ආර්ථික හැරවුම යළි සක්‍රිය කරමු | Page 2 | සිළුමිණ

ආර්ථික හැරවුම යළි සක්‍රිය කරමු

අප්‍රේල් මාසය ශ්‍රී ලාංකිකයන්ට මෙවර විශේෂ මාසයක් කළේ පෙර නොවූ-විරූ ඉස්ලාම් අන්තවාදි ත්‍රස්ත ප්‍රහාරයයි. සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සමරන්නා වූ, වසරේ අසිරිමත් සමයක් ලෙස සැලකෙන මේ බක් මාසයේ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය කෙබඳුදැයි පවසන ශ්‍රී ලංකා මහ බැංකු ආර්ථික ක්‍රියාකාරකම් වාර්තාව එළිදැක්වු‍ණේ මීට සති දෙකකට පමණ ඉහතදීය. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සතියකට වැඩි කාලයක් රට අකර්මණ්‍යව පැවතුණත් අනෙක් අතින් නිවාඩු බහුල අප්‍රේල් මාසය පිළිබඳ සැලකුවද රටේ සමස්ත ආර්ථිකය පිළිබඳ ඉතා සුබදායි ලකුණු කිහිපයක්ම මේ වාර්තාවෙන් දැකිය හැකි විය.

එයින් අපට විශේෂයෙන් වැදගත් වන්නේ පෙර වසරේ අප්‍රේල් මසට සාපේක්ෂව මෙරට ආර්ථිකය අත් කරගෙන ඇති විශේෂ ජයග්‍රහණය. එයින් වැදගත්ම දිනුම වන්නේ 2018 වසරේ ආනයන-අපනයන වියදම් පරතරයට -එනම්: වෙළෙඳ ශේෂයට- සාපෙක්ෂව මෙවසරේ වෙළෙඳ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 200කින් පමණ අඩු වීමය. එය 11%ක අඩු වීමකි. ඒ සමඟ අපගේ අපනයන වියදම්ද 0.4%ක වර්ධනයක් පසුගිය වසරට සාපේක්ෂව පෙන්වයි.

ඕනෑම රටක ආර්ථිකය සුබ මඟකට ගමන් කිරීම යනු රටේ වියදමට වඩා ආදායම් වැඩි වීමය. බොහෝ විට රටේ වියදම් වැඩි වන්නේ ආනයන හේතුවෙනි. පසුගිය සමය තුළ ලෝක ආර්ථික බලපෑම් සහ දේශීය ආර්ථික විචලන හමුවේ ඇමෙරිකානු ඩොලරයේ අගය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගියද මේ ඉහළ යෑම නැවතී ඩොලරයේ අගය රුපියලේ අගයට සාපෙක්ෂව පහළ යෑම ඇරඹුණේ පසුගිය මාස කිහිපය තුළ රටේ ආර්ථික ප්‍රතිපත්ති මේ ගැටලුව සමනය කිරීම හේතු කොටගෙන සැකසුණු නිසාය.

විශේෂයෙන් ආනයන අධෛර්යවත් කෙරෙන පියවර කිහිපයක් ගැනුණු අතර, අපනයන දිරි ගැන්වීම සඳහාද දීර්ඝකාලීන වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙයි. 'එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩපිළිවෙළ යටතේ දේශීය ව්‍යවසායකයන් ගණනාවකට රුපියල් බිලියන 81කට වඩා වටිනා පොලී සහන ණය ලබා දී ඇත්තේ රටේ ආර්ථිකයට මේ ව්‍යවසායකයන්ගේ දායකත්වය ගත හැකි ආකාරය ගැන රජයට නිශ්චිත ඉලක්කයක් සහ අවබෝධයක් තිබෙන බැවිනි.

ඩොලරයේ අගය ඉහළ යෑම පදනම් කොටගෙන විපක්ෂ දේශපාලන ප්‍රවාහ කේන්ද්‍ර කරගත් ඊනියා ආර්ථික පණ්ඩිතයන්ගෙන් එල්ල වුණු දැවැන්ත විවේචන ඉවසමින් රජය පසුගිය කාලය තුළ තම ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගිය අතර, අප්‍රේල් මාසය වන විට එළිදුටුවේ මේ පියවරවල ප්‍රාථමික මට්ටමේ ප්‍රතිඵලයකි.

මේ ප්‍රතිඵලය පසුගිය කාලය තුළ නොහික්මුණු හැසිරීමක් පෙන්නුම් කළ ආර්ථිකයේ යම් හික්මීමක් සහ වර්ධනයක් පෙන්වූ මාසයක් ලෙස සඳහන් කළ හැකිය. අලුත් අවුරුදු උත්සව නිවාඩු, ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසු බලපෑ ඇඳිරිනීති තත්ත්ව ආදි සියලු තත්ත්වයන් හමුවේ පවා අවසානයේ ආර්ථිකයේ සුබ මං සේයා සංඛ්‍යා ලේඛන හරහා තහවුරු වීම රටක් ලෙස අප සතුටු විය යුතුය.

විශේෂයෙන්ම එහිදී අපනයනවල සිදුව ඇති සුවිශේෂ ප්‍රගතිය සැලකිල්ලට ගැනීම වැදගත්ය. අප්‍රේල් මාසයේ මෙරට ඇඟලුම් ඇතුළු පේෂකර්ම නිෂ්පාදන, මැණික් සහ ස්වර්ණාභරණ, ඛනිජ තෙල් ආශ්‍රිත කර්මාන්තවල සැලකිය යුතු වර්ධනයක් පෙන්වා ඇත. යුරෝපීය ඇඟලුම් මිල දී ගැනීම්වල සැලකිය යුතු අඩු වීමක්ද පැවතුණද මෙරට ඇඟලුම් අපනයනකරුවන් යුරෝපයෙන් ගිලිහුණු වෙළෙඳපොළ වෙනුවට ඇමෙරිකාවට සහ සාම්ප්‍රදායිකව ඇඟලුම් අපනයනය සිදු නොවන චීනය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය වැනි රටවල නව වෙළෙඳපොළ කරා යෑම ආදි පියවර හේතුවෙන් මෙසේ අපනයන ආර්ථිකයට සුබ දිශානතියක් කරා යෑමට හැකිව ඇත.

එක් අතකින් අපනයන වර්ධනයක් වෙද්දී අනෙක් අතින් අපනයන පාලනයක්ද සිදු විය. රජය විසින් ක්‍රියාත්මක කරන ලද ඇතැම් ආනයන පිළිවෙත් ඇතැමකුගේ දෝෂ දර්ශනයට ලක් වුවද, එහි ප්‍රතිඵලයක් ලෙස මෙරටට ගෙන්වූ වාහන, ඇතැම් අත්‍යවශ්‍ය නොවන ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළු ඇතැම් ආනයන සැලකිය යුතු සෙයින් අඩු වීම මෙරට විදේශ විනිමය පිටරටවල් කරා ඇදී යෑමේ වේගය අඩු කිරීමට ඉවහල් විය.

අපට අප රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ගැන බොහෝ විට අසන්න ලැබුණේ අපේ ආනයන වියදම් බොහෝ විට අපයනයන වියදම් ඉක්මවීමේ කතාවයි; වෙළෙඳ ශේෂය එන්න එන්නම පුළුල් වීමේ කතාවයි. එය අනෙක් පැත්තට හැරවීම ගැන බොහෝ විට තිබුණේ කියුම් පමණකි. එය කෙරුම් බවට පත් වන්නේ මෑතකාලීනවය. එයින් පෙනෙන්නේ රටක් ලෙස අප පසුගිය කාලය තුළ ආර්ථිකය අමාරුවෙන් හෝ ගමන පහසු පැත්තට හරවාගෙන ඇති බවයි. ලෝක ආර්ථික බලපෑම්, අභ්‍යන්තර ගැටලු ඇතුළු දහසක් අර්බුද මධ්‍යයේ මෙසේ ආර්ථිකය හැරවීම යතුරුපැදියක් තනි රෝදයෙන් ගමන් දිශාව අනෙක් පැත්තට හැරවීම තරම් පහසු වන්නේ නැත. එය කැලඹුණු සාගරයක නෞකාවක් ආපසු ගමන හරවන්නාක් මෙන් අසීරුවෙන් සීරු මාරුවට කළ යුතු, සැලකිය යුතු කාලයක් ගත වන ක්‍රියාවලියකි. සහරාන්ලාගේ අන්තවාදි කණ්ඩායම පසුගිය අප්‍රේල් 21 ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කර ඇත්තේ රටේ ආර්ථික නෞකාව අසීරුවෙන් තම ගමන සුබ දශාවට හරවනවාත් සමඟය. මේ ප්‍රහාරය ඒ අතින් බලන කල දැවැන්ත කුණාටුවකි. අප මේ කුණාටුව මැදින් රටක් ලෙස ඉදිරියට යා යුතුය. මේ අන්තවාදීන් ආර්ථිකයේ තීරණාත්මක හැරවුමකට එන අවස්ථාවේ ගැසූ බෝම්බයෙන් රිදෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරක් නොවේ; ආණ්ඩුව හසුරවන අයටත් නොවේ. ඒ අතර මේ වේදනාවෙන් බොහෝ සතුටට පත් වන්නෝ සහරාන් සමඟ දිව්‍ය ලෝකයට යන්න බලා සිටි උන්මත්තකයන්ටත් වඩා මේ රටේ දේශපාලන බලය අල්ලන්නට දත-කන දේශපාලන උන්මත්තකයෝය.

කෙසේ වුවද මේ සුබවාදි ආර්ථික හැරවුම යළිත් සක්‍රිය කිරීමේ වගකීම ඇත්තේ රට මෙහෙයවන දේශපාලන අධිකාරියට හෝ රජයේ කටයුතු මෙහෙයවන නිලධාරී පැළැන්තියට පමණක් නොවේ. රටේ ආර්ථිකය හොඳ වුව හොත් එහි ප්‍රතිලාභය සෑම පුරවැසියකුටම ලබෙයි. එබැවින් සෑම පුරවැසියකුටම තම තමන්ගේ ආර්ථිකය සරි කරගත හැක්කේ රටේ ආර්ථිකය නිසි ලෙස ධාවනය වුව හොත් පමණකි. මේ බව අප සැම අවබෝධ කරගත යුතුය.

Comments