පහන් සිතක සිරි අසිරිය | Page 2 | සිළුමිණ

පහන් සිතක සිරි අසිරිය

සිරිමත් නත්තල උදාවී ගෙවී ඇත්තේ දින දෙකකි. අන් කවරදාටත් වඩා අරුමැති නත්තල් සමයක් ගෙවීමේ අපූර්ව අත්දැකීම විඳ අවසන් වූවා පමණී. කොරෝනාව විසින් තුෂ්නිම්භූත කරන ලද මනස විචිත්‍රවත් නත්තලෙන් හෝ මඟහැරී යතැයි අප සිතුවද එය සිතිවිල්ලක් පමණක් ම විය. නත්තල යනු සියල්ලෝ එකතු වීම නම් එය නොඅඩුව කිතුනුවන්ට ලැබිණි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් තවමත් රිදුණු සිතැති කිතුනු සහෝදර ජනතාවට ආගමික සහජීවනය වඩාත් ඔප් නැංවෙන නත්තලක් ඒ අනුව උදා විණි.

නත්තල් දිනයට පමණක්‌ සීමා වූ, තාවකාලික සමාදානයක්‌ පිළිබඳ අපූර්ව ඓතිහාසික පුවතක්‌ මෙහිදී අප සිහිපත් කරන්නේ පාස්කු ඉරිදාව වෙනුවෙන් රිදුනු සිතැති වින්දිත ජනයාට මෙත් වඩන්නන්ට ආශීර්වාද කරමිනි.

අවුරුදු සයක පමණ කාල පරාසයක්‌ තිස්‌සේ විහිදී පැවැති දෙවැනි ලෝක සංග්‍රාමයේදී ඉංග්‍රීසි හා ජර්මන් සෙබළු එකම සටන් බිමේ, දෙපැත්තේ තනා තිබූ කානු ඇතුළත සැඟවී සිට එකිනෙකාට වෙඩි තබා ගත්හ. එහෙත් නත්තල් දිනයේදී පමණක්‌ ඔවුන් සටන් විරාමයක්‌ ක්‍රියාත්මක කිරීමේ අපූරු කතා පුවතක් ඉතිහාසය වාර්තා කරයි. නත්තල් දිනයට කලින්දා පවා වෙඩි හුවමාරු කරගත් ජර්මන්-ඉංග්‍රීසි සොල්දාදුවන් නත්තල් දිනයේදී කානුවලින් එළියට පැමිණ, ඔවුනොවුන් මුණගැසී කතා බස්‌ කළ අතර; තම දරුවන්ගේ හා භාර්යාවන්ගේ ඡායාරූප තම සාක්‌කුවලින් එළියට ගෙන පෙන්වමින් එකිනෙකා වැලඳගෙන හඬා වැලපුණ බව පශ්චාත් ලෝක සංග්‍රාම වාර්තාවන්හි සඳහන් වේ. නත්තල් දිනය ගෙවී ගිය පසු යළිත් පෙර සේම යුද ගිනි ඇවිළිණි. නත්තල යනු සාමයම බවත් කෙසේ කුමන අවශ්‍යතා තිබුණත් එකී දිනය පමණක් හෝ එයට වෙන් කිරීමට කිතුනුවන්ගේ වන පෙලඹවීම ගැන කීමට මේ කතාව පමණක් වුව ද ප්‍රමාණවත් ය.

සාමය පිළිබඳව අර්ථ නිරූපණයෙහි යෙදෙන බයිබලය, සාමය සිරස්‌ අතට හා තිරස්‌ අතට විහිද යන්නක්‌ බව පැහැදිලි කරයි. සිරස්‌ අතට විහිදෙන සාමයෙන් අදහස්‌ වන්නේ මිනිසා සහ දෙවියන් අතර ඇතිවන සාම සබඳතාවයි. එය ඉහළ සිට පහළ සම්බන්ධ කරන්නා වූ සාමය ලෙස ද හැඳින්වීමට හැකිය. තිරස්‌ අතට විහිදෙන සාමය යනු මිනිසා තමා අතරත්, මිනිසා සහ මිනිසා අතරත් ඇතිකර ගන්නා ආධ්‍යාත්මික හා සහනශීලතා සම්බන්ධතා ය. එනම් සාමය සෑම අස්සක් මුල්ලක් නෑර ම ස්පර්ශ කරන බැව් මේ අර්ථ නිරූපණයෙන් පැහැදිලි වෙන අතර ම නත්තල අර්ථවත් කරන්නේ සාමයම බැව් සපථ වේ.

සාමයේ ප්‍රශස්ත බව ගැන කිතුනුවන්ගේ විශ්වාසය ඔප්නංවාලන අන්දමේ ප්‍රකාශයක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සිය බැතිමතුන් වෙනුවෙන් පසුගියදා නිකුත් කිරීම භක්ති පූර්වකව අප සිහිපත් කරන්නේ මෙවන් වසංගත සමයෙක වන ගැටලු ගැන උන්වහන්සේගේ වන අවබෝධය මෙනෙහි කරනු වස් ය.

‘මෙවැනි අවදානම් තත්ත්වයකදී ජනතාවගේ දර්ශන පථය වඩාත් පුළුල් විය යුතුව තිබෙන බව මා විශ්වාස කරනවා. කොවිඩ් වසංගතය හමුවේ අප සියලු දෙනාගේ සමාජ වගකීම වන්නේ තමනුත් ආරක්ෂා වී අන් අයත් ආරක්ෂා කිරීමයි. විශේෂයෙන් නත්තල් සමය කියන්නේ සහෝදරත්වය ඉස්මතු කරන කාලයක්. කිතු උපත ලෝකයට ගෙනා සාමයේ පණිවිඩය මේ වසංගත සමයේදී වඩාත් හොඳින් උද්දීපනය කිරීමට අවස්ථාව සලසා ගත යුතුයි’

මෙතරම් පැහැදිලිව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සිය බැතිමත් ජනතාව වෙනුවෙන් නත්තලේ අරුතත්, එහි ප්‍රායෝගික එළැඹුමත් පිළිබඳ කරන මේ සිහිපත් කිරීම අපට මතක් කර දෙන්නේ ජේසුතුමන් විසින් දේශිත කන්ද උඩ දේශනාවේ එන පහත වැකිය යැයි සිතේ.

‘මෘදු සිත් ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. මක්‌නිසාද යත් ඔවුහු පෘථිවියේ උරුමක්‌කාරයෝ වන්නා හ’

භෞතික හා බුද්ධිමය සියලු සම්පත් කොල්ලකා ගැනීමේ නිරන්තර සටනක යෙදී සිටින වත්මන් මිනිසාට අධ්‍යාත්මික සුවය ගැන අවබෝධයක් නැත. ඔවුහු එකිනෙකා ඇනකොටා ගනිමින් විනාශ වෙති. මේ වැනි අවදියෙක කලකෝලාහලයන් ගෙන් බැහැර වී සිටින්නේ මෘදු සිත් සතන් ඇති කරුණාවන්ත, දයාවන්ත වූවෝ පමණක් වෙති. ඉතිරි වන වෙනත් අයිතිකරුවන් නැති නිසා පෘථිවියේ අයිතිකරුවන් වීමේ උරුමය ලබන්නේත්, අලුත් සභ්‍යත්වයක ආරම්භකයන් වන්නේත් මේ ටික දෙනා ය. මේ බව සිහිපත් කරදෙමින් උතුම් නත්තල අරුත් ගන්වන්නට උන්වහන්සේට හැකිවීම අප දකින්නේ අරුණෝදයේ එළැඹුමක් ලෙස ය. හරිත ලොවක් නිර්මාණය වීම සිය සිහිනය සේ දකින උන්වහන්සේ මේ වැනි වසංගත අනන්ත අප්‍රමාණ මිනිස් අවකල්ක්‍රියා නිසා සිදුවන ඒවා බැව් ඍජු ව සඳහන් කරයි.

වෙනදා නත්තල් අසිරියෙන් ඇලළුණු වීදී අද හුදෙකලා ය. එකිනෙකාගේ ඇඟේ හැපෙමින්; ඒ ගැන වගේ වගක් නැතිව නත්තල් සැරසිලි මිලදී ගත් ජනයා අද සිය සිත් ආගමික සහජීවනයෙන් පමණක් ම සනසා ගනිති. ලොව ඇත්තේ සැරසිලිවලට එහා ගිය අධ්‍යාත්මික ගමනක් බව කොවිඩ් 19 ලොව සැමට ම කියා දුන් සත්‍යයයි.

නත්තලෙහි අභිමතාර්ථය වන්නේ ඡේසු සමිදාණන් විසින් දේශනා කරනු ලැබූ කරුණාව, දයාව හා සාමය අනෙකා සමඟ බෙදා හදා ගැනීමය. ඡේසුතුමන් ‘සාමයේ කුමරා’ ලෙසින් හැඳින්වෙන්නේ මේ නිසාය. නත්තල නිමිතිකොට සාමය පතුරුවන්නේ තමනට ඇති සම්පත් අසරණ අය සමඟ බෙදා හදා ගැනීමෙනි. මෙය ඈත අතීතයේ සිටම පැවත ආ කිතුනු සාරධර්මයකි. දුප්පත් පොහොසත් පරතරය ලොව සෑම දෙයකින්ම විවිධ ප්‍රතිශතයන්ගෙන් විද්‍යාමාන වේ. මේ පිළිබඳ අප දුටු සුන්දරම කව ලියා ඇත්තේ පන්සලේ පියතුමා ලෙසින් විරුදාවලී ලැබූ ගරු මර්සලීන් ජයකොඩි පියතුමාණෝය.

‘මගේ නත්තල දුගියා බත් කන දාය 
මගේ නත්තල වැරහැලි නැතිවන දාය 
මගේ නත්තල ඔබෙ දුක සැනසෙන දාය 
මගේ නත්තල පව පල්ලිය යන දාය’

මේ උදා වූයේ එවන් නත්තලකි. ඇති හැකි අයත් නිවෙසට කොටු වූ නත්තලකි. සැමට සමසේ උදා වූ නත්තලකි. ඡේසුතුමන් විසින් දේශනා කරනු ලැබූ කරුණාව, දයාව හා සාමය වෙසෙසින් ම ප්‍රායෝගික අවශ්‍යතාවක්‌ වූ වකවානුවකි. අලුත් අවුරුද්දක් මුවවිට සිටිමින් ඔබට ලෞකිකත්වයෙන් ඔබ්බට ගිය ආධ්‍යාත්මික සංවර්ධනයක් උදා කළ මේ නත්තල ගැන වඩාත් සුබවාදීව සිතන්නැයි ආරාධනා කරමු.

Comments