වැඩවර්ජන විසඳන ලී ක්වාන් යූ තියරිය | Page 2 | සිළුමිණ

වැඩවර්ජන විසඳන ලී ක්වාන් යූ තියරිය

වැඩවර්ජන හේතුවෙන් මිනිස් දින 1,04,327ක් ශ්‍රී ලංකාවට අහිමි වී ඇති බව වාර්තා වූයේ ඉකුත් වසරකය. මේ වසරේ වාර්තාව එය ඉක්මවා යනවාට සැක නැත. සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණත් වර්ජනය කරන තරමට මෙරට සමාජය හැඩගැසී තිබේ.

වැඩ වර්ජන අයිතිය යනු මූලික අයිතිවාසිකමකි. ඒ පිළිබඳව තර්කයක් නැත. ඕනෑම පුද්ගලයෙකුට ස්වකීය අයිතිවාසිකම් භුක්ති විඳින්නට තිබෙන අයිතිය ප්‍රශ්න කරන්නට හෝ පැහැර ගන්නට කිසිවෙකුටත් අයිතියක්ද නැත. ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන් ලංකාවේද ශ්‍රමිකයන් සඳහා වන අයිතිවාසිකම් උදෙසා වෘත්තීය සමිතිවලින් ඉටු වූ හා ඉටු වන කාර්යභාරය අතිමහත්ය. එහෙත් ඒ කාර්යභාරය 'සදාචාර' සීමාව ඉක්මවා යනවා නම් එය අවාසනාවක් ය. හිටි අඩියේ කරන වර්ජනවලින් අමාරුවේ වැටෙන්නේ අහිංසක ජනතාව ය.

ඉකුත් දා පැය කිහිපයක දුම්රිය වර්ජනයක් සිදු විය. ඉන් බරපතළ ලෙස අසරණ වූයේ කාර්යාල නිමවා නිවෙස් කරා යන්නට සිටි ජනයා ය. වර්ජකයන්ට තිත්තෙන් බණිමින් ජනතාව මේ රස්තියාදුව දරා ගත්හ. වෛද්‍යවරුන්ගේ වර්ජනයක් ගැන කනින් කොනින් කියැවේ. හිපොක්‍රටිස් දිවුරුම දී වෛද්‍ය වෘත්තියට බට වෛද්‍යවරුන්ගේ වර්ජන, තර්ජන අනුව ඊට යෙදිය හැක්කේ 'මාෆියාව' යන්න ය. වෛද්‍ය වෘත්තියට අදාළ වටිනාකම සහ ශ්‍රේෂ්ඨත්වය ගැන තර්කයක් නැත. එය පරම අසමසම වෘත්තියක් ය. එහෙත්, ගහෙන් ගෙඩි එන ගානට ගන්නා 'වර්ජන තීරණ' සාහසික ය.

මෙම රජය බලයට පත් වීමට පෙර පැවැති පාලන සමයන් තුළ සිය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා වර්ජන, පිකටින් උද්ඝෝෂණ ආදී වෘත්තීය ක්‍රියා මාර්ගවලට එළඹුණු වෘත්තීය සමිති නායකයන් දැඩි මර්දනයකට ලක්වුණු අවස්ථා අපමණ ය. ප්‍රජාතාන්ත්‍රික වගේම සමාජවාදී ජනරජයක් වීම නිසාම වර්ජනය, උද්ඝෝෂණය යනු අපේ රටේ සංස්කෘතික ලක්ෂණයක් තරමට මුල් බැසගත් දෙයක් වී හමාරය.

පිපාසයට බොන්නට දිය වතුර පොදක් ඉල්ලා සාමකාමීව සත්‍යග්‍රහ කළ ජනයාට හමුදා බැටෑලියන් ගෙන්වා පහරදුන් ඉතිහාසයකුත්, මුහුදු යන්නට භූමිතෙල් ටික ඉල්ලා උපවාස කළ ධීවරයන් මරා දැමූ ඉතිහාසයකුත්, දහදුක් විඳ ෆ්ලොරසන්ට් එළිය යට නිදිවරා හරිහම්බ කළ මුදලෙහි විශ්‍රාම වැටුප උදුරා ගන්න එපායැයි කියන විට ඇඟලුම් සේවකයන්ට පහර දී මරා දැමූ ඉතිහාසයකුත් අප පසුකොට විත් තිබේ.

වැඩවර්ජන සම්බන්ධව ලෝකයේ රටවල් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග විවිධය. වර්ජන සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදී රටකට තරම් නොවන, එහෙත් ප්‍රායෝගික තීන්දුවක් වරක් සිංගපූරුවේ අසහාය නායකයා වූ ලී ක්වායින් යූ විසින් ගනු ලැබීය.

1980 වසරේ මහ මැතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී ‘සිංගප්පෝ එයාර්ලයින්ස්’ සමාගමේ ගුවන් නියමු සංවිධානය, වැඩ වර්ජනයක් දියත් කළේය. එය මාසයකට ආසන්න කාලයක් එය පැවැතියේය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ රැලියකදී අදහස් දක්වන සිංගප්පූරුවේ අගමැතිවරයා මෙසේ කියන්නේය.

“මම ගුවන් නියමුවන් හමු වුණා. මම ඔවුන් හමු වුණේ රූපවාහිනියෙන් නෙමෙයි. මම මුහුණට මුහුණ ඔවුන් හමුවුණා. මේසයේ එක පැත්තකට ඔවුන්. එක පැත්තක මම. අපි දෙගොල්ලෝ හිටියේ අඩි පහක් දුරකින්. ඔවුන්ට මාව පේනවා. මට ඔවුන් පේනවා. ශක්තිමත් තවමත් සටන් කළ හැකි මා දෙස බැලීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මා සමඟ සටන් කරනවාද නැතිනම් පරාජය බාරගන්නවාද කියා තීරණය කරන්න ඔවුන්ට අවස්ථාව තිබුණා.

මම ඔවුන්ට තෝරාගැනීම් දෙකක් දුන්නා. මේ තර්ජනය, (ඇත්ත වශයෙන්ම එය තර්ජනයක්) නවත්වනවාද ? එහෙමත් නැති නම් නැවතත් සේවයට එනවාද කියන තෝරාගැනීම් දෙක මම ඔවුන්ට දුන්නා. මම ඔවුන්ට තෝරාගැනීමක් කරන්න අවස්ථාවක් දුන්නා.

සති දෙකක් තිස්සේ වැඩ වර්ජනයේ යෙදෙමින්, ගුවන් ගමන් අඩාළ කරමින්, ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදල්, දැන්වීම් සඳහා වියදම් කරන ලද මුදල් සියල්ල මේ වර්ජනය විසින් විනාශ කරන ලැබුවා. මේ වැඩ වර්ජනය සියල්ල විනාශ කළා

ඔබලා කැමති නම් මෙය දිගටම කරගෙන යන්න. එහෙම වුණොත් මම මට හැකි උපරිමයෙන්, මට සියලු වෙර දරා, මම ඔබට හොඳ පාඩමක් උගන්වනවා. සිංගප්පූරු ජනතාවගේ උදවු ඇතිව ඔබට ජීවිතයට අමතක නොවන පාඩමක් උගන්වනවා යයි මා ඔවුන්ට කියා සිටියා. එය නැවත නැවත කීමට මා සූදානමින් සිටියා.

එසේ නැති නම් මේ වර්ජනය නැවැත්විය යුතුයි. මා සියල්ලටම සූදානමින් සිටියේ. මා ඔවුන්ට දුන් අනෙක් තෝරාගැනීම මේකයි.

එහෙම නැති නම් ඔය වර්ජනය නවත්වලා, නැවත වැඩ කරන්න. වැඩ කරමින් ප්‍රශ්නය සාකච්ඡවට ගනිමු. විනයගරුක වෙන්න. ඉන් පස්සේ මා සමඟ සාකච්ඡා කරන්න යයි මා ඔවුන්ට කියා සිටියා.

සටන් කිරීමෙන් පලක් නැති බව ඔවුන්ට තේරුණා. ඒ නිසා ඔවුන් විනාඩි 65 කදී තීරණයක් ගත්තා. ඔවුන් තේරුම් ගත්තා ඔවුන් නොමැතිව ගුවන් සේවය කරගෙන යන බව. ඔවුන් නීතිය දැනගත්තා. ගුවන් සේවය ක්‍රියාත්මක කරගෙන යෑමට මට හැකියාව තිබෙන බව ඔවුන් තේරුම් ගත්තා

සිංගප්පූරුව පාලනය කරන ඕනෑම නායකයකුට ඒ ශක්තිය තිබිය යුතුයි. රට කරගෙන යා යුතුයි. වැරැදි වෙන්න බැහැ. බැරි නං දාලා යන්න ඕනේ.

මේක කාඩ් සෙල්ලමක් නෙමෙයි. මේ ඔබේත් මගේත් ජීවිතය. මේ රට ගොඩනගන්න මම මගේ මුළු ජීවිත කාලයම කැප කළා. මම ඉන්නකං කාටවත් මේක වට්ටන්න දෙන්නේ නැහැ”.

ලී ක්වාන් යූ ගේ රටාවට වර්ජන විසඳන එක සාධාරණ යැයි අපි කියන්නේ නැත. එහෙත් අද තිබෙන සිංගප්පූරුව හැදුණේ එහෙම ය.

Comments