
රටේ පවත්නා දේශපාලන ව්‍යාකුලත්වයේ නිමාව සලකුණු කළ හැකි තීරණාත්මක සිදුවීම් කිහිපයක්ම පසුගිය සතියේ සිදු විය. එහි පළමු හා වැදගත්ම සංඥාව නිකුත් කරන ලද්දේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි. අාණ්ඩු පක්ෂයට අයත් මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව වර්ජනය කර තිබියදීත්, ඔහු තනි තීරණයකට අනුව යමින් පාර්ලිමේන්තුවට ගොස් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
එහිදී ඔහු අවධාරණය කළ ප්‍රධාන කරුණු දෙකක් තිබේ. ඉන් පළමු වැන්න: බහුතර බලය ඇති කණ්ඩායමට රටේ පාලන බලය පැවරීමට ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කර නැති බව පෙන්වා දීමය. ඒ බව වටහාගැනීමට නම් පසුගිය මාසයේ 26 වැනි දින සිදු වූ දෙය හොඳින් තේරුම්ගත යුතුය. එදා ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයා පත් කරගන්නා ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතා වෙත පාර්ලිමේන්තුවේ එතෙක් පැවැති බහුතර බලය අහිමි වීමෙන් පසුවය. එය සිදු වූයේ යහපාලන ආණ්ඩුව තුළ ප්‍රධාන පර්ශ්වකරුවකු ලෙස කටයුතු කළ එස්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමඟිනි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය සහිත දේශපාලන පක්ෂයකට හෝ සන්ධානයකට ඒ සඳහා ඇති අවස්ථාව කිසි විටෙකත් අවහිර කර නොතිබිණි. ඉන් පසු අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අමතරව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ප්‍රදර්ශනය කළ හැකි වෙනත් පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙත් නම් ඒ බව නිසි පරිදි තමා ඉදිරියේ තහවුරු කරන ලෙසයි. ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අදාළව විශේෂ කොන්දේසියක් පනවන ලද්දේද පෙර සඳහන් කළ ස්ථාවරයේ පිහිටා සිටිමින් බව එහිදී තේරුම් ගැනීම ඉතා වැදගත්ය.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලද දෙවැනි කරුණ වැදගත් වන්නේ එතැනදීය. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, යම් පැහැදිලි හා පාරදෘශ්‍ය සම්මුතියක් ඇති කරගැනීම ඉතා වැදගත් බවයි. එය වැදගත් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය පදනම් කරගත් රාජ්‍ය පාලනයක අගමැතිවරයා අයත් ආණ්ඩුව හා විධායක ජනාධිපතිවරයා අතර අන්‍යෝන්‍ය අවබෝධය හා එකඟත්වය අතිශයින්ම තීරණාත්මක වැදගත්කමක් ගන්නා නිසාය.
අවාසනාවකට ඒ බව අවබෝධ කර නොගත් රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසය ඇතුළත දෙවරක්ම වැඩ වරද්දාගෙන තිබේ. පළමු වර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන සමයේය. මේ දෙවන වාරයයි. ඇතිව තිබෙන අර්බුදය හමුවේ මේ රටේ අනෙකුත් දේශපාලන නායකයන්ද මේ වන විට එය අවබෝධ කරගෙන තිබේ.
දෙමළ ජාතික සන්ධානය මඟින් ජනාධිපතිවරයා වෙත පසුගිය බ්‍රහස්පතින්දා යොමු කර ඇති ලිපියේ අන්තර්ගතය තේරුම් ගැනීම මඟින් ඒ බව මැනවින් තේරුම් ගත හැකිය. එකී ලිපිය මඟින් දෙමළ ජාතික සන්ධානය ප්‍රධාන කරුණු දෙකක් මත පදනම්ව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සිය සහාය දෙන බවට ප්‍රකාශ කර සිටී. ඉන් එක් කරුණක් නම්: ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා සිටින එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරයකු අගමැති ධුරයට පත් කිරීමට ඔවුන් සහාය දෙන බවයි. එහෙත් මීට පෙර තවත් කරුණක් කෙරෙහි ඔවුන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර තිබේ. ඒ ඔක්තෝබර් 26 වැනිදාට පෙර පැවැති එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යළි පිහිටුවීමද තමන්ගේ කැමැත්ත වන බවයි.
පෙර සඳහන් දෙවන කරුණ කෙරෙහි දෙමළ ජාතික සන්ධානය තමන්ගේ කැමැත්ත පළ කිරීමෙන් පෙනෙන්නේ, තම කැමැත්ත රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි වන බවය.
එය එසේ වුවත් විධායක ජනාධිපතිවරයා සතු වන බලය පිළිබඳ හොඳින් තේරුම් ගෙන තිබෙන දෙමළ ජාතික සන්ධානය වඩා ප්‍රායෝගික තවත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන ආකාරයත් ඒ අනුව පෙනී යයි. එනම්: පාර්ලිමේන්තුවේ බහුතරය සහිත එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා තම එකඟත්වය පළ කරන බවය.
ඒ කෙසේ වුවත් ජනාධිපතිවරයාගේ මතයට ගරු කරමින් පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගන්නා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරයකු අගමැති ධුරයට පත් කරගැනීමට දෙමළ ජාතික සන්ධානයද දැන් සූදානම්ය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගරුත්වයක් ඇති කිසිවකුට එයට එරෙහි විය නොහැකිය.