කොරෝනා පැරදවීමට එක්සිත්ව එක්වෙමු! | Page 2 | සිළුමිණ

කොරෝනා පැරදවීමට එක්සිත්ව එක්වෙමු!

ප මුහුණ දෙමින් සිටින්නේ තීරණාත්මක දින කිහිපයකට ය. ලෝකය ම වෙළී ඇත්තේ බිහිසුණු කම්පනයක බැව් ගෙවෙන තත්පරයක් පුරාම රෝම කූපවලට පවා දැනෙමින් තිබේ. ගුණෝත්තර ශ්‍රේණියක රටාවට සියල්ල ඉහළ යමින් තිබේ. අධි තක්සේරුවකින් තමාගේ හැකියාවන් පිළිබඳ උදම් ඇනූ මිනිසාට, සොබාදහම ඉදිරියේ තමන් අබැටක් තරම් වන බැව් සොබාදහම ම පෙන්වා දී තිබේ.

ලෝක ආර්ථිකයේ බලවත් හා සුඛෝපභෝගී ම යුරෝපීය රටක් ලෙස ආඩම්බරයෙන් පසු වූ ඉතාලිය දෙසතියක් ඇතුළත හාන්සි වී ඇත. සුනාමියට පෙර ගොඩබිම අල්ලාගන්නට පොදි කෑ උන් මෙන් ඉතාලිය ජීවිතයෙන් වන්දි ගෙවමින් සිටී. බෝම්බයක් පිපිරුණු විට එතැනට දුවන මිනිසුන් නොවීමේ ඥානය පමණක් මේ මොහොතේ අපට අවැසි ව ඇත.

ලෝකය දිනෙන් දින මේ උවදුර හමුවේ අසරණ වෙමින් සිටී. යටත්විජිතවාදයේ බලකණුව වන බ්‍රිතාන්‍ය රාජකීය මාලිගාවේ අතිසූක්ෂ්ම ආරක්ෂක සේවයට හෝ ශක්තිමත් පවුරුවලට කොරෝනා නැවැත්විය හැකි වූයේ නැත. ඔටුන්න හිමි චාල්ස් කුමාරයා කෝවිඩ් 19 ආසාදිතයකු වීම පමණක් ම; වයිරසයට සීමා මායිමක් නැති බවට නිදර්ශනයකි. ඉදින් අප තවමත් අනාරක්ෂිත යැයි පුන පුනා කියන්නේ එබැවිනි. හිතුවක්කාර සෙල්ලක්කාරකමට යට නොවී ජීවිත අවධානම ගැන සවිඥානික වීම වැදගත් වන්නේ ඒ නිසා ය.

ලෝකයේ රටවල් එකිනෙක අතර ගුවන් ගමන් වාරණය කරමින් සිටිති. ඉන්දියාව දින 21කට මුළුමනින් ම වසා දමා ඇත. ලෝකයේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම අඩපණ ය. නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටී තිබේ. ලෝකයේ සුපුරුදු ආර්ථික රිද්මය විතැන් ව ගොස් ය. කොටින්ම ලෝකය නැවැතී ඇත.

ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් උලෙළ වසරකින් කල් දැමීමට කමිටුව තීරණය කළේය. රටවල් ගණනාවක කලාපීය සමුළු අවලංගු කර ඇත. ඩිස්නිලන්තය වසා දමා මාසයකටත් වැඩිය. බොහෝ සමුළු, සාකච්ඡා පැවැත්වෙන්නේ ටෙලි කොන්ෆරන්ස් ඔස්සේ ය. ලෝකය හා අන්තර්පුද්ගල සම්බන්ධතා හුදෙකලා වී තිබේ. මේ සියල්ල අස්සේ එක් හොඳක් පමණක් වාර්තා වේ. ඒ, වායුගෝලයට විමෝචනය වන කාබන් ප්‍රමාණය අඩුවීම නිසා ඕසෝන් ස්ථරය සීඝ්‍රයෙන් වැඩෙමින් පැවතීම ය. සොබාදහම පමණක් සිය පැවැත්ම තහවුරු කරගනිමින් සිටී.

ලෝකයට සාපේක්ෂව ලංකාව මේ ව්‍යසනයට සාර්ථකව මුහුණ දෙමින් සිටීම යම් සැනසිල්ලක් සිතට කාන්දු කරයි. රජයේ ක්‍රමෝපායික මැදිහත් වීම අගය කටයුතු ය. වයිරසය පාලනය කිරීමේ ලා මූලික ශක්තිමත් අඩිතාලම ඒ ඔස්සේ නිර්මාණය විණි. වඩාත් ප්‍රශංසනීයම කාර්යය වන්නේ රටේ ස්වදේශීය නිෂ්පාදන ක්‍රියාවලිය අක්‍රිය නොකර වයිරසය පාලනය කිරීම ය. ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයේ දූරදර්ශී මාර්ගෝපදේශකත්වය නිසා බිහිසුණු වසංගතයක් සාර්ථක ව මැඬ පැවැත්වීමේ හැකියාව ලැබිණි.

ජනතාව කොන්දේසි විරහිත ව රජයට මේ වසංගතය දුරු කර ගැනීමට සහාය දීම ප්‍රශංසනීය ය. කෝවිඩ් 19 හි ඇති බරපතළ ම ගැටලුව වන්නේ අධික වේගයෙන් එය ව්‍යාප්ත වීම ය. ජනතාවක් ලෙස මේ අභියෝගයට මුහුණ දීමේ වගකීම බහුතරයක් ශ්‍රී ලාංකිකයන් කරට ගත්තේ ප්‍රශ්න නොකරමිනි. වගකීම් විරහිත කිහිපදෙනෙක් පමණක් විනය විරෝධී ව හා මමත්වයෙන් යුතුව ක්‍රියා කළහ. එහෙත් ඒ සුළුතරය ඉක්මවා බහුතරය රජය සමඟ එක පෙළට සිට ගැනීම අගය කටයුතු ය.

මේ වනවිට කෝවිඩ් 19 ව්‍යසනය නිසා අඩපණ වූ ඒක පුද්ගල ආදායම ගැන සැලකිල්ල යොමු කළ රජය ඒ සඳහා සහන රැසක් දැනටමත් ලබාදී තිබේ. කල්බදු, පුද්ගල ණය හා රක්ෂාවරණ මේ අතරින් ප්‍රධාන ය. නිවෙස්වල සිටින ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙසට ම ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ. රජයක් වශයෙන් බිම් මට්ටමේ සිට සියලු ජනතාව වෙනුවෙන් ලබාදෙන මේ සහන නිසා ජනතාව සැනසුම් සුසුම් හෙළති. මේ ව්‍යසනය හමුවේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම කොන්දේසි විරහිතව අගය කරන්නේ ඒ නිසා ය. හමුදාව, පොලීසිය, සෞඛ්‍ය සේවා හා මාධ්‍ය අවධානම නොතකා ජනතාව වෙනුවෙන් සේවය කරති. ඒ පෙළගැස්ම විශිෂ්ට නායකත්වයක ප්‍රතිඵල බැව් කියන්නට අපි මැලි නොවෙමු.

අවසන් වශයෙන් ඔබ ප්‍රවේශම් විය යුත්තේ ඇයි යන්නට ඔබට උදාහරණයක් කියන්නට අපි සිතුවෙමු.

1918 වසරේ ඇමරිකාවේ ෆිලඩෙල්පියා හා සෙන් ලුවිස් ප්‍රාන්තයන් හි දරුණු උණ වසංගතයක් ඇති විණි. ඒ උණ වසංගතයේදී මේ ප්‍රාන්ත දෙක ක්‍රියා කරන ලද්දේ දෙවිදියකට ය. ෆිලඩෙල්පියාව මේ තත්ත්වය ගණන් නොගෙන ජනතාව සංවිධානය කරන ලද පෙළපාලියකට ඉඩ දුන් අතර; සෙන් ලුවිස් පාසල්, සිනමා ශාලා හා පොදු විනෝදාස්වාදන මාධ්‍ය තහනම් කරමින් සමාජ දුරස්ථකරණය ක්‍රියාත්මක කරන ලදී. ෆිලඩෙල්පියාවේ මේ දරුණු වසංගතය සීඝ්‍රයෙන් පැතිර ගිය අතර රෝහල් හා දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරුණි. රෝහල් පහසුකම් අවම වීම නිසා බොහෝ රෝගීහු මිය ගියහ. සෙන් ලුවිස් හි රෝගීන් වාර්තා වූයේ ක්‍රමක්‍රමයෙනි. ඒ නිසා පවතින රෝහල් කළමනාකරණය කර ගැනීමට ඔවුන්ට හැකි වූ බැවින් මරණ සංඛ්‍යාව අඩු විය. වසර සියයකට පසු අපට උදා වී ඇත්තේ ද එවැනි ම තත්ත්වයකි.

වැදගත් වන්නේ ඔබට කෝවිඩ් 19 ආසාදනය වන්නේ ද නැද්ද යන්න නොවේ. එය වැළඳෙන්නේ කුමන කාලයකදී ද යන්න ය. ජීවිතයද; මරණයද යන්න තීරණය කරන්නේ වසංගතයක් වැළ‍ඳෙන කාලවකවානුවය ය. ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක වන රෝහල් පහසුකම් සලකා බැලීමේදී ඔබට මේ කරුණ වැටහෙනු නොඅනුමානය. කෝවිඩ් 19 වැනි පාලනය කරගත හැකි රෝගයක් නිසා; පාලනය කරගත නොහැකි රෝගාබාධ ඇතිවන පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමට නම් අප රෝහල්හි දැඩි සත්කාර ඒකකයන්හි පහසුකම් තිබිය යුතුය.

එනිසා කෝවිඩ් 19 පාලනය කරගැනීමට රජයට සහාය දීම අප සතු යුතුකමක් සහ වගකීමකි. රටක් වශයෙන් එක්වුවහොත් නියත වශයෙන් ම කෝවිඩ් 19 ජයගැන්ම අපහසු නැත.

 

Comments