දෙප­යින් සිට­ගන්න ලැබුණු හොඳම අව­ස්ථාව | Page 2 | සිළුමිණ

දෙප­යින් සිට­ගන්න ලැබුණු හොඳම අව­ස්ථාව

ශක ගණ­නා­වක් තිස්සේ මේ රටේ ව්‍යව­සා­යක පර­පුර මුහුණ දුන් දැවෙන ප්‍රශ්න කිහි­ප­යක් විය. එයින් එකක් වූයේ කොත­රම් හොඳ ව්‍යාපාර සැල­සු­මක් තිබු­ණද එය ආරම්භ කිරී­මට අවශ්‍ය ප්‍රාග්ධ­නය නැති­ක­මයි. ඊළඟ ප්‍රශ්නය වූයේ ප්‍රාග්ධ­නය සොයා ණයක් ගන්නට ගිය කල බැංකු ගානේ විඳි­න්නට සිදු වන රස්ති­යා­දු­වයි (අපේ ව්‍යව­සා­ය­ක­යන් බොහෝ විට පැව­සූයේ දියුණු වන්නට දුක් විඳින අව­ධියේ ණයක් ගන්නට බැංකු­වල රස්ති­යාදු වන්නට සිදු වන’මුත්, අමා­රු­වෙන් දියුණු වූ පසු බැංකු පැමිණ ‘අපෙන් ණය ගන්නැ’යි ඔවුන් අබි­යස වැඳ­වැ­ටෙන බවයි! එයද ඇත්තය). අමා­රු­වෙන් ණයක් අනු­මත කර­ග­ත්තද ඊළ­ඟට එළැ­ඹුණු අභි­යෝ­ගය වූයේ අවශ්‍ය ඇප­කර තැබී­මයි. බැංකු පොලී අනු­පා­තය ව්‍යාපාර දිරිය අව­හිර කරන තවත් බාධ­ක­යක් විය. රටේ ඉහළ සිට පහ­ළට තිබෙන සෑම තරා­ති­ර­ම­කම ව්‍යාපාර නාය­ක­යෝත්, ඔවුන් නියෝ­ජ­නය කරන වාණිජ මණ්ඩ­ලත් කාලා­න්ත­ර­යක් තිස්සේ මේ මැසි­විල්ල නඟ­මින් සිටි­යහ; ඒ ඒ ආණ්ඩු­ව­ලට ඇමැ­ති­ව­රුන්ට දොස් නැඟූහ.

ව්‍යව­සා­ය­ක­යන් යනු ව්‍යාපා­රික අවස්ථා පිළි­බඳ සියුම් ඉවක් ඇති, තමන්ගේ අර­මුණ කරා යෑමේ ධෛර්යය ශක්තිය හා ඉව­සීම ඇති, ඒ වෙනු­වෙන් අනේක කැප කිරීම් කළ හැකි පිරි­සකි. අසීරු අභි­යෝග මධ්‍යයේ ව්‍යාපාර ලෝකය තර­ණය කරන ඔවුන්ට පැවති මේ බාධා ඉවත් කිරීම යනු හිණි­ම­ඟක් වෙනු­වට අධි­වේගි විදුලි සෝපා­න­යක් සැප­යීම වැනි වූ කරු­ණකි. මෙතෙක් කලක් ව්‍යාපාර ලෝකයේ අපේ­ක්ෂා­වක්, සිහි­න­යක් පම­ණක් වූ ඒ බාධා ඉවත් කිරීම මේ වන විට අපේ දෑස් ඉදි­රි­යේම යථා­ර්ථ­යක් වී තිබේ. ඒ, රජයේ ව්‍යව­සා­ය­ක­යන් ලක්ෂ­යක් බිහි කරන ‘එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා’ වැඩ­පි­ළි­වෙළ හර­හාය.

‘එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා’ සම්පූ­ර්ණ­යෙන්ම මේ රටේ අලුත් ව්‍යාපාර බිහි කරලීම ඉලක්ක කර­ගෙන නිර්මා­ණය කරන ලද්දක් වන අතර, මේ ණය යෝජනා ක්‍රම සාර්ථක කර­ ගතහොත් එය සමස්ත ලෝක­ය­ටම ව්‍යව­සාය සංව­ර්ධ­නයේ සහ ආර්ථික සංව­ර්ධ­නයේ පූර්වා­ද­ර්ශ­යක් සප­යන සිද්ධි අධ්‍ය­ය­න­යක් වන­වාට සැක­යක් නැත. මේ වන විට රජය මේ ණය යෝජනා ක්‍රම ‘එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා’ වැඩ­ස­ට­හන සමඟ ගමට ගෙන යන්නට පටන් ගෙන තිබේ. එහි පළමු පිය­වර වූයේ පසු­ගිය සතියේ මොන­රා­ග­ලදී එළි­දුටු ‘එන්ට­ප්‍ර­යිස් ශ්‍රී ලංකා’ මහා ප්‍රද­ර්ශ­න­යයි. මේ ප්‍රද­ර්ශ­නය මඟින් මේ නව ණය යෝජනා ක්‍රම සමඟ අලුත් ව්‍යව­සා­යක අද­හස් රැසක්ද සාර්ථක ලෙස ගමේ ව්‍යව­සා­ය­ක­යන් වෙත ගෙන යනු ලැබීය.

එතෙක්-මෙතෙක් පැවැති කිසිදු රජ­යක් මේ අයු­රින් ව්‍යව­සා­ය­ක­යන්ට ණය දුන් ඉති­හා­ස­යක් අපට නැත. විවිධ රජ­යන් විසින් වරින් වර ගෙනෙන ලද විවිධ ණය යෝජනා ක්‍රම මඟින් සහ­න­දායි පොලී අනු­පාත යටතේ ණය දීමට කට­යුතු කෙරු­ණද, ඒ ණය බොහෝ විට ලැබුණේ ව්‍යාපා­රික වශ­යෙන් මනා ශක්ති­යක් ඇති ව්‍යව­සා­ය­ක­යන්ට පමණි. ඔවු­න්ටද මේ වෙනු­වෙන් තම දේපළ ආදිය ඇප­යට තැබී­මට සිදු විය. එහෙත් වත්මන් දැවැන්ත ණය යෝජනා ක්‍රම යටතේ ව්‍යාපා­රික ලෝක­යට අලු­තින්ම එන පුද්ග­ල­යන්ට පවා පොලී රහි­තව හෝ ඉතා සහ­න­දායි පොලී අනු­පාත යටතේ ණයක් ගෙන ව්‍යාපා­ර­යක් ආරම්භ කිරීමේ පසු­බිම නිර්මා­ණය වී තිබේ.

මේ ණය යෝජනා ක්‍රම තුළ ආණ්ඩුවේ රස්සා ඉල්ලා පාරට බැස කඳු­ළු ­ගෑස් කන තරුණ ජීවි­ත­ව­ල­ටද විසල් බලා­පො­රො­ත්තු­වක් ජනිත කර තිබේ. ඒ වග­කී­මක්ද සහි­ත­වය. එනම්: උපා­ධි­ධා­රීන්ට රජය සම්පූ­ර්ණ­යෙන්ම පොලිය ගෙවන ණයක් මඟින් රැකි­යා­වක් වෙනු­වට රැකියා සප­ය­න්නකු බවට පත් වීමේ ඉඩ-කඩක් නිර්මා­ණය කර දී තිබේ. ඒ ‘ඇර­ඹුම’ නම් ණය යෝජනා ක්‍රම­යෙනි. මීට අම­තර ව තවත් ණය යෝජනා ක්‍රම ගණ­නා­ව­ක­ටම අදාළ පොලිය රජය විසින් ගෙවනු ලබන අතර, ණය ගන්නා ව්‍යව­සා­ය­කයා ගෙවිය යුතු වන්නේ අදාළ ණය වාරි­කය පමණි. මෙවැනි සහන ණය යෝජනා ක්‍රම ගණ­නා­ව­කට අම­ත­රව තෝරා­ගත් විභ­ව­යක් සහිත ව්‍යාපාර සැල­සුම් වෙනු­වෙන් කිසිදු ඇප­ය­කින් තොරව රාජ්‍ය බැංකු මඟින් ණය ලබා­ගැ­නීමේ වැඩ­පි­ළි­වෙ­ළක්ද මේ වන විට රජය ක්‍රියා­වට නංවා ඇති අතර, මේ වන විට ඒ සඳ­හාද ව්‍යාපාර සැල­සුම් 800කට ආසන්න ප්‍රමා­ණ­යක් ඉදි­රි­පත්ව ඇති බව මාධ්‍ය වාර්තා පළ විය.

ඒ අනුව දැන් ව්‍යව­සා­ය­ක­යන්ට මෙතෙක් පැවති ලොකුම ප්‍රශ්න­ව­ලට විස­ඳුම් අත ළඟ­ටම පැමිණ ඇත. මේ ව්‍යව­සා­ය­ක­යන්ගේ මෙන්ම ඔවුන්ට මේ පහ­සු­කම් සල­සන රජයේ ඇත්ත­න්ගේත් ඊළඟ පිය­වර විය යුත්තේ කුමක්ද? ඔවුන් විසින් ආරම්භ කරන ව්‍යව­සා­යන්හි ශක්‍ය­තාව තහ­වුරු කිරී­මය. එහිදී අපට දැනට පව­තින දැවැන්ත අභි­යෝ­ග­යක් ගැනද සිහි තබා­ගැ­නීම වැද­ගත්ය. ඒ අපේ දැවැන්ත වෙළෙඳ ශේෂ­යයි. අපේ අප­න­යන ආදා­ය­මට වඩා ආන­යන විය­දම් වැඩි වීමේ අභි­යෝ­ගය එයින් මුල් තැන හිඳී. එයට අපට අභි­යෝග කළ හැකි හොඳම මඟ වන්නේ ලෝකය සමඟ තරග කළ හැකි නිෂ්පා­දන ලෝක වෙළෙ­ඳ­පො­ළට ඉදි­රි­පත් කිරී­මයි. ඒ සඳහා අපට ඕනෑ තරම් අව­කාශ ඇත. එබැ­වින් මේ දැවැන්ත ණය අව­ස්ථාව පසු­ප­සම, ව්‍යව­සා­ය­ක­යන්ට මේ අවස්ථා පෙන්වීමේ දැවැන්ත වැඩ­පි­ළි­වෙ­ළක්ද අව­ශ්‍යය. ඔවුන්ට ඒ මඟ නිසි ලෙස පාදා දුන හොත්, අපට ජාති­යක් ලෙස දෙප­යින් නැඟී සිටි­න්නට තවත් කල් ගත නොවනු ඇත.

Comments