2020 බක්මහට කලින් | Page 2 | සිළුමිණ

2020 බක්මහට කලින්

උදා වූ සිංහල-දමිළ අලුත් අවුරුද්ද සකල ලක්වැසියන්ට යම් නැවුම් බවක් එක් කළා නිසැකය. වියළි ඉඩෝරය මඬිමින් දිවයිනේ විවිධ පෙදෙස්වලට වට මහ වැස්සද මේ නැවුම් බව තීව්‍ර කළේය. මේ නැවුම් බව සමඟ අප ගමන් කරන්නේ කාල තරණයේ යම් තීරණාත්මක සන්ධිස්ථානයකටය. ඒ ක්‍රිස්තු වර්ෂයෙන් 2020 වසරයි. ගෝලීය වශයෙනුත්, ජාතික වශයෙනුත්, ආයතනික හෝ පෞද්ගලික මට්ටමිනුත් යම් යම් නිශ්චිත ඉලක්කයක් කරා යන කෙනකුට 2020 වූකලි යම් කඩයිමකි.

රටක් ජාතියක් ලෙස මෙසේ 2020 වසරේ රඳවාගත යුතු ඉලක්ක ගැන සඳහන් කිරීමේදී අප කාගේත් අවධානය යොමු කළ යුතු හදිසි සංඥාවක් පසුගිය 17 වැනිදා මහියංගණයෙන් ලැබිණි. ඒ දස දෙනකු එක්වරම මරු තුරුලට තල්ලු කළ මාරක රිය අනතුරයි. මේ රිය අනතුරද ඇතුළුව අවුරුදු සතිය තුළ රිය අනතුරුවලට බිලි වී ඇති ජීවිත ප්‍රමාණය 59කි. එමෙන්ම මේ දින කිහිපය තුළ නිවෙස්වල අවුරුදු සිරිය වෙනුවට රෝහලේ අමිහිරි අත්දැකීම් විඳින්නට සිදු වූ පුද්ගලයන් ගණනාවකි. ඒ වෙනුවෙන් අවුරුද්දේ ආස්වාදය වෙනුවට ශෝකී වූත් කණස්සලුසහගත වූත් අයුරින් පසුගිය සතිය ගත කරන්නට සිදු වූ මේ විපතට පත් වූවන්ගේ ඥාතීන් ගණන විශාලය. රෝහල්ගතව ඇති රෝගීන් පවුලේ ආර්ථිකයට සේම ඔවුන්ගේ සමීපතයන්ගේ ජීවිතවලටද කරන බලපෑමත් මේ පුද්ගලයන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් රටේ සෞඛ්‍ය සේවාවට දරන්න සිදු වන දැවැන්ත මුදලත් බලන කල, සිදුව ඇත්තේ සුළු-පටු ව්‍යසනයක් නොවේ. මහපාරේ මේ ව්‍යසනය පිළිබඳ අපි කොතෙකුත් කතා කර ඇත්තෙමු. එහෙත් මේ ප්‍රශ්නය කොතැනින් පටන්ගෙන කොතැනින් අවසන් කරන්නේද? එසේ නැති නම් මේ ප්‍රශ්නයට කවර ආකාරයේ විසඳුමක් දෙන්නේද යන්න පිළිබඳ කාටත් ඇත්තේ පොදු වික්ෂිප්ත බවකි. ඒ වෙනුවට සැමදා සිදු වන්නේ රියැදුරන්ට දෙස්-දෙවාල් තැබීම හෝ රිය අනතුර සිදු වූ ස්ථානයේදීම ඔහුට අතින්-පයින් පහර දීම සහ නීතිය ක්‍රියාත්මක කරන පොලීසියට දොස් තැබීම පමණකි.

මහපාරේ පවතින මේ ව්‍යසනයට බලපා ඇති සමාජාර්ථික සාධක රැසකි. එය හුදෙක් නීතිය කඩ කිරීමට පමණක් ලඝු කළ නොහැකිය. මූලික වශයෙන් මේ රටේ මහාමාර්ගවලට ඔරොත්තු නොදෙන තරමේ වාහන සංඛ්‍යාවක් අද ධාවනය වෙයි. එයට බොහෝ විට බලපා ඇත්තේ පොදු ප්‍රවාහනයේ පවතින දැවැන්ත අර්බුදය සහ අපේ රටේ ජනතාවගේ ආකල්පවල පවත්නා ප්‍රශ්නයයි. පොදු ප්‍රවාහනයේ ගුණාත්මක බව රටේ ජනතාවගේ ජීවිතවල ගුණාත්මක බවෙහි වර්ධනයට සාපේක්ෂව ඉහළ දමන්නට මෙතෙක් රට පාලනය කළ බලධාරීන්ට හැකිව නැත. මේ නිසා පෞද්ගලික වාහන විශාල ප්‍රමාණයකින් වැඩි වී ඇත. විශේෂයෙන් කොළඹ වැනි නාගරික ප්‍රදේශවල පොදු ප්‍රවාහනයේ පවතින උඝ්‍ර ගැටලු නිසා පෞද්ගලික වාහනවලින් මාර්ග ඇහිරී ඇත. නිදසුනක් ලෙස පසුගිය සතියේ අවුරුදු නිවාඩුව හේතුවෙන් කොළඹට ජනතාව නොපැමිණි අතර, මේ කාලය තුළ අගනුවර මාර්ගවල දැවැන්ත අර්බුදයක් නිර්මාණය වුණේ නැත. තවත් නොසලකා හළ නොහැකි කරුණක් වන්නේ සුළු ගමන්-බිමන්වලට පවා ජනතාව පා ගමන් වෙනුවට යතුරු පැදියක් ත්‍රිරෝද රථයක් වැනි ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කිරීමය.

අනෙක් අතට මෙලෙස රියැදුරු බලපත්‍රයක් ගෙන වාහනයක් පාරට දාන බොහෝ රියැදුරන්ගේ විනය පිළිබඳ පවතින ප්‍රශ්නයයි. විශේෂයෙන් ඉවසීම ප්‍රගුණ නොකිරීම, මාර්ග නීති පිළිබඳ අවධානයක් නොදැක්වීම හා අධික වේගයෙන් රිය ධාවනය හෝ බීමතින් රිය ධාවනය බොහෝ අනතුරුවලට ප්‍රධාන වශයෙන් හේතු වෙයි. කෙසේ වුවද මේ ප්‍රශ්නය අප එක් කෙළවරකින් අල්ලා විසඳිය නොහැකි තරමට රළු හා ගැඹුරු වී ඇත.

මේ දරුණු ප්‍රශ්නය හුදෙක් පොලීසියේ රථවාහන නියෝජ්‍ය පොලිස්පතිවරයා මත පටවා රටක් ලෙස විසඳුම් සෙවිය නොහැකිය. මේ ප්‍රශ්නය විසඳීමට නම් අප විද්‍යාත්මක ප්‍රවේශයක් මත ඊට අත පෙවිය යුතුය. මෙය සමාජ විද්‍යාත්මකව, ඉංජිනේරු විද්‍යාත්මකව, වෛද්‍ය විද්‍යාත්මකව සේම ආර්ථික විද්‍යාව ඇතුළු ඊට අදාළ බොහෝ ක්ෂේත්‍ර ඔස්සේ එහි විවිධ පැතිකඩ පර්යේෂණයට ලක් කළ යුතුය. ඒ ඔස්සේ අපට මේ රටට ගැළපෙන ආකාරයට එය විසඳීමේ ක්‍රමවේද නිර්මාණය කරගත හැකිය. මේ රටේ විද්වතුන් කෙතෙක් සිටියද විද්‍යාර්ථීන් අතින් මේ මහපාරේ අර්බුදය සම්බන්ධයෙන් ඵලදායි පර්යේෂණ සිදුව ඇත් නම්, ඒ අතළොස්සකි. එබැවින් මේ සම්බන්ධ පර්යේෂණයන්ට රජයෙන් යම් දිරිගැන්විමක් සේම මඟ පෙන්විමක් ලබා දීම කාලීන අවශ්‍යතාවක්ව ඇත.

එසේම පසුගියදා 'මාර්ග ආරක්ෂාව පිළිබඳ කොළඹ අන්තර්ජාතික සමුළුව' නම් පුළුල් විද්වත් සාකච්ඡාවක් මේ පිළිබඳ පැවැත්විණි. එහිදී අවධාරණය කෙරුණු මුල් පෙළේ යෝජනාවක් වූයේ මාර්ග අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය සියලු කටයුතු සිදු කෙරෙන ජනාධිපති කාර්යසාධක බළකායක් නිර්මාණය කිරීමය. ඊට අමතරව ප්‍රතිපත්තිමය වශයෙන් රටක් ලෙස අප දියත් කළ යුතු යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර තිබිණි. සැබැවින්ම එවැනි පුළුල් නියෝජනයක් සහ වැඩි බලතල හිමි වන රාජ්‍ය ආයතනවල නියෝජිතත්වයෙන් යුතු ජනාධිපති කාර්යසාධක බළකායක් ඉතා කාලෝචිත යෝජනාවකි. ඒ හරහා ඉහත ආකාරයේ පර්යේෂණ සඳහා මඟ පෙන්වීමක් ලබාගැනීම මෙන්ම 2020 වැනි ඉලක්කගත වසරක් තුළ දෛනිකව සිදු වන රිය අනතුරු ප්‍රමාණය අඩු කරගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි ක්‍රියාත්මක සැලසුමක් සකස් කරගත හැකිය. ඒ තුළ රථ-වාහන සම්බන්ධ රටේ ප්‍රතිපත්ති සඳහා මඟපෙන්වීම නීති-රීති සංශෝධනය වැනි ප්‍රතිපත්තිමය කාරණා සේම පාසල් විෂයනිර්දේශයට මාර්ග ආරක්ෂාව සහ ඒ සම්බන්ධ යහපත් ගුණාංග පිළිබඳ පාසල් සිසුන් අතර පුළුල් අවබෝධයක් ඇති කිරීම, රියැදුරන්ගේ සදාචාරාත්මක සහ නීතිගරුක බව වැඩිදියුණු කිරීම විවිධ වැඩසටහන්වලට යොමු කෙරෙන යන්ත්‍රණ සකස් කළ හැකිය. එසේම රිය අනතුරු සම්බන්ධයෙන් ඍජුවම වගකිව යුතු රියැදුරන් ඇතුළු පාර්ශ්වවලට දෙන දඬුවම් උපරිම මට්ටමින් ලබා දීමේ නෛතික සංශෝධනද ක්‍රියාත්මක විය යුතුය.

ගස් යට සැඟවී, වැරදි කරන තුරු 'හොරා-පොලිස් සෙල්ලමේ' හිඳ දඩ කොළයක් ලියන පොලීසියේ නිලධාරීන් රිය අනතුරු අවම කිරීමේ අවංක කැපවීම වෙනුවෙන් පාරට බැස්විය යුත්තේ මෙවැනි පූර්ණ අධ්‍යයනයකින් සහ ඊට සම්බන්ධිත ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් පමණකි. එසේ නැතිව මේ ප්‍රශ්නයේ කොනකින් දෙකකින් අල්ලාගෙන විසඳුම් සෙව්වාට, අපට දැනෙන ආකාරයේ අඩුවීමක් මේ මහපාරේ අනතුරුවල සිදු වන්නේ නැත. එබැවින් මේ යථාර්ථය මැනවින් වටහා‍ගෙන, මහපාරේ අනතුරු අවම කිරීම 2020 සිංහල අලුත් අවුරුද්ද ලබන්නට කලින් වත් යථාර්ථයක් වන තැනට අප කටයුතු නොකළ හොත්, ජාතියක් ලෙස අපට මහපාරට බසින්නට සිදු වනු ඒකාන්තය.

Comments