
පාස්කු ඉරිදාවේ ප්‍රහාරය එල්ල වී මේ ඉරිදාට (21) හරියටම මාස තුනකි. මාසවලින් තුනක් දිනවලින් 90කට ආසන්න ප්‍රමාණයක් ගෙවී ගියද මේ ඉරිදාවෙන් උපන් ගිනි තවමත් නිවී නැත. රජය මේ ප්‍රශ්නය හමුවේ පැන නැගුණු ගැටලුවලට විසඳුම් දුන් බව සැබෑය. ප්‍රහාරයෙන් කැඩී බිඳී ගිය දේවස්ථාන හැකි ඉක්මනින් පිළිසකර විය. ඒවා නැවත පුදපූජාවලට විවෘත විය. හානි වූ ජීවිත, අකර්මණ්‍ය වූ අය වෙනුවෙන් අදාළ වන්දි මුදල්ද පිරිනැමිණි. මේ ප්‍රහාරයත් සමග බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි ඔසවන්නට අවැසි බොහෝ පියවර ගෙන ඇත්තා සේම, මේ හමුවේ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් කර්මාන්තකරුවන්ට ණය සහන සැලසීමේ වැඩසටහන්ද මේ දිනවල යුහුසුලුව ක්‍රියාත්මක වෙයි.
දුක්ඛ දෝමනස්සයන් හමුවේ නොසැලී දරාගෙන හිඳ නැගී සිටීමේ අත්දැකීම් ඇති ජාතියක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වූවාට වරදක් නැත්තේ අප පසුගිය කාලය පුරා අත්විඳි එවන් විපත් හමුවේ යළි නැගී සිටීමේ ආත්ම ශක්තියක් අපට තිබූ බැවිනි. වෙසෙසින්ම තිස් වසරක යුද්ධය හමුවේ නොසැලී හුන් ජාතිය ත්‍රස්තවාදය පැරදූ විට යළි ප්‍රගතියක් කරා යන්නට එය ආශීර්වාදයක් කර ගත්තේය. 2004 වසරේ මහා ජන සංහාරයක් කළ සුනාමි ස්වාභාවික ව්‍යසනය හමුවේ අපේ ජනතාව යළි දිරියෙන් නැගී සිටියේ ඒ ආසන්න කාලයේ ඇමෙරිකාවේ නිව් ඔලියන්ස් ප්‍රාන්තයේ මහා චණ්ඩ මාරුතයෙන් විපතකට පත් දියුණු ඇමෙරිකානුවන්ට සාපෙක්ෂව වැඩි වේගයෙනි. අපට එල්ල වූ නාය යෑම් ගංවතුර වැනි ස්වාභාවික විපත් හමුවේ පවා වෙන රටවලට සාපෙක්ෂව අපට වේගවත්ව නැගී සිටින්නට හැකි විය. එය ජපානය වැනි රටවල කාර්යක්ෂමතාව සමඟ සම කළ නොහැකි වන්නට පුළුවන. එහෙත් පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු එයින් විපතට පත් වූ පාර්ශ්ව මේ වන විට සැලකිය යුතු අන්දමින් යළි සාමාන්‍ය ජීවිතයට පැමිණෙමින් සිටිති.
එසේ වුවද මේ මොහොතේ අපට සුව කරන්නට නොහැකි වේදනාත්මක අත්දැකීම් රැසක්ද සමඟ අනාගතයට පිය නඟන්නට සිදුව තිබේ. මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් වියෝ වූ සමීපතයන්ට යළි ජීවය දිය නොහැකිය. මේ ප්‍රහාරයෙන් සාදාකාලික අසරණයන් බවට පත් වූ නොදරුවන් ඇතුළු සහෘදය ජනතාව අපට වේදනාත්මක මතකයන් තවදුරටත් ශේෂ කරවයි. ඔවුන්ට ජාතියේ සහයෝගය පිළිසරණ තවදුරටත් අවැසිම වෙයි. භෞතිකව විනාශ වූ සෑම දෙයක්ම යළි පිහිටුවිය හැකි වුවද මේ කඩාවැටුණු ජීවිතවලට මනුෂ්‍යත්වයේ ශක්තියෙන් හැර වෙනත් ජීවයක් දිරියක් දිය නොහැකි බව අප සිහි තබාගත යුතුය. එනම් අප ඔවුන් කෙරේ තවදුරටත් සහයෝගිතාව අපගේ සුහදත්වයේ දෑත් දිගු කළ යුතුය. ගෙවුණු තුන් මස මේ එක් එක් ජීවිතවලට එක් කළ වේදනාවලට අමතරව රටක් ලෙස අප දරුණු වේදනාවකට කැඳවීය. ඒ ජාතීන් අතර පැවැති සංහිඳියාව අභියෝගයට ලක් වීමය. මෙහිදී පොදු ජනතාව ඉවසුම් සහගතව කටයුතු කිරීම පිළිබඳ ඉවසුම් නැති වූ අවස්ථාවාදී දේශපාලන බල කඳවුරු ජාතිවාදීන්ට විවිධ ආයුධ සපයන පසුබිමක් නිර්මාණය විය. මෙය අදාළ සිදුවීමට මුල් වූ දෙපාර්ශ්වයෙන්ම සිදු වූ බව අප පිළිගත යුතුය. ඊට බලපෑ ප්‍රධාන කරුණක් වන්නේද අප තුළ පැවති සහයෝගිතාව (Solidarity) වැනසී යෑමය.
අද නව ලිබරල් වාදය රජයන ලෝකයේ බොහෝ රටවල සෑම සමාජ ස්තරයකින්ම මේ අන්‍යොන්‍ය සහයෝගිත්වය පලා යෑම දැවැන්ත විනාශයක් බව මෑතකදී ඒ පිළිබඳ අධ්‍යයනයක් කළ තරුණ විද්වතකු වන ආචාර්ය ස්ටෙෆාන් වලාෂෙක් ප්‍රකාශ කොට තිබිණි. ඔහු පවසා තිබුණේ රටේ ප්‍රජාවන් අතර දේශපාලන පක්ෂ අතර සහයෝගිතාවක් නැති තැන ප්‍රජාතන්ත්‍රවාදයක්ද නැති බවය. ඔහු පවසන්නේ මෑතකාලීනව යුරෝපයේ දියුණු යැයි කියන සමාජ තුළ පවා ජාතිකවාදි, ජාතිවාදි වෙන් කිරීම්වල ප්‍රවණතාවක් ඇති වෙමින් පවතින බවය. එය හුදෙක් දේශපාලන පක්ෂවල සහ නායකයන්ගේ අභිලාශයන් මත සිදු වන ප්‍රවණතාවක් ලෙස හඳුනාගෙන ඇත. යුරෝපයේදී මේ සුහදතාවට වින කරන තවත් සාධක ඇතත්, මෙකී කරුණ ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාවේ කුඩා දූපත් රාජ්‍යයක් අරභයාද එක සේ වලංගු බව පැහැදිලිය.
රටේ ජනතාව කෙසේ වෙතත් රටේ දේශපාලන පක්ෂ සහ මාධ්‍ය මේ විපත හමුවේ ඊට සම්බන්ධිත පාර්ශ්ව සමඟ සහයෝගිතාවෙන් වැඩ කිරීම විනා ඒ මොහොතේ තම දේශපාලන න්‍යායපත්‍රය ඉදිරියට ගෙන යෑමට අවැසි අඩුම-කුඩුම මේ පාස්කු ප්‍රහාරයේ සුන්-බුන් මැදින් සොයන ආකාරයක් අපට දැකිය හැකි විය.
එහෙත් මේ ප්‍රයත්නයන් ගිලහී ඇත්තේ රජය ඉහත කී පරිද්දෙන් විපතට පත් අය පාරට නොවැටෙන මට්ටමට විසඳුම් දෙන්නට සමත් වූ නිසාය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම රජය ඍජුවම භාර ගත් අතර, එයින් මිදෙන්නට රජයට වුවමනා වූයේ නැත. මේ ප්‍රහාරය මත්තේ අනිසි ප්‍රචාරයක් ගන්නටද රජය කටයුතු කළේ නැත. විපතට පත් පාර්ශ්වවලට අදාළ සහන ලැබුණු පසුබිමක එකම සටන් පාඨවලින් දමාගසනවා හැරෙන්නට විපක්ෂ දේශපාලනය පක්ෂවලට රජයට ඍජු චෝදනා එල්ල කිරීමේ හැකියාවක්ද නැත.
එහෙත් මේ ප්‍රහාරයෙන් විසි වුණු ඇතැම් ගිනි පුලිඟුවලට පිඹ යළිත් ගිනි අවුළුවා ඉදිරියේදී එන මැතිවරණවල වාසියක් ගන්න ඔවුන් විසින් දරනු ලබන ප්‍රයත්නයන් මේ වන විට රටේ ජනතාව අවබෝධ කරගෙන සිටී. එදා මෙන් අද පක්ෂවල පාට කණ්ණාඩිවලින් ලෝකය බලනවුන් වඳ වෙමින් සබුද්ධිකව ලෝකය දෙස බලනවුන් වර්ධනය වන කාලයකි. ඒ තුළ මේ සහයෝගිතාව වඳ කිරීම ලේසි-පාසු නැත. එබැවින් පාස්කු ප්‍රහාරයෙන් මේ වේදනාත්මක මාස තුන සපිරෙන මොහොතේ අප තවදුරටත් සහයෝගිතාවෙන් සුහදත්වයෙන් ජාතියක් ලෙස ඉදිරියට යා යුතුය.