ඉරානයේ රාජ්‍ය සංචාරය | Page 2 | සිළුමිණ

ඉරානයේ රාජ්‍ය සංචාරය

 ලෝකය සමඟ සසඳන විට 18 වැනි ආර්ථිකය හිමි, භූමියේ විශාලත්වය හා ජනගහනය අතින් 18 වැනි ස්ථානය හිමි ඉරානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවකු වන අතර තෙල් පිරිපහදු කටයුතු හා ඉන්ධන ලබාගැනීම අතින් ශ්‍රී ලංකාව ද ඉරානයේ ප්‍රධාන ගැනුම්කරුවෙක් වෙයි. බලවත් රටවලට ඉරානය සම්බන්ධයෙන් කවර ප්‍රශ්න තිබුණත් නොබැඳි පිළිවෙත පිළිගන්නා ශ්‍රී ලංකාවට ඉරානය වැදගත් මෙන්ම මිත්‍රශීලි රටකි. පසුගියදා ඉරානයේ සාර්ථක රාජ්‍ය සංචාරයකට සහභාගී වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු කළ නිල හමුවේ දී ද සඳහන් කළේ, නොබැඳි ජාතීන්ගේ සාමාජික රටක් ලෙස සියලු මිතුරු රාජ්‍යයන් එක ලෙස පිළිගනිමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ඔස්සේ සියලු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බව යි. රටේ විදේශ ප්‍රතිපත්තිය හා අවශ්‍යතා සැලකිල්ලට ගත් විට මේ රාජ්‍ය සංචාරය අන්තර්ජාතික ව වටිනා වේදිකාවක් විණි.

අද ඉරානය නමින් හඳුන්වනු ලබනු ලබන භූමිය පුරාණයේ අයත් ව තිබුණේ පර්සියාවට යි. අදින් වසර 5000කට ඉහත දී පවා දියුණු ශිෂ්ටාචාරයක් පැවති පර්සියාව එදත් මේ හෙළදිව සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇත. පර්ෂිපොලිස් නගරය එදා තිබුණු දියුණු ශිෂ්ටාචාරයක නටබුන් ගැන පවසන අතර, අනුරාධපුර පැරණි නගරය ගොඩනැඟීමේ දී පර්ෂිපොලිස් නගරයේ ගෘහනිර්මාණ ශිල්පයේ ආභාසය ලබූ බව ද කියැවේ. ලෝකයට සාපේක්ෂ ව පර්සියාවේ එදා දියුණුව, එම භූමිය දිව්‍යලෝකය ලෙස හැඳින්වීමෙන් ද ගම්‍ය වන අතර, අනුරාධපුරයේ ලෝවාමහපාය රහතන් වහන්සේ නමක් විසින් ගෙන එන ලද, දෙව්ලොව දෙව්දුවකගේ මාලිගයේ සැලස්මට අනුව ඉදිවූවක් බවට ඇති සාහිත්‍ය සඳහන මගින් ද කියා පාන්නේ දෙරට අතර පැවති සමීප සම්බන්ධය ගැන කතාව යි. එය සාමාන්‍ය මිත්‍ර සම්බන්ධයකට එහා ගිය ශිෂ්ටාචාර අතර සම්බන්ධයක් ලෙස, එනම්: සභ්‍යත්ව අතර සහජීවනයක් ලෙස දැක්විය හැකිය.

මීට දශක දෙකකට පමණ ඉහත ‘ශිෂ්ටාචාර අතර ගැටුම‘ ලෙස බටහිර දාර්ශනිකයකු විසින් ඉදිරිපත් කරන ලද ආන්දෝලාත්මක මතවාදය හමුවේ ඉරානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ගෙනා යෝජනාව මෙහි දී සිහිපත් කළ යුතු වේ. ඉරානය ඉදිරිපත් කළ යෝජනාවෙන් කියවුණේ, අප අද කතා කළ යුතු වන්නේ ශිෂ්ටාචාර අතර සංවාදයක් ඇති කිරීම ගැන මිස ශිෂ්ටාචාර අතර ගැටුම් ගැන නොවේ ය, යන්න යි. එදා ශ්‍රී ලංකාව ද ඉරානය ඉදිරිපත් කළ ඒ යෝජනාව අනුමත කළේ ය. ශ්‍රී ලංකාවට එරෙහි ව මානව හිමිකම් ප්‍රශ්න මතු වන අවස්ථාවල දී මෙන් ම ආර්ථික සහයෝගීතාවල දී ද ඉරානය මිත්‍රශීලී ව එකට සිටින රටක් ලෙස වාර්තාගත ඉතිහාසයක් ද ඇති බව මෙහිදී සිහිපත් කරනු වටී. එය ශ්‍රී ලංකාවේ වුවමනාවන් හා විදේශ ප්‍රතිපත්තිය මත ගළපා ගත හැකි ය. අන්තර්ජාතික දේශපාලනයේ තීරණාත්මක මංසන්ධියක සිදු වූ ශ්‍රී ලංකා ජනාධිපතිගේ ඉරාන රාජ්‍ය සංචාරය මෙරට ආර්ථික සංවර්ධනයේ ඉදිරි ගමනට නොමඳ පිටුබලයක් වනු ඇත්තේ මේ පසුබිම මත යි.

ඉරානය තමන්ට ම කියා තාක්ෂණයක් දියුණු කර ගත් රටකි; එමෙන් ම න්‍යෂ්ටික බලයක් ද හිමි රටකි. ලෝක දේශපාලන සිතියමේ වැදගත් පිහිටීම් සහිත රටවල් දෙකක් ලෙස ශ්‍රී ලංකාව සමඟ ඉරානය ද එක් තැනක සිටීම තවත් වැදගත් කරුණකි. බැලූ බැල්ලමට ලෝකය හමුවේ කැපී පෙනෙන්නේ නැති වුව ද භූමිය අතින් ගත් කල කුඩා රටවල් වුව ද මේ රටවලට ද භූ දේශපාලන සිතියමේ සම තැනක්, අනන්‍යතාවක් නිසැක ව ම ඇත. ඒ බවට ඇති විශ්වාසයෙන් නැඟී සිටින්නට හැකි ඉඩකඩ ඇතැම් විට අහුරා තිබෙන්නට හැකි ය. නැති නම් වැසී තිබෙන්නට හැකි ය. එහෙත් ඒ ඉඩකඩ පාදා ගැනීමේ හැකියාව ද කොතනක දී හෝ මතු වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන භෝගයක් වන තේ ගැන ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කුමේනි සඳහන් කළ දේ එවැනි මතු කිරීමකි. තමා මෙරට තේවලට ඉතාම කැමති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු අවස්ථාවේ දී එතුමා පැවසී ය.

පුරාණ පර්සියාව හා එදා අනුරාධපුරය සමකාලීන ව ගත් කල ඉදි කිරීම්, කලා ශිල්ප, සංස්කෘතිය අතින් උසස් ශිෂ්ටාචාරයක අනන්‍යතාව ලකුණු කළේ ය. නූතන ලෝකය සමඟ ගැළපී ඉදිරියට යා යුතු වන්නේ ඒ ලකුණු මකා ගෙන නො වේ.

Comments