාෂාව ඉමහත් ආශාවෙන් ඉගෙන ගත් අතර ගණිතයට ද සම දස්කම් දැක්වීය. වයස දහ අටේදී (18) මොහු අධ්‍යාපනය ලබන්නට එංගලන්තය බලා පිටත් විණ. නීතිය හදාරා නීතිවේදියෙක් විය.

පොරබන්ඩාර් නගරයේ හින්දුන්, මුස්ලිම් ආගමිකයන්, ෂොරැස්ට්‍රියන්ස්, කිතුනු භක්තිකයන් සිටි අතර කුඩා මොහාන්දාස් කරම්චාන්ද් ගාන්ධි හින්දු භක්තියට යොමුවිණ. ආගම - දහමට කැඩි කැමැත්තක් දැක්වූ අතර මස් - මාළු කෑමෙන් වැළකී සිටියේය. අවිහිංසාවාදය ලොව ප්‍රචලිත කළේය‍. ගාන්ධිතුමා වෘත්තියෙන් නීතිඥයෙකි. 1893 - 1914 කාලය තුළදී ගාන්ධි, දකුණු අප්‍රිකාවේ සේවය කළේය. නීතිඥයෙක් ලෙස දකුණු අප්‍රිකාවේ කටයුතු කරන අවධියේදී, සුදු ජාතිකයන්ගෙන්, කළු ජාතිකයන්ට, ඉන්දියානුවන්ට මුහුණදීමට සිදුවන දුක් ගැහැට ගාන්ධි දුටුවේය. ඒ අනුව පීඩාවිදින්නන්ට සම අවස්ථා ලබාදෙන්නට අවිහිංසාවාදී සත්‍යග්‍රහ ව්‍යාපාර ඇරඹීය.

මහත්මා ගාන්ධි 1914 වසරේදී ඉන්දියාව බලා පැමිණියේය. තම අහිංසක ජනතාව සුද්දන්ගේ යකඩ සපත්තුවට යටවී දුක් විඳින අන්දම ගාන්ධි පසක් කරගත්තේය. ඔවුනගේ විමුක්ති සටනට පණදුන්නේය. විශේෂයෙන් ම බ්‍රිතාන්‍යයන් දියත් කළ අමිරිස්ට්‍රාර් ඝාතනය MASSACRE OF AMRISTAR, ප්‍රහාරයට එරෙහිව සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ගාන්ධි විසින් අරඹන ලදී. මෙම ඝාතනයේදී සුදු ජාතිකයන් අමු අමුවේ අහිංසක නිරායුධ ඉන්දීය ජාතිකයන් 379 ක් වෙඩි තබා මරා දැමූ අතර 1000 කට පමණ තුවාල සිදුවිණ. ගාන්ධිගේ සත්‍යග්‍රහයට එරෙහිව සුදු ජාතිකයන් එතුමාව සිරගත කරන ලදී.

වර්ෂ 1919 දී, ඉන්දියාව පාලනය කළ රෙජිනෝල්ඩ් ඩයර් ගේ රව්ලට් පනත ROWLETT ACT පනත මඟින්, ඉන්දියානුවන්ගේ මානව අයිතිවාසිකම්වලට අවසර ලබා නොදීම නිසා රට පුරා උද්ඝෝෂණය පැවැති අතර දහස් ගණනක් ඉන්දීය ජාතිකයන් මරා දැමීය.

දඟගෙයින් නිදහස් වුණු මහත්මා ගාන්ධි ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති පදවියට 1925 – 1934 කාල පරාසය තුළදී දැරීය.

ඉන්දීය ජනතාවට ලුණු ලබාගැනීමේදී බදු ගෙවීමට සිදුවුණු බැවින් ලුණු පනත SALT TAX ක්‍රමයට විරුද්ධව ප්‍රබල විරෝධතාවයක් ගාන්ධි දියත් කරන ලදී. ලුණු බද්දට විරෝධය පාමින් ගාන්ධි පා ගමනක් සංවිධානය කළ අතර එයට ඉන්දීය ජනතාව දහස් ගණනින් එක් විය. මෙය සංවිධානය කිරීමේ වරදට ගාන්ධිතුමාට යළිත් සිරබත් කන්නට සිදුවිය.

ගාන්ධි වසර ගණනාවක් ම දකුණු අප්‍රිකාවේ නීතිඥයෙක් ලෙස ද කටයුතු කළේය. එම වකවානුව තුළදී, දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන්, කළු ජාතිකයන්ට සහ ඉන්දීය සම්භවයක් ඇති ජනතාවට ඉතාමත් පහත් ලෙස සලකන අන්දම ගාන්ධි දුටුවේය. එතුමා, කළු ජාතිකයන්ට මානුෂික අයිතිවාසිකම් ලබාදීමටත්, ජාතීන් අතර සාමය, සමගිය, ව්‍යාප්ත කිරීම කෙරෙහිත් දැඩි අවධානයක් යොමු කළේය. මේ හේතුව නිසා ගාන්ධිට බලවත් දුෂ්කරතාවයන්ට මුහුණපෑමටත් සිරබත් කෑමටත් සිදුවිය. සමානාත්මතාවය ගාන්ධි අගය කළේය.

සුදු ජාතිකයන්ගේ විරෝධය කෙතරම් නම් ගාන්ධිට අත්වූයේ ද යත්, එංගලන්ත අගමැති සර් වින්ස්ටන් චර්චිල් ගාන්ධි හැඳින්වූයේ NAKED FAKIR ‘හෙලුවැලි - නග්න හිඟන්නා’ ලෙසය. ඉන්දියාවට, බුරුමයට, ශ්‍රී ලංකාවට, ආසියාතික රටවල්වලට බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස අත්වූයේ අද අපේ නායක කාරකයන්ට පවා අමතකවී ඇති 1944 මැද භාගයේ එංගලන්තයේ අගමැතිවරයා වූ ක්ලෙමන්ට් ඇට්ලි CLEMENT ATTLEE ට පින් සිදුවන්නටය. 1948 පෙබරවාරි 04 වැනිදා පවත්වන රජයේ උත්සවයකදීවත් ඇට්ලිගේ නම සඳහන් වන්නේ නම් එය එතුමාට කරන ගෞරවයකි.

මහත්මා ගාන්ධි 1944 දී පමණ පණ්ඩිත් නේරු සමඟ එක්ව, මවුන්ට්බැටන් සාමිවරයාත්, නායකයෙක්වූ මොහමඩ් අලිජින්නාත් සමඟ සාකච්ඡා කොට, 1947 අගෝස්තු 15 වැනිදා නිදහස ලබාගත්තේ ය. ඉන්දීය නිදහස මල් වට්ටියක තබාගෙන ලබාගත්තක් නොවේ. භාරත දේශය - ඉන්දියාව නිදහස ලබාගත්තේ, දැඩි කැපවීමකින්, ඉන්දීය භූමිතලය ජනතාවගේ රුහිරෙන් තෙත් කරවමිනි. ගාන්ධි සැමවිටම සාමය හා සුහදත්වය පැතුව ද, බ්‍රිතාන්‍ය පාලකයන්ට එය වැදගත් නොවිණ.

ඉන්දියාවේ කොටසක් පකිස්තානය වශයෙන් වෙනමම රටක් බවට පත්වීම පිළිබඳ ඇතැම් පිරිස් විරුද්ධ විය. රට දෙකඩ කිරීම මූලික වුණු පුද්ගලයා ලෙස ඇතැම් අයවළුන් සැලකුවේ මහත්මා ගාන්ධිය.

1948 ජනවාරි 30 වැනි දිනය උදා විණ. නවදිල්ලියට ඉතා පැහැබර දිනයකි. මහත්මා ගාන්ධි සුපුරුදු පරිදි කෙරෙන යාඥාව ආරම්භ කිරීමට සූදානම් විය. වින්ස්ට් ෂීන් VINCENT SHEEN (1899 – 1975) නමැති ඇමෙරිකානු නවකතාකරුවෙක් සහ බී.සී.සී‍. ආයතනයේ දිල්ලි නගරයේ වාර්තාකරු ගාන්ධිගේ බිර්ලා BIRALA HOUSE හමුවීමට පැමිණ ගස් යටට වී සිටියහ.

මහත්මා ගාන්ධිතුමා 1948 ජනවාරි 30 දින පස්වරු 5.12 ට පමණ සුපුරුදු පරිදි යාඥා කිරීම සඳහා බිර්ලා නිවහනේ පඩි පෙළ නැග නිවහනට ඇතුළු විය. ගාන්ධිතුමා, නිවසට කැඳවාගෙන යන ලද්දේ දැරියන් දෙදෙනකු විසිනි. එතුමා හමුවන්නට කීපදෙනෙක් ම පැමිණ සිටියහ.

එකවරම වෙඩි හඬවල් හතරක් නිකුත් විය. ඒ සමඟම නිවහන තුළ දක්නට ලැබුණේ මහා කලබලයකි.. නතුරාම් ගොඩ්සේ NATURAM GODCE නම් පුද්ගලයෙක් විසින් රටක් නොව, ලෝකයක් වටින මහත්මා ගාන්ධි වෙඩි තබා ඝාතනය කරන ලදී.

මෙම ඝාතනය, ආසියාකර‍යේ නායකයන් ඝාතනය කිරීමේ ආරම්භය ලෙස ද සැලකිය හැකි ය.

මහත්මා ගාන්ධිගේ නිසල දේහය, පොලිසිය විසින් රැගෙන ගිය අතර, එතුමා ඇඳ සිටිය ‘කාඩි’ KHADI ඇඳුම ලෙයින් තෙත් වී තිබිණ. විනයාක් වාමන්රාඕ ගොඩ්සේ සහ ලක්ෂ්මි ගොඩ්සේ ගේ පුතෙකු වූ නතුරාම් ගොඩ්සේ නම් ඝාතකයා හින්දු මහ සභාවේ සාමාජිකයෙකි. ළමා වයසේදී, ගාන්ධිතුමා ඔහුගේ වීරයෙකි. ඉන්දියාවේ සුළු කොටසක් සතුටු කිරීම සඳහා ඉන්දියාව බෙදා වෙන් කිරීමට ගාන්ධිතුමා උත්සාහ කිරීම කෙරෙහි ඔහු සමඟ උරණ විය. මේ නිසා මොහුට විරුද්ධ බලවේගයක් ගොඩනැගිණ. මේ නිසා මහත්මා ගාන්ධිට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

මහත්මා ගාන්ධිතුමා ඝාතනය කිරීමට වරදකරුවූ නතුරාම් ගොඩ්සේට 1949 නොවැම්බර් 15 වැනිදා මරණ දණ්ඩනය හිමිවිය.

ජවහර්ලාල් නේරුගේ විශිෂ්ට ගුණ කථනය ඉන්දියාවේ බිහිවුණු මෙම උත්තම ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ අභාවය පිළිබඳව ඉන්දීය ගුවන් විදුලිය ඔස්සේ ජනතාව ඇමතූ ශ්‍රී ජවහර්ලාල් නේරු අගමැතිතුමා මහත්මා ගාන්ධි පිළිබඳව අනුවේදනීය ප්‍රකාශයක් කළේය. අපට අහිමි වුණු වාප්‍රජි පියාණන් වහන්සේ ජාතියේ පියාණන්ගේ වියෝව ගැන ඉන්දීය ජනතාව පමණක් නොව, මුළු මහත් ලෝක ප්‍රජාවට දැඩි ලෙස කම්පනයටත්, ශෝකයටත් පත්ව ඇත. මහත්මා ගාන්ධිතුමා අප මවු බිමේ බිහිවුණු අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයකි. එතුමා අපට ආලෝකයක් විය. අද ඒ අලෝකය නිවී ගොස්ය.

එතුමාට කරන හොඳම උපහාරය, අප සැම සමගියෙන්, සාමයෙන් ජීවත්වෙමින් සතුනට මෛත්‍රිය පතුරවමින් ජීවත්වීමයි. මෙවන් උතුම් මිනිසෙකු යළිත් අප මවුබිමේ කවදා පහළවේ දැයි අපි නොදනිමු. අප ශ්‍රේෂ්ඨ වාප්‍රජි පියාණන් වහන්සේගේ ශ්‍රී නාමය, ඉන්දියාව පවතින තාක් කල් පවතිනවා සැකයක් නොමැත.

 

 

 

Comments