කුඩු ජාලය කුඩු පට්ටම් කිරීම කුඩු ජාලය කුඩු පට්ටම් කිරීම | Page 2 | සිළුමිණ

කුඩු ජාලය කුඩු පට්ටම් කිරීම කුඩු ජාලය කුඩු පට්ටම් කිරීම

සාමාන්‍යයෙන් කුඩු අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය ඒවා අධිකරණ වාර්තාවලට ඉදිරිපත් කරන්නේ මිලි ග්රෑම්වලිනි. එනයින් කුඩු මිලි ග්රෑම් කිහිපයක් ළඟ තබාගැනීම පවා වසර ගණන් සිර දුක් විඳින්නට සිදු වන වරදකි. මේ තත්ත්වය ලෝකයේම එබඳුය. එහෙත් පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් අත්අඩංගුවට ගැනුණු කුඩු තොග පිළිබඳ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිලි ග්රෑම්වලට පරිවර්තනය කරන්නට ගිය හොත් ගණක යන්ත්‍රයේ තිරයේ සීමාවටත් වඩා ඉලක්කම් ගණනක් එකතු වනවා නිසැකය. හේතුව: ඒ තරම්ම කුඩු තොග අත්අඩංගුවට පත් වීමයි. මේ ප්‍රවණතාව සලකතොත් පසුගිය මාස කිහිපය තුළ පමණක් මෙරටදී අත්අඩංගුවට ගැනුණු කුඩු ප්‍රමාණය ඉදිරියේ කුඩු ගණන් හිලව් දමන්නට වන්නේ ටොන්වලිනි! කුඩු ගබඩා කරන්නට සිදු වන්නේ විශාල කන්ටේනර් අංගණවලය! තවත් එහාට ගිය හොත්: කුඩු ජාතික ආහාරය වන තරමටම කුඩු තොග ශ්‍රී ලංකාවට පැමිණීමේ හෝ ශ්‍රී ලංකාව හරහා හුවමාරු වීමේ අවදානමක් පවතී.

ඒ අතින් බලන කල ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම තුළ වූ වෙළෙඳ විභවය සැබෑ ලෙසම උපයෝගි කරගන්නේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද යන ගැටලුවද අප සිත පැනනැඟීම අරුමයක් නොවේ. පසුගිය කාලයේ කොළඹ වරායේදී සීනි තොග සමඟ අත්අඩංගුවට ගැනුණු දැවැන්ත කොකේන් තොග බ්‍රසීලයේ සිට කොළඹ වරාය හරහා ප්‍රතිඅපනයනය වීමේ සංවිධානාත්මක ජාවාරමක් පවතින බව හෙළි කරගැනීම මේ බව දක්වන එක් සලකුණකි. මේ තත්ත්වය වඩාත් භයානක අයුරින් පෙන්නුම් කෙරෙන්නේ පසුගිය මාස කිහිපය තුළ මෙරටදී අත්අඩංගුවට ගැනුණු දැවැන්ත කුඩු තොග සමඟය. මේ තොරතුරු මඟින් ගම්‍යමාන වන්නේ ශ්‍රී ලකාවේ මත් කුඩු මාෆියාවේ තරමය.

මේ සමඟ දැවැන්ත වෙළෙඳ ජාලයක් දැන් නිර්මාණය වී ඇත; අලුත් පොහොසතුන්, ධන කුවේරයන් බිහි වී ඇත; ඔවුන්ගේ පැවැත්ම සපුරා ලන පාතාලයක්ද මනාව වර්ධනය වෙමින් ඇත. එයින් තහවුරු වන්නේ මෙරට අද ඇත්තේ ඉතා සංවිධානාත්මක වූ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් බවයි. මේ ව්‍යාපාරයේ සංවිධානාත්මක භාවයේ තරම පෙන්වන හොඳම සාධකය වන්නේ පසුගියදා කොල්ලුපිටියෙන් අත්අඩංගුවට ගැනුණු දැවැන්ත කුඩු තොගයත්, ඊට කලින් අත්අඩංගුවට ගැනුණු විශාල කුඩු තොගයත් මෙහෙවීමේ ජාවාරම සඳහා විදේශිකයන් යොදවා තිබීමය. පුදුමය දනවන කරුණක් වන්නේ ඇමෙරිකානු ජාතිකයන් දෙදෙනකු පවා විශාල වැටුපක් ලබමින් මේ ව්‍යාපාරය තුළ කුලියට සේවය කරන තැනකට එය පැමිණීමය. එයින් පෙනෙන්නේ ඇමෙරිකාව වැනි සුපිරි ධනවත් රටක ශ්‍රමිකයන් පවා යොදවන තැනට අපේ රටේ මේ අශුද්ධ ව්‍යාපාරය තහවුරු වීමයි. ව්‍යාපාරය මෙහෙයවන්නෝ බොහෝ විට රටින් පිටව සිට එය හසුරුවති. ඔවුන්ට දේශපාලන අනුහසද නොඅඩුව ලැබෙන බවට සමාජය තුළ ඕනෑ තරම් නිදසුන් තිබේ. ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට තුළ මෙහෙයවන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු මේ වන විට විපක්ෂයේ සිටින දේශපාලකයකුගේ ඕනෑ-එපාකම්වලට ඕනෑවටත් වඩා මැදිහත් වූ බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි. එයින් පෙනී යන්නේ ඔවුනොවුන් අතර පවතින සම්බන්ධතාවයි. වාසනාවකට මේ වන විට මේ පිළිබඳව බොහෝ කරුණු අනාවරණය කරගැනීමට පොලීසිය සමත් වී ඇත.

අනෙක් අතින් එදා නගරයේ සිටි අපගේ ඇසට හුරු කිලිටි කුඩුකාරයා පමණක් මේ ව්‍යවසනයට ගොදුරු වූ අවසාන අන්තය ලෙස සලකන්නට අපට තවදුරටත් හැකියාවක් නැත. මේ අතර රටට එන කුඩු පරිහරණය කිරීමේ රටාවද මේ වන විට වෙනස් වී ඇත. අප සිහිනයෙන් වත් නොසිතන තරුණ-තරුණියන් මේ කුඩුවල සිරකරුවන් බවට පත්ව ඇත. විශේෂයෙන් සමාජයේ උසස් තලයන්හි ගැවසෙන, මෝටර් රථයෙන් ගමන් බිමන් යන මැදි පන්තියේ තරුණ-තරුණියන් පමණක් නොව; තරුණ අඹු-සැමියන් පවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී, තම සේසත සමඟ ජීවිතද විනාශ කරගනිමින් සිටින ආකාරය පිළිබඳ නිදසුන් අද රටේ ඕනෑම තැනක් ගැන විමසිලිවන්ත වුව හොත් සොයාගත හැකිය. එයම ජාතියක් ලෙස අප මුහුණ දෙන දැවැන්තම ඛේදවාචකයකි.

පසුගිය සති කිහිපය තුළ හසු වූ දැවැන්ත කුඩු තොග පවසන්නේ මේ ඛේදවාචකයේ හෙට දවසයි. එය අපට පෙන්වන්නේ අනාගත කොලම්බියාවකි. කොලම්බියාවේ කුඩු මාෆියාව එරට දේශපාලනය හසුරුවමින් කුඩුවලට එරෙහි වන දේශපාලකයන් පවා තුවක්කුවෙන් මට්ටු කරන තැනකට පත් විය. ඒ තැනට අපේ රට පත් වීමට මත්තෙන් මෙවැනි වැටලීම් සිිදු වීම ගැන අප අපගේ ආරක්ෂක අංශවලට කෘතවේදි විය යුතුය. ඔවුන් විසින් කරනු ලබන අවදානම් සහගත කැප කිරීම් හුදෙක් ඔවුන්ගේ රාජකාරිය ලෙස ලඝු නොකළ යුතුය. කොටි ත්‍රස්තවාදීන් සමඟ කළ බිහිසුණු යුද්ධයට සමාන යුද්ධයක් ඇතැම් විට මේ කුඩු මාෆියාවේ ගරිල්ලා වැඩවලට එරෙහිව අපේ ආරක්ෂක අංශවලට කරන්නට සිදු වනු ඇත. එවැනි පියවරකදී රටේම ආශීර්වාදය ඔවුන්ට හිමි විය යුතුය.

මෙවැනි මොහොතක රටක් ලෙස අපට වගකීම් රාශියක් පවතී. ඒ, මේ දරුණු උවදුර මර්දනය කිරීම සඳහා සක්‍රියව දායක වීමටය. මේ සඳහා හොඳ ප්‍රවේශයක් පසුගිය සතියේ නිර්මාණය විය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු දීමට ක්ෂණික ඇමතුම් අංකයක් ලෙස 1984 හඳුන්වා දීමය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ හැප්පීම හෝ ඔවුන්ට විරෝධය පෑම ලේසි-පාසු සෙල්ලමක් නොවේ. එහෙත් මර්දන සටනේ නියැළෙන්නන්ට අවශ්‍ය නිවැරදි තොරතුරු සැපයීම ආරක්ෂිත වූත් සාර්ථක වූත් පියවරක් වන්නේය. එබැවින් හැකි තාක් තොරතුරු සැපයීම ජනතාවගේ වගකීමකි. මේ තොරතුරු මත මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමේ සටනට කකුල් මාට්ටු නොදා එය දිගටම කරගෙන යෑමට අවැසි ශක්තිය සෑම දේශපාලනය වෙතින්ද නිලධාරීන් වෙතින්ද නොඅඩුව ලැබිය යුතුමය.

Comments