
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව එක් එක් රටවල මූල්‍ය ඒකක ඉහළ හෝ පහළ යෑම සාමාන්‍යය. එයට ඩොලරයේ ඉල්ලුම සහ සැපයුම ප්‍රධාන වශයෙන් හේතු වුවද, මේ මුදල් ඒකකවල වෙනත් හැසිරීම්ද ඒ සම්බන්ධයෙන් ගන්නා විවිධ තීරණද බලපාන්නේය.
කෙසේ වුවත් එක් එක් රටවල මුදල් ඒකක ඩොලරයට සාපේක්ෂව පහළ යෑම කවර රටක හෝ ජනතාව උහුලන කාරණයක් වන්නේ නැත. බොහෝ ආනයනය මත මේ වෙනස්කම් අහිතකර ලෙස බලපාන අතර, සහනයක් ලැබෙන්නේ විදේශ විනිමය උපයන විදෙස් ශ්‍රමිකයන් සහ අපනයන ව්‍යාපාරවල නියැළෙන්නන්ටය.
මේ දිනවල ශ්‍රී ලංකාව පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල් තම රටවල මූල්‍ය ඒකක ඩොලරය හමුවේ බාල්දු වීම ගැන කතා කරති. එයට හේතුව: පසුගිය කාලය තුළ ලෝක ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් කිහිපයක් හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව ඒ මුදල් ඒකක අවප්‍රමාණය වීමය.
ඩොලරය මේ ලෙස යම් රටක මුදල් ඒකකයට සාපේක්ෂව ඉහළ යද්දී බොහෝ විට ඇඟිල්ල දිගු වන්නේ එරටේ ආර්ථිකය හසුරවන්නන්ටය. මෙය ඕනෑම රටක මුදල් අමාත්‍යවරයකුට දරාගත නොහැකි කාරණයකි. ඒ උණුසුම හමුවේ ප්‍රතිචාර දැක්වූ එක් මුදල් අමාත්‍යවරයකු වන්නේ ඉන්දීය මුදල් අමාත්‍ය අරුන් ජයිට්ලිය. ඔහු මාධ්‍ය වෙත අවධාරණය කළේ ඉන්දීය රුපියල මේ අයුරින් ඩොලරය හමුවේ අවප්‍රමාණය වීම කිසි සේත් රට තුළ අභ්‍යන්තර බලපෑමක් නිසා සිදු වන්නක් නොව, ලෝක ආර්ථිකයේ සිදු වන බලපෑම නිසා සිදු වන දෙයක් බවය. ඔහු එහිදී මුලින්ම ඇඟිල්ල දිගු කළේ ඇමෙරිකාව් ට්‍රම්ප් පාලනය වෙතටයි. ඇමෙරිකාව තම ආර්ථිකය සම්බන්ධයෙන් ගත් තීන්දු-තීරණ මත ඩොලරය ශක්තිමත් වන්නට පටන් ගෙන තිබීම එකකි. එමෙන්ම, විදේශවල ආයෝජනය කර ඇති ඇමෙරිකානුවන් මේ ප්‍රතිපත්ති හමුවේ තම මුදල් යළි ඇදගැනීමේ ප්‍රවණතාවක්ද පවතී. මෙයින් සිදුව ඇත්තේ ඩොලරයේ අගය වැඩි වීම සහ ඊට සාපෙක්ෂව වෙනත් රටවල මුදල් ඒකක පහත වැටීමය.
පසුගිය දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 7–8%කින් අවප්‍රමාණය වී ඇති අතර, ඉන්දීය රුපියල 11%කින් අවප්‍රමාණය වී ඇත. කලාපයේ රටවල් ගණනාවක්ම අපට සාපේක්ෂව ඩොලරය හමුවේ පහළට ගොස් ඇත. මේ අවප්‍රමාණය වීම තවදුරටත් සිදු වනු ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද පසුගිය සතියේ ඉඟි පළ කළේය.
යම් රටක මුදල් ඒකකය ශක්තිමත් කිරීම එරටේ සාර්ව ආර්ථික පසුබිමට සේම දේශපාලනයටද බලපාන්නේය. එහෙයින් කවර රටක වත් බලයේ පවතින රජයයක් හිතා-මතා ඩොලරය හෑල්ලු වන්නට හැර ‘බකං–නිලා’ ඉන්නේ නැත. ඒ, එයින් ජනතාව ආර්ථික වශයෙන් යම් දැවීමකට තැවීමකට ලක් වන්නේ නම් එහි ප්‍රතිවිපාක ඒ පාලකයන්ට සහ රජයටද අනිවාර්යයෙන් විඳවන්නට සිදු වන නිසාය. මේ අනුව ශ්‍රී ලංකාවද රටේ ආර්ථිකය ලෝක ආර්ථික ප්‍රවණතා හමුවේ යාමනය කිරීමට විවිධ පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ රටේ සමස්ත ආර්ථිකයට දැඩි අගතියක් සිදු නොවන පරිදි, රටේ ව්‍යාපාරවලට බැංකු පොලී අනුපාත ආදියෙන් අහිතකර බලපෑමක් සිදු නොවන සේ මේ බලපෑම් අවම කරලීමට කටයුතු කරන බවයි. ඔවුන්ගේ මඟ පිළිබඳ යම් චරිත සහතිකයක් පසුගියදා මෙරට හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑන්කිං කෝපරේෂන් බැංකුව විසින්ද ලබා දී තිබිණ. එනම්: මේ බැංකුව පවසා තිබුණේ ලෝක සහ කලාපීය ආර්ථික අභියෝග මැද ශ්‍රී ලංකාව 3.7%ක ආර්ථික වර්ධනයක් සහිතව ස්ථාවර ගමනක යෙදෙන බවත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ සේවා අංශයේ පසුගිය කාලය තුළ පැවැති වර්ධනය සමස්ත ආර්ථික වර්ධනට හිතකර ලෙස බලපෑ බවත්ය. මේ අතර, ඩොලරයට සාපෙක්ෂව අපේ මූල්‍ය ඒකකයේ පහළ බැසීම පාලනය කිරීම අපහසු බවද ඒ වාර්තාව පෙන්වා දෙයි. එයට හේතු ලෙස ඔවුන්ද දක්වා සිටින්නේ ඇමෙරිකානු ආර්ථිකය තුළ පවතින වෙනස්කම් සහ එහි වර්ධනයයි. කෙසේ වෙතත් මේ අයුරින් ඇමෙරිකානු ඩොලරය ඉහළ ගිය හොත්, එය අපේ රට අත්පත් කරගෙන තිබෙන ආර්ථික වර්ධනයට අභියෝගයක් විය හැකි බවටද මෙම බැංකුව අනතුරු අඟවා ඇත. හේතුව: ශ්‍රී ලංකාව බොහෝ සෙයින් අපනයන මත රඳා පවතින රටක් වීමය.
අප මේ කතාව අවසන් කළ යුත්තේ එතැනිනි.
රටක් ලෙස අප මේ මොහොතේ පියවර දෙකක් අනුගමනය කළ යුතුය. එක: ඩොලර් වැය කිරීම පාලනය කිරීමය. අනෙක: අපට තිබෙන සැම අපනයන අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගැනීමය. එහිදී රටක් ලෙස මේ වගකීම ඇත්තේ ජනපතිට, අගමැතිට හෝ මුදල් ඇමැතිට පමණක් නොවේ; රටේ සැම පුරවැසියකුටම ඒ ගැන වගකීමක් ඇත.
එහෙත් අප එවැනි මනසකින් ක්‍රියාත්මක වේද යන්න ගැටලුවකි. එයට හොඳම නිදසුනක් ලෙස ගතහැකි කතාවක් අද සිළුමිණෙහි පළ වෙයි. එනම්: චීනයට අපේ රටේ නිෂ්පාදිත කෙසෙල් අපනයනය කිරීම සඳහා ඉතා අසීරුවෙන් නිර්මාණය කරගත් අවස්ථාව තවමත් අප නිසි ලෙස භාවිතයට නොගැනීමය. චීනය අද ලෝකයේම ප්‍රබල වෙළෙඳපොළකි. මේ වෙළෙඳපොළ ජය ගන්නට අප ලද අවස්ථාවක් පවා සිතා–මතා හෝ අත්වැරදීමකින් හෝ බැහැර කරන්නේ නම්, එය ශෝචනීය කරුණකි. මේ පිළිබඳ පැවතිය යුතු කැප වීම සහ වගකීම අපි පාලක පාර්ශ්වයට මෙන්ම සමස්ත ජනතාව වෙතද එක සේ අවධාරණය කරමු.