
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින් ම අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබීම සතුටට කරුණකි. ඒ කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම පවසන්නේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්‍රමාණවත් නීති-රීති අත්‍යවශ්‍ය වුවත්, ඒවා මහජනතාවගේ මානව හිමිකම් සුරැකෙන පරිදි සම්පාදනය කළ යුතු බව යි.
වෙන ම රාජ්‍යයක් උතුරු-නැඟෙනහිර ප්‍රදේශයේ පිහිටුවා ගැනීම සදහා අවි ගත් දෙමළ සංවිධාන ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව යුද ප්‍රකාශ කළ පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කර ගන්නා ලදි. ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ව සිටි දිවංගත ලලිත් ඇතුළත්මුදලි වරක් ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වීම උතුරට හා නැඟෙනහිරට පමණක් සීමා කරන බව යි. ඔහු එසේ පවසන්න ඇත්තේ දකුණෙන් ඊට එරෙහි ව එල්ල වූ විරෝධය ලිහිල් කර ගැනීමට විය යුතු ය.
එහෙත් දකුණේ ප්‍රචණ්ඩත්වය ආරම්භ වූ 1983න් පසු දකුණට ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රායෝගික ව බලාත්මක කිරීමට පාලකයෝ පසුබට නො වූ හ. මේ වන විට උතුරු-නැඟෙනහිර පමණක් නො ව, සමස්ත දිවයිනේ ම මානව හිමිකම්වලට ප්‍රබල තර්ජනයක් වී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යි. පසුගිය දශක ගණනාවක අත්දැකීම් අනුව මානව හිමිකම් බරපතළ ලෙස කඩ වීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලපෑ බව මානව හිමිකම් කොමිසන් සභාවේ ද නිරීක්ෂණය යි. මේ අනුව ඒ පනත අහෝසි කළ යුතු යැ යි ඒ කොමිසම නිර්දේශ කිරීම වඩා ප්‍රජාතන්ත්‍රවාදි පියවරකි.
1970 වර්ෂයේ පමණ සිට අඩ-සියවසකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව පුරා ප්‍රචණ්ඩත්වය හෝ ඊට ආසන්න වටපිටාවක් හෝ පැතිර තිබිණි. එනිසා රාජ්‍ය විරෝධි කැරැලිකරුවන්ගේ ද රාජ්‍යයේ ද තුවක්කුවට සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදි මානව වටිනාකම් යටත් ව තිබිණි. එවක සැම නීතියක් ම සම්පාදනය වූයේ රාජ්‍ය ආරක්ෂාව නම් සංකල්පයට අනුව ය. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදි සමාජ වටිනාකම්වලට තනි තනි නීතියෙන් නො ව, ප්‍රචණ්ඩ සංස්කෘතියකින් බලපෑම් එල්ල විය. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පමණක් නො ව, තවත් ඒ හා සම්බන්ධ නීති රැසකින් රාජ්‍යයේ සුජාතභාවය අශ්ලීලත්වයට පත් වූ බව කිව හැකි ය. මහජන ආරක්ෂක පනත යටතේ පැනවිය හැකි හදිසි නීති රෙගුලාසි පවා අතිශය අමානුෂික හා මානව ගෞරවය කෙලෙසන තරමට ම්ලේච්ඡ විය. 1989 කාලයේ එලෙස පැනවූ හදිසි නීති රෙගුලාසියකට අනුව, මිය-ගිය අයකුගේ මෘතදේහය සහකාර පොලිස් අධිකාරිවරයකු හෝ ඊට ඉහළ නිලධාරියකුගේ හෝ අධීක්ෂණය යටතේ, පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව භූමදානය කළ හැකි විය. එවැනි රෙගුලාසි කොතරම් නම් ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැළපේ ද යන්න සාකච්ඡාවට බදුන් නොවුණේ සමාජය ප්‍රචණ්ඩත්වය විසින් බරපතළ ලෙස ගිල ගෙන තිබූ නිසා ය. මේ අනුව පැහැදිලි වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ මහජන ආරක්ෂක පනත යටතේ පනවන හදිසි නීති රෙගුලාසි හෝ පමණක් මානව හිමිකම් කඩ කිරීමට බල නොපාන බව යි.
ශ්‍රී ලාංකික සමාජයේ මානව හිමිකම් කඩ වීමට බරපතළ ලෙස හේතු වී ඇත්තේ ප්‍රචණ්ඩ සංස්කෘතියක් පැවතීම යි. ඒ අනුව රාජ්‍යයේ ස්වභාවය ද ප්‍රචණ්ඩ සංස්කෘතියට ගැළපෙන අයුරින් නිර්මාණය වී තිබේ. රාජ්‍යයේ විධායක තීන්දු ආවේක්ෂණ හා තුලනය කිරීමකට ලක් වන ලෙස සකස් වී නැත. එනිසා රාජ්‍යයේ ඕනෑ ම පාලන අධිකාරියකින් ගන්නා තීන්දු යළි සලකා බැලීමක් සිදු නොවන අතර, ඒවා ආඥාදායක ලෙස ක්‍රියාවට නැංවේ. මෙය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදි භාවිතයට බරපතළ තර්ජනයකි.
මීට විසඳුමක් ලෙස නීති සම්පාදනයේ දී සියලු නීති කෙටුම්පත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධීක්ෂණයට ලක් විය යුතු බව ඒ කොමිසමේ අදහස යි. එය බොහෝ රටවල ක්‍රියාත්මක වන ක්‍රමයක් බව ද ඒ කොමිසම පවසයි. එවැනි අධීක්ෂණයක් සිදු විය යුත්තේ නීති කෙටුම්පත් සම්පාදනයේ දී පමණක් නො වේ. රාජ්‍යයේ සියලු විධායක කටයුතුවල දී ද කුමන ආකාරයකින් හෝ සකස් කර ගත් අධීක්ෂණ ක්‍රමවේදයක් ඔස්සේ ආවේක්ෂණ හා තුලන ක්‍රමයකට හුරු විය යුතු ය. එවිට සමාජයේ ආඥාදායක ස්වභාවය නිෂ්ක්‍රීය වී ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදි යන්ත්‍රණයක් බලාත්මක වන්නේ ය.
රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම යනු උදැල්ලෙන් ගසා සතුරා මරා-දමන අශ්ලීල ක්‍රමයක් නො වේ. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ද ලෝකය පිළිගත් ශිෂ්ට ක්‍රමවේද පවතී. එහෙත් ඒ ශිෂ්ට ක්‍රමවේද අත්හදා බලන ප්‍රවේශයකට වඩා අප මෙතෙක් කැමැත්තෙන් යොමු වූයේ අශ්ලීල හා අමානුෂික ක්‍රම ක්‍රියාත්මක කරන්නට ය. එනිසා රාජ්‍ය ආරක්ෂාව ද තහවුරු ව පවතින්නට පුළුවනි. එහෙත් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කර ගත යුත්තේ ම්ලේච්ඡ ජාතියක් ලෙස ලෝකයා ඉදිරියේ හංවඩු ගැසෙන්නේ නැති ව බව අප තේරුම් ගත යුතු ය. රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදිකරණයට ලක් කිරීම සිතන තරම් පහසු නැත. එහෙත් අවම වශයෙන් රාජ්‍යයේ ස්වරූපය ප්‍රජාතන්ත්‍රවාදි හරයකින් යුතු යැ යි බැලූ බැල්මට තේරුම් ගත හැකි මට්ටමකට නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කළ යුතු ව ඇත. ඒ සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හදිසි අවශ්‍යතාවකි.