රට අවුළුවන්නන්ගෙන් පරිස්සම් වෙමු | Page 2 | සිළුමිණ

රට අවුළුවන්නන්ගෙන් පරිස්සම් වෙමු

ඕනෑම රටකට හෝ සමාජයකට හෝ යම් ව්‍යසනයක් සිදු වූ විට මිනිසුන්ගේ විශ්වාස, සිතුම්-පැතුම් ලෙහෙසියෙන් එහා-මෙහා කළ හැකිය. ඒ ඔවුන් තුළ පවතින යම් මානසික අවපීඩන හේතුවෙනි. එවන් පිරිස් යම් විශ්වාසයක් කරා හෝ විවිධ විශ්වාසයන්හි එක් කොනක් කරා හෝ පහසුවෙන් තල්ලු කළ හැකිය. අප මේ පසු කරමින් සිටිනුයේද එවැනි ව්‍යසනයක පශ්චාත්-සමයකි. පසුගිය අප්‍රේල් 21 දා එල්ල වූ ප්‍රහාර මාලාවෙන් රටට දැනුණු වේදනාව තවමත් නිවී නැත. ඒ දුක්ගිනිවේදනා කෙමෙන් නිවී යද්දී ඇතැමුන් බලන්නේ එය තවත් කොනකින් පත්තු කරන්නය. මේ ප්‍රහාරයෙන් සති තුනකුත් ඉක්ම ගිය පසු මිනුවන්ගොඩ සහ වයඹ පළාතේ ගම් කිහිපයක විනාශකාරි කලබල ඇති වන්නේ ඒ අනුවය. ඒවා ස්වාභාවික ගිනි නොව, කවුරුන් විසින් හෝ කොනකින් පත්තු කළ ගිනි බව සුපැහැදිලිය.

විශේෂයෙන් මේ මොහොතේ කම්පිත ජනතාවගේ හදවත් මතින් තම දේශපාලන අභිලාශයන් මුදුන්පත් කරගැනීමේ දුෂ්ට අරමුණින් ක්‍රියා කළ කණ්ඩායමක් මේ ප්‍රචණ්ඩ ක්‍රියාන්විතය පසුපස රඟ දැක්වූ කෝලම් කෙමෙන් හෙළි වෙමින් ඇත. එය කළේ කවුරුද යන්න කෙසේ වෙතත්, එය මෙහෙයවමින් පසුපස සිටියේ කවුරුද යන්න ජනතාව දැන් අවබෝධ කරගෙන ඇත. එහි අවමානයෙන් ගැලවෙන්නට මේ වන විට ඊට වගකිව යුතු පාර්ශ්ව විවිධ වෙස්මුහුණු දමාගෙන ජනතාවාදීන් ලෙස රඟන ආකාරයද ජනතාවට දැන් නිසැකවම අවබෝධ වී ඇත.

තවත් පිරිසක් මුස්ලිම් අන්තවාදීන් හේතුවෙන් නිර්මාණය වූ මේ අප්‍රසන්න පරිසරය වෙනත් අශික්ෂිත මනෝ තෘප්තීන් පිරිමසාගැන්මට මෙන්ම පෞද්ගලික පළි ගැනීම් ඉටු කරගැන්මටද නොමසුරුව යොදාගනිමින් කරන බව පෙනෙන්න තිබේ. එයට හොඳම නිදසුනක් වන්නේ විවිධ කටකතා පතුරවමින් ජනතාව බිය ගැන්වීමට සහ කුපිත කරවීමට කෙරෙන විවිධ ක්‍රියාකාරකම්ය. මේ මඟින් ජනතාව තුළ අනවශ්‍ය කම්පනයක් ඇති කොට සාමාන්‍ය ජන ජීවිතය අවුල් කිරීම ඔවුන් අත්විඳින ලොකුම තෘප්තියයි. පසුගියදා මහනුවර පාසල් ආසන්නයේ බෝම්බ බියක් මවා පාමින් ප්‍රචාරය වුණු කටකතාව හේතුවෙන් මහනුවර ප්‍රදේශයේම ජන ජීවිතය අනවශ්‍ය කලබලකාරි තත්ත්වයකට තල්ලු කිරීමක් සිදු වූ අතර, එයට උදක්ම හේතු වූ‍යේ කටකතාය. මෙවැනි කටකතා සැබැවින්ම වේගයෙන් පැතිරී යන වසංගතයකට වඩා අන්තරායදායක විය හැකිය. කිසිදු අයුරකින් තහවුරු නොකළ තොරතුරු මත පදනම් වූ මේ කටකතා සහ අදෘශ්‍යමාන ආරංචිවලට සමාජයේ ප්‍රභූන් ආරක්ෂක අංශ සාමාජිකයන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින්නන් වැනි වගකිව යුතු, බලපෑම් කළ හැකි කොටස් කොනකින් හෝ සම්බන්ධ වීම එවැනි කටකතාවලට අධික වේගයක් ලැබීමට හේතු වන බව මෑතකදී සිංගප්පූරුවේ පැවති කටකතා පිළිබඳ පර්යේෂණ වැඩමුළුවකදීද තහවුරු විණි. 2008 වසරේ ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රධාන පෙළේ හෝටලයක් ඉලක්ක කර එල්ල වූ ඉස්ලාමික අන්තවාදි ප්‍රහාරවලින් පසු සමාජය තුළ පැතිර ගිය විවිධ කටකතා පිළිබඳ පර්යේෂණයක් සිදු කළ ඔනුක් ඕ, මනිෂ් අග්‍රවාල් සහ එච් රාගව් රාවෝ මේ වැඩමුළු‍වේදී පවසා ඇත්තේ ත්‍රස්තවාදි ප්‍රහාරයකින් පසු ජනමනස් තුළ නිර්මාණය වන බිය හා කාංසාව කටකතා උපරිම වශ‍යෙන් ව්‍යාප්ත වීමට සහ ඒවා විශ්වාස කිරීමට පොලඹවන පසුබිමක් නිර්මාණය කරන බවයි. මීට වසර 11කට පෙර සිදු වූ මේ ඛේදනීය සිදුවීමටත් වඩා ලෝකයට සහ අපට දැනෙන ලෙස එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද කටකතා ඔස්සේ ජනතාව තුළ නැවත නැවත බිය-සැක නිර්මාණය කිරීම සහ නිර්මාණය වීම මෙකී සංසිද්ධිය තහවුරු කරන තවත් අවස්ථාවකි.

මේ කටකතාවල පවතින ග්‍රාම්‍ය භාවයද ඉක්මවා යමින් අපේ රටේ ප්‍රධාන ධාරාව නියෝජනය කරන ඇතැම් මාධ්‍යද අද තම මාධ්‍ය රට ගිනි තැබීම වෙනුවෙන් භාවිතයේ යොදවන ආකාරය අතිශය ලජ්ජාසහගතය. මොවුන් කෙරෙන් ප්‍රකට වන මාධ්‍යකරණයේ ලක්ෂණ නොදියුණු ගෝත්‍රික සමාජයකින් හෝ බලාපොරොත්තු විය නොහැකි තරම් අධමය. ඒවා සදාචාරයට, විද්‍යාවට හෝ කිසිදු තර්කයකට හෝ හසු නොවන, පහත් දේවල්ය.

මේ වන විට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාසයක්ද ඉක්ම ගොසිනි. එයින් යම් පිරිසක් හෝ ජන වර්ගයක් හෝ කෙරෙහි යම් වෛරයක් හෝ ක්‍රෝධයක් නිර්මාණය විණි නම් එය නිවෙන්නට යන පසුබිමක ඉහත ආකාර දේශපාලනිකව උසිගැන්වුණු නූගත් ප්‍රචණ්ඩකාරීන් යක්ෂාවේශ කිරීම පසුගිය කාලය තුළ සිදු වන අන්දම අපි දුටුමු; එයට භූමිතෙල් වත් කළ අවස්ථාවාදි දේශපාලනයේ සැඟවුණු ජවනිකාද දුටුමු; එමෙන්ම පොඩි කටකතාවක් කොනකින් පත්තු කොට, එයින් පහත් ආස්වාදයක් ලබන ම්ලේච්ඡ මනෝවිකාරකාරයන්ද දුටුමු.

කෙසේ වුවද ඔවුන්ගේ මේ සාහසික උත්සාහයන්ට අත්තටු නොඑන්නේ අද මේ 'දෙකේ පන්තියේ' අරමුණු හසුරුවන්නන්ට වඩා ඉදිරියෙන් ජනතාව සිටින නිසාය; ඇතැම් මාධ්‍ය ඔස්සේ සහ රූපවාහිනී නාළිකාවල පුවත් තීරයෙන් දකින්නට ලැබෙන රූපරාමුවලට වඩා දෙයක් රටේ ජනතාව දකින නිසාය. මේ නිසා ඔවුන්ට රට එක් කොනකට හෝ දිශාවකට තල්ලු කරන්න අද නොහැකිව තිබේ; ඒ මත බලවේග හදන්නට නොහැකිව තිබේ. මේ ජනතාව අද ඉල්ලන්නේ කුමක්ද යන්න රටක් ලෙස අප වටහාගත යුතුය. ඔවුන්ට අවශ්‍ය කරන්නේ යහපත් සමාජයකි. තම දරුවන් පිටරටකට නොයවා, මේ බිමෙහිම යහපත් පුරවැසියන් ලෙස විශිෂ්ට වූ රාජ්‍යයක් වෙනුවෙන් කැප වනු දැක්ම ඔවුන්ගේ අපේක්ෂාවයි. සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් හෝ බෞද්ධ, හින්දු, කතෝලික වශයෙන් හෝ කිසිදු ජාති-ආගම් භේදයකින් තොරව සමස්ත රටම අපේක්ෂා කරන්නේ එවන් විශිෂ්ට සමාජයකි.

Comments