
අදින් ඇරැඹෙන්නේ දෙ වසරක් ඈඳෙන සතියකි. 2018 වසර ඉක්ම යන්නේත් 2019 වසර ලබන්නේත් මේ සතියෙනි. අලුත් වසර අප පිළිගන්නේ බලාපොරොත්තු ඉලක්ක සමඟ අධිෂ්ඨානශීලීව ය. ගෙවී ගිය ඈත මෑත කාලයේ අප ලැබූ අත්දැකීම් මත අනාගත මාවත සකසාගැනීම සාමාන්‍යයෙන් අප සැම මෙවැනි සමයක අනුගමනය කරන පොදු පියවරකි. අද අපට රටක් ලෙසත් ජාතියක් ලෙසත් ජාතියේ අනාගතය පෙළ ගැසිය යුත්තේ ඒ පොදු නියාමයටම අනුකූලවය.
ඒ අනාගතය වෙනුවෙන් මේ සතියේ උදා වන අලුත් අවුරුද්දේ දින 365 තුළ ගෙවෙන සෑම තත්පරයක්ම අතිශයින් වැදගත්ය. එය එදාටත් වඩා අද තදින් දැනෙන්නේ ලෝකය වේගයෙන් වෙනසකට ලක් වෙමින් තිබෙන නිසාය.
අපගේ පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙක තබා රටක් ජාතියක් ලෙස අප ඉදිරි වසරේ යා යුත්තේ කොතැනකට ද යන්න විමසීමට මෙය වැදගත් වන කාලයකි.
රටක් ලෙස අපට ආර්ථික හෝ සංවර්ධන දර්ශකවලින්, මානව ගුණාත්මක බව පිළිබඳ දර්ශකවලින් හෝ ඉදිරි පිම්මක් පැනිය නොහැකි ද යන්න අද රට ගැන හිතන තරුණ පරපුර සුලබ ව කතා කරන මාතෘකාවකි. කෙසේ වුව ද රටේ සමස්ත ජනතාව තම තමන්ගේ ආත්ම විශ්වාසය ද දරාගෙන සෑම කෙනකුම විශ්වාස කරන්නේ එවැනි පිම්මක් පැනීම ඉඳුරාම කළ හැකි දෙයක් බවය. අපට හැකිය යන ඒ විශ්වාසය අපේ සිත් තුළ හැමදාම පැවතිණි.
විශේෂයෙන් සෑම ක්ෂේත්‍රයකම ලොව අග්‍රගණ්‍ය වූ බුද්ධිමතුන් මේ බිම තුළ නියෝජනය වෙද්දී එවැනි ගමනක් ගැන අපට විශ්වාසයක් ඇති වීම නිසැකය. එහෙත් සෑම කලෙකම අපේ ගමන වෙනත් රටවලට සාපෙක්ෂ ව මන්දගාමී වූයේ ඇයි ද යන්න විමසිය යුතුව ඇත.
අපට පැහැදිලි ව පෙනෙන පරිදි බොහෝ විට රටේ ගමන මන්දගාමී වීමට ප්‍රධාන හේතුවක් වන්නේ රටේ දේශපාලන බල අධිකාරියයි. නිදහසින් පසුව මෙරට පාලනය අතට ගත් සෑම දේශපාලන ප්‍රවාහයක්ම මේ ගමන බාල කිරීමට වගකිව යුතුය. අපට එක් එක් කරුණ මත්තේ ඇඟිලි දිගු කිරීම ප්‍රායෝගික නොවුණ ද වර්තමානය වන විට රටේ දේශපාලන යන්ත්‍රණය සහ ඔවුන්ගේ ක්‍රමෝපායයන් තිබෙන්නේ පොදු ජනතාවට වඩා බොහෝ පසුපසින්ය. ජනතාව ඉදිරියේ රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන දේශපාලකයන්, ගැලරියේ වීරයන් මිරිස් කුඩුකාරයන් හෝ විහිළුකාරයන් වන්නේත් ඇත්ත පෙනි පෙනී මාධ්‍ය හමුවේ බොරු වපුරන්නේත් ජනතාවට වඩා මේ දේශපාලන දහරාව ප්‍රාථමික නොදියුණු තලයක පැවතීම නිසාය.
එබැවින් රටක් ලෙස ඉදිරියට යෑමේ ප්‍රමුඛතා ලයිස්තුව සකස් කිරීමේ දී මීට වඩා වගකිව යුතු විනයක් සහ දැක්මක් සහිත දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළ යුතුය. එම කාර්යයයේ දී වැඩි බලයක් ඇත්තේ මහජනතාව අතය. උදා වන වසර බොහෝ විට මැතිවරණ ගැන බලාපොරොත්තු තැබිය හැකි වසරක් හෙයින් අපට පසුපසින් හිඳින නොදියුණු දේශපාලන සංස්කෘතියක් වෙනුවට අපව යම් මානයකට කැඳවාගෙන යා හැකි දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරගැනීම කෙරෙහි අප කල්පනා කළ යුතුය. එමෙන්ම අපට රටක් ලෙස පවතින අභියෝගයක් වූයේ නිශ්චිත ඉලක්කයක් හෝ ගමනක් නැති වීමය. ඒ නිසා අප සංවර්ධනයේ නාමයෙන් ලබාගත් බොහෝ ජයග්‍රහණ එක් එක් තැන්වල හුදකලා වී ඇත.
මෑත අතීතය දෙස බලන කල අපට නව වසරේ පවතින අභියෝග පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇත. විශේෂයෙන් රටේ විනය පරිහානිය, සංවර්ධනය වෙනුවෙන් ගන්නා පියවර ඉලක්ක ගත නොවීම පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා නිසි පසුබිමක් නොවීම, කාර්යක්ෂමතාව පිළිබඳ පවතින ගැටලු, අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින ගැටලු ආදී විවිධ අභියෝග මැද අප දූපතක තනි වූ ජාතියක තත්ත්වයට පත්ව ඇත.
මේ තත්ත්වය නොතේරෙන කෙනකු නම් ඒ අත දරුවන් සහ මිරිස් කුඩු පැළැන්තියේ අඳ බාල දේශපාලුවන් පමණකි. එබැවින් අප පෞද්ගලිකවත් රටක් ලෙසත් උදා වන නව වසර තුළ ගෙවෙන කාලය සිහි බුද්ධියෙන් යුතුව පරිහරණය කළ යුතුය. සැම තත්ත්පරයක්ම අපේ දියුණුව කෙරෙහි හැසිරවිය යුතුය. එය එක්තරා කැප කිරීමකි. මෙම කැප කිරීම අප පෞද්ගලිකවත් රටක් ලෙසත් කරන්නේ නම් අපට ලොකු පිම්මක් පැනිය හැකි වනු ඇත. ඒ පිම්ම සඳහා මෙරට සෑම දෙනකුටම ආත්ම විශ්වාසය සහ දිරි ලබන වසරක් උදා වේවාය යන්න අපේ පැතුමයි.