කුරුණෑගලින් ගිලිහුණු වෘත්තීයභාවය | Page 2 | සිළුමිණ

කුරුණෑගලින් ගිලිහුණු වෘත්තීයභාවය

පාස්කු ඉරිදාවේ එල්ල වූ අන්තවාදි බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් පැනනැඟුණු කම්පන රැල්ල අප නොසිතන ආකාරයෙන් එපිට-මෙපිට පෙරළෙන්නේ පුදුමාකාර වේගයකිනි! ඒ ඉරු දිනෙන් පසු උදා වූ හිරු නැ‍ඟෙන සැම දිනකම කුමක් හෝ අලුත් සිදුවීමකින් හිත් රත් කරගැනීම මේ යුගයේ අපට විඳින්නට විඳවන්නට සිදු වූ අභාග්‍යයකි. ඒ අභාග්‍යවන්ත රැලි මේ දිනවල වැඩිපුර කරකැවෙන්නේ වයඹ පළාතෙනි; වෙසෙසින්ම කුරුණෑගලිනි.

කුරුණෑගල රෝහලට අනුයුක්තව කටයුතු කළ වෛද්‍යවරයකු විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම් අතරතුරදී ඒ සැත්කම්වලට ලක් වූ මවුවරුන් හාර දහසක් පමණ වඳ කිරීමකට ලක් කරන ලද්දේය යන කතාව මේ රැල්ල නිර්මාණය වීමට බලපෑ හේතුවයි. වෛද්‍යවරයකු තම ජාතියට අයත් නොවන මවුවරුන් හාර දහසකට තබා එක මවකට හෝ අනාගත දරු පල අහිමි කිරීමට සාහසිකව කටයුතු කළේ නම් එය එක්තරා අන්තවාදි කුලකයකට මතු නොව, සමස්ත මානව සංහතියටම නිගා දෙන පහත් පෙළේ පිළිවෙතක් බව ඉඳුරාම සඳහන් කළ යුතුය.

මේ වෛද්‍යවරයාට එරෙහිව මේ වන විට පැමිණිලි රැසක් මවුවරුන් වෙතින් ලැබෙමින් පවතින අතර, ඒ සියල්ල ‍නොව කිහිපයක් විමර්ශනය කිරීමෙන් පවා ඔහු වරදක් කර ඇත් නම් එය තහවුරු කරගැනීමට ඉඩ ඇති බව මේ වන විටත් වෛද්‍ය විද්‍යා වෘත්තිකයන් වෙතින් අදහස් පළ වී ඇත. ඇතැම් පර්යේෂකයන් ඒ සඳහා සුදුසු ප්‍රායෝගික ක්‍රම පවා මේ වන විට යෝජනා කර ඇත.

කෙසේ වුවද ජාතියක් ලෙස අතිශය සංවේදි වූත් අතිශය විවාදිත වූත් මේ චෝදනාවත් ඊට බලපාන පසුබිම් කරුණුත් පිළිබඳ සැලකීමේදී අප මේ මොහොතේ අවධාරණය කරන පළමුවන කරුණ වන්නේ මේ සම්බන්ධයෙන් අප කොතරම් වගකිව යුතු භාවයකින් කටයුතු කළ යුතුද සහ මේ වන තෙක් කොතරම් වගකීමකින් රටක් සමාජයක් ලෙස කටයුතු කර ඇතිද යන්නය. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන සහ පුද්ගලයන්ගේ වගකීම් සහගත ක්‍රියාකලාපය පිළිබඳ අප ඉවසීමෙන් සහ බුද්ධිමත්ව විමසා බැලීම වැදගත්ය. එහිදී විමසීමට ලක් කළ යුතු වැදගත්ම කරුණක් ලෙස අපට හැඟෙන්නේ අදාළ පාර්ශ්ව එහිදී තම වෘත්තීයභාවය (Professionalism) කොතෙක් දුරට භාවිත කර ඇතිද යන්නය.

මේ චෝදනාව මුලින්ම රටට ප්‍රකාශ වන්නේ එක්තරා පුවත්පතකිනි. ඔවුන් ඒ පුවත පළ කරන්නේ පොලිස් ආරංචි මාර්ගයක් පසුබිම් කරගෙනය. එහෙත් මේ පුවත ආන්දෝලනාත්මක වන්නේ එහි කිසිදු තහවුරු කළ හැකි කරුණක් අන්තර්ගත නොවීම සහ ජනතව අතර නොසන්සුන්කමක් නිර්මාණය කරන පුවතක් වීම හේතුවෙනි. ඒ තුළ මාධ්‍ය කලාවේ වෘත්තීය භාවය ප්‍රදර්ශනය නොකෙරිණි.

කෙසේ වුවද සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනෙන්නේ ‍හෙළි නොකළ මුදල් උපයාගැනීම් සම්බන්ධ චෝදනාවක් මතය. එවැනි චෝදනාවක් මත අත්අඩංගුවට ගැනුණු මේ වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කිරීමේදී වඳ සැත්කම් සිදු කළ බවට සැක කෙරෙන වෛද්‍යවරයා බවට කතාබහ නිර්මාණය වන්නේ එයින් පසුවය. ඒ තුළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන නිසි වෘත්තීය භාවයකින් කටයුතු කළාද යන ගැටලුව පැනනඟී.

ඊළඟ අවස්ථාව වන්නේ විවිධ වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් විවිධ අර්ථකථන සැපයීමය. මේ සැකකාර වෛද්‍යවරයා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් නොවේ. ඔහු ශල්‍යාගාරයක් තුළ සිසේරියන් සැත්කමක යෙදිය යුත්තේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුගේ අනුමැතිය හෝ නිරීක්ෂණය මතය. එසේ වුවද මේ වන තෙක් එවැනි විශේෂඥ වෛද්‍යවරයකු මේ දිනවල තැවෙමින් සිටින මවුවරුන්ට කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත.

සමහරුන් චෝදනා ලැබ සිටින වෛද්‍යවරයාට පක්ෂපාති වූ අතර, තවත් වෛද්‍ය පිරිසක් ඔහුට විරුද්ධව අර්ථකථන සැපයූහ. මේ අර්ථකථන නියෝජනය කළ වෛද්‍යවරුන් බහුතරයක් ඒවා තම දේශපාලන දෘෂ්ටියට අනුගතව කළාදැයි සිතෙන්නේ ඔවුන්ගෙන් ඇතැමකු එක් එක් දේශපාලන බල කඳවුරු තුළ ලේබල් වී ඇති චරිත නිසාය. මේ අතරේ මේ සම්බන්ධයෙන් වගකීමක් ඇති වෛද්‍යවරුන්ගේ වෘත්තීය ආයතන (වෛද්‍ය වෘත්තීය සමිති නොවේ) තම විද්‍යාත්මක කරුණු මත පදනම් වූ ස්ථාවරයක් ලබා දෙන්නට කල් මැරීය. ඒ තුළ පෙනී යන්නේ වෛද්‍ය ප්‍රජාවද මේ සංවේදි ගැටලුව හමුවේ නිසි වෘත්තීයභාවයකින් ක්‍රියාත්මක නොවීමය. ඒ අතරේ සෞඛ්‍ය සේවාවට සම්බන්ධ සෙස්සෝද මේ ප්‍රශ්න හුදෙක් තම සිත් රැවටීමේ ප්‍රශ්නයක් ලෙස මිස නිසි වෘත්තීය භාවයකින් එය පැහැදිලි කිරීමට උත්සාහ දරන බවක් අද පෙනෙන්නේ නැත.

මේ සියල්ල අතරේ තම දේශපාලන අනාගතය ගැන තදබල ලෙස උනන්දු වන පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන් රටක් ගිනි ගන්නට තරම් පුලිඟු ඇති මේ ප්‍රශ්නය වෘත්තීය භාවයකින් විසඳන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු වෙනුවට තම 'ගොඩ වැඩි කරගැනීමේ' දීන ප්‍රයත්නයක නියැළෙන අයුරක් අපට දැකගත හැකිය. එහි පවතින අනතුර අතිප්‍රබලය. මේ වන විටත් ඒ අනතුරේ තුවාල අප සමාජය පාරවමින් තිබේ. එක් අතකින් මේ වන විට, කුරුණෑගල රෝහලෙන් සිසේරියන් සැත්කම් සිදු කරගත් මවුවරුන් දැන් ඉන්නේ ගිනි ගොඩකය. ඒ ගින්නේ වාසිය ඇත්තේ ජනතාව ගිනි ගොඩකට දමා තම බලය ගැන සිතන දේශපාලකයන්ට පමණි. ඒ නිසා මේ සම්බන්ධයෙන් පුළුල් මට්ටමේ විද්‍යාත්මක පර්යේෂණයක් අපක්ෂපාති පාර්ශ්වයක් අතින් නොපමාවම සිදු විය යුතුය.

එය නිසි ලෙස සිදු වන්නේ දේශපාලන අවස්ථාවාදීන්ගෙන් හෝ ඔවුන් පසුපස වාසියට දුවන අඳබාල වෘත්තිකයන් අතින් නොවන බව පැහැදිලිය. එය සිදු විය යුත්තේ රටට ජාතියට සැබෑවට හිතෛෂි වෘත්තිකයන් අතින් පමණි. එනමුත් කුරුණෑගල නිර්මාණය වූ මේ ප්‍රශ්නය හැසිරවීමේදී ඒ වෘත්තීයභාවය ගිලිහිණි. එහෙත් එය යළිත් අල්ලාගෙන නිසි ලෙස අදාළ පරීක්ෂණ මෙහෙයවා, අනාගතයේ නිර්මාණය විය හැකි දැවැන්ත වියවුලක් විසඳිය හැක්කේද මෙකී දෑ හිතකාමි වෘත්තිකයන්ට පමණකි. මේ ආන්දෝලනාත්මක, අතිශය සංවේදි කතාවේදී මෙවැනි වෘත්තීය ප්‍රවේශයකින් සබුද්ධිකව ක්‍රියා කිරීමට දැන් වත් පියවර නොගත හොත්, ඉන් ඇති විය හැකි විපාක දශක ගණනාවකදී වත් සමනය වේයැයි බලාපොරොත්තු විය නොහැකිය.

Comments