
සරසවි සිසුන් ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දිගුකාලීන ඉල්ලීමක් වූයේ, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක මුදලක් වාර්ෂිකව උසස් අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ යුතු බවය. ඒ ඉල්ලීමේ අසාධාරණයක් නැත්තේ රටක ඉදිරිය ගැන බැලීමේදී බුද්ධිමතුන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය සාධකයක් වන හෙයිනි.
මෙලෙස උසස් අධ්‍යාපනය වෙනුවෙන් රටේ ජනතාවගේ මුදල්වලින් වෙන් වන කවර ප්රතිශතයක වුවද වැඩි ප්‍රමාණයක් ගලා යන්නේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය වෙත බව නොරහසකි. ඒ එහි විද්‍යාගාර, ගොඩනැඟිලි ආදි යටිතල පහසුකම් සංවර්ධනයට සහ ශිෂ්‍යයන්ගේ සහ ආචාර්යවරුන්ගේ කටයුතු වෙනුවෙනි. මෙය රටක් ලෙස කරන ජාතික මට්ටමේ ආයෝජනයකි. එහෙත්, මේ ආයෝජනයේ නිසි ප්රතිලාභ, නිසි කලට, නිසි මිනිසුන් විසින් ලබාගන්නේද යන්න අද අප හමුවේ ඇති ප්රශ්නයයි. වෙසෙසින්ම සරසවි ශිෂ්‍ය ප්‍රජාව උසස් අධ්‍යාපනයේ පරමාර්ථ අතර ශිෂ්‍යයන් ලෙස කොතෙක් දුරට හැසිරෙන්නේද යන ගැටලුවය.
නිතර කොළඹ නගරයේ රාජකාරි සඳහා පැමිණෙන්නන්ට හෝ ඉඳහිට දුරබැහැර සිට තමන්ගේ වැඩක් කරගැනීමට අගනුවරට එන සාමාන්‍ය ජනතාවට හෝ නගරයේදී අත්විඳින්නට සිදු වන දැවැන්තම කරදරය වන රථවාහන තදබදය සිය ගුණයකින් වැඩි කරවන සුලබ කරුණක්ව ඇත්තේ සරසවි සිසු උද්ඝෝෂණය. රතුකමිස රතුපටි හැඳ-පැලඳ, දමිළ චිත්‍රපටයක කාඩ්බෝඩ් විප්ලවකාරයන්ගේ වෙස් ගත් සරසවි සිසුන් තම ඉල්ලීම් අරබයා ප්‍රධාන වශයෙන් කොළඹ හෝ ඊට තදාසන්න නගරවල සිදු කරන මේ ජනහිංසාකාරි උද්ඝෝෂණ හේතුවෙන් අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ බුද්ධිමය ප්‍රතිරූපය අන්තයටම හේදී ගොස් තිබේ. ඉතා සුළු දෙයට පවා බුරුතු පිටින් පාරට බැසගෙන ඔවුන් විසින් කරනු ලබන මේ උද්ඝෝෂණ නිසා සැබැවින්ම වැඩිම පීඩනයකට ලක් වන්නේ ඔවුන්ගේ දෙමවුපිය සහෝදර සහෝදරියන් බහුතරයක් නියෝජනය කරන පීඩිත පන්තියමය. මෙවැනි විරෝධතා හමුවේ වැසුණු පාරවල නැවතෙන වාහන අතර වැඩිම පීඩනයක් දරන්නේ කිටිකිටියේ සෙනඟ හිර වුණු බස් රථයක ගමන් කරන හෝ දුම් පහර කමින් ත්‍රිරෝද රියක ගුළි වුණු මිනිසුන් මිස, වායු සමනය කරන ලද ලොකු වාහනවල යන මිනිස්සු නොවෙති; එසේම වග කිව යුතු බලදරුවන් හෝ මැති-ඇමැතිවරුද නොවෙති. ඔවුන්ගේ මේ වීදි සටන්වල අරමුණ ජනතාව මේ උද්ඝෝෂණ හරහා පීඩාවට පත් කොට ඔවුන් වෙතින් රජය කෙරෙහි අප්‍රසාදයක් එල්ල කරවීමද යන්න පැහැදිලි නැත. කෙසේ වුවද මේ වන විට සිදුව ඇත්තේ මේ විරෝධතා සහ ඉටු කරන්නට අමාරු ඉල්ලීම් පෙරටු කොට සැණෙකින් පාරවල් වහන දඩබ්බර ශිෂ්‍ය ප්‍රජාව වෙත සමාජ වෛරයක් නිර්මාණය වීමය.
මේ සමාජ විරෝධතාවට අත්වැල දෙන අනෙක් සාධකය වන්නේ විශ්වවිද්‍යාල තුළ පවත්නා ත්රස්තවාදයයි. නවකවධය සම්බන්ධයෙන් කොතරම් දැඩි ප්‍රතිපත්ති පිළිබඳ කතා කළද මේ වන විටද මෙරට බුද්ධිමත් ශිෂ්‍ය ප්‍රජාවගෙන් සැලකිය යුතු පිරිසක් මෙකී නවකවධය ඇතුළු අමානුෂික ක්‍රියාදාමයන් හමුවේ සරසවි බිම් හැර ගොසිනි. උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව එය දෙදහස ඉක්මවයි. මෙය එක් අතකින් විමුක්තිය, සමාජසාධාරණත්වය, උගතුන් වීමේ අයිතිවාසිකම් ඉල්ලා පාරට බසින බව කියන සිසු පරපුරේ අප නොදකින ඛේදනීය මුහුණුවරකි. මෙයින් පෙනී යන්නේ ලෝකය යන අතට ප්‍රගතිගාමීව ඇදෙන සිසු පරපුරකට වඩා, පසුගාමි ගෝත්‍රික යුගයකට යන ශිෂ්‍ය ව්‍යාපාරයක් අප විශ්වවිද්‍යාල පසුබිමේ සැඟව ඇති බව නොවේද?
කෙසේ වුවත් සරසවි ප්‍රජාව තුළ මෙවැනි විරෝධතා උද්ඝෝෂණ පවතින්නේ අපේ රටේ පමණක් නොවන බවද අප සිහිපත් කළ යුතුය. යුරෝපයේ හෝ ඇමෙරිකාවේ ලොකයේ හොඳම විශ්වවිද්‍යාල යැයි කියන ඒවායේ පවා මෙවැනි ශිෂ්‍ය විරෝධතා එදාට වඩා වැඩි ප්‍රවණතාවකින් සිදු වන බව මේ පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක යෙදුණු, දකුණු අප්‍රිකාවේ ඩර්බන් සරසවියේ ආචාර්ය ගෝපාලක්‍රිෂ්ණන් චෙට්ටි හෙළි කරයි. මෙහිදී විරෝධතා දැක්වීම සිසු අයිතියක් බවත්, ඒ අයිතිය රැකීම ප්රජාතන්ත්රවාදි සමාජයක වගකීමක් බවත් පවසන ඔහු, එහෙත් ඔවුන් හිංසනයට පෙලඹෙන්නේ නම්, මහජනතාවට පීඩා කරන්නේ නම් එවැනි විරෝධතා උද්ඝෝෂණ මැඬපැවත්විය යුතු බවද අවධාරණය කරයි. ඔහු පවසන්නේ කිසිදු විටෙක සමාජ යහපවැත්ම කඩ වන සීමාමායිම් පැන්නීමට ඔවුන් පෙලඹිය නොයුතු බවයි.
මේ කරුණ සම්බන්ධයෙන් සැලකීමේදී අද අපේ පාලකයන්ට වඩා ජනතාවට වධයක් වී ඇත්තේ ඔවුන්ගේ මේ වීදි සටන්වල ස්වභාවයයි. එය එක්කෝ මේ බුද්ධිමතුන් යැයි කියන ශිෂ්‍ය ප්‍රජාව විසින්ම නිවැරදි කරගත යුතුය; එසේ නැති නම් මහජනතාව පිළිගන්නා ක්‍රමයකට ඔවුන් නිවැරදි කිරීමකට ලක් කළ යුතුය. වඩාත් සුදුසු වන්නේ සරසවි ප්‍රජාව මේ කාරණයේදී ඉස්සර වීමය.