රාජ්‍ය නායකයා හා රටේ ප්‍රතිරූපය | Page 2 | සිළුමිණ

රාජ්‍ය නායකයා හා රටේ ප්‍රතිරූපය

 තිරසර සංවර්ධනය සඳහා ලෝක ජාතීන් විසින් 2030 වසරට ඉලක්ක කරනු ලැබ ඇති පොදු පිළිවෙත සාර්ථක කර ගැනීම වෙනුවෙන් ජීවය ලබා දීමට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කැප විය යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමී ව, ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය පවත්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය. එමගින් වැදගත් කරුණු දෙකක් සිහි කැඳවයි. සංවර්ධන ක්‍රියාවලියත් පාරිසරික ආරක්ෂාවත් සමබර ව පවත්වා ගැනීමේ තිරසර බව එක් කරුණක් වන අතර ඒ සඳහා ඇති පොදු එකඟතාව වෙනුවෙන් කැප වීම දෙවැනි කරුණ වෙයි.

පොදු එකඟතාව යනු සම්මුතිය ලෙස ද තවත් අයුරකින් පැවසිය හැකි ය. ලෝක ජාතීන්ගේ සම්මුතියකින් එකඟ වූයේ පරිසරයට ඔරොත්තු දෙන සංවර්ධනයකි. ධනය හඹා යමින් අනුගමනය කෙරෙන පරිභෝජන රටාව වෙනස් නොකළ හොත් සිදු විය හැකි බලශක්ති අර්බුදය, නීල හරිත ආර්ථිකයක් සඳහා ලෝකයේ අවධානය යොමු කරවන, දැනටමත් මතු වී ඇති බරපතළ අනතුරකි. හැකි තරම් පිනවීම අරමුණු කරන තරගකාරී පරිභෝජන රටාව එසේ ම තබා ගෙන මෙකී ලෝක සම්මුතිය සාක්ෂාත් කර ගැනීමට හැකියාවක් නැත. මේ සම්මුතියේ ප්‍රතිඵලයක් දකින්නට නම් ලෝකයේ සෑම සමාජයක් ම ඒ වෙනුවෙන් කැප විය යුතු ය. සම්මුතිය අවශ්‍ය වන්නේ ම පොදුවේ කාටත් බලපාන, සමස්ත සොබාදහමට ම බලපාන ව්‍යසනයක් වළක්වා ගන්නට බැවින් ඒ කැප වීම යහපත් ලෝකයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය වන්නකි. ඒ කැප වීම නැති විට සම්මුතිය අර්ථශූන්‍ය වෙයි. ශ්‍රී ලංකාව අනුගමනය කරන්නට වූ සම්මුතිවාදී දේශපාලනය, ඉලක්කගත යහපත් ප්‍රතිඵල අත් කර නොදුන්නාට සමාන වන ලෙසිනි.

ජනසමාජයේ හෝ සොබා දහමේ හෝ පොදු යහපත වෙනුවෙන් ඇති කර ගන්නා සම්මුතිවාදය රැකගෙන, අපේක්ෂිත ඉලක්කයට යෑම වෙනුවෙන් ජනමාධ්‍ය ද විශාල කැප කිරීමක් කළ යුතු ව ඇත. තොරතුරු තාක්ෂණය පුළුල් වීමත් සමඟ සීමා මායිම් නැති මාධ්‍ය භාවිතයක් හා අසීමිත නිදහසක් භුක්ති විඳින්නට ලැබුණත්, එයින් පංගුවක් වත් එළඹගන්නා සම්මුතිය හෝ පොදු යහපත හෝ වෙනුවෙන් කැප කරන්නට අවශ්‍ය වෙයි. විශේෂයෙන් ම නූතන මාධ්‍ය මෙවලම් වැඩිපුර භාවිත වන්නේ එකිනෙකාගේ රුචි අරුචිකම් හෝ පෞද්ගලික අපේක්ෂා හෝ මුදුන් පමුණුවා ගන්නට වන බැවිනි. ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතමින් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ විශේෂයෙන් ම අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රචලිත වන තොරතුරුවලින් සියයට හැත්තෑපහකට වඩා අසත්‍ය තොරතුරු බව යි. මේ ප්‍රවණතාව රට ඇතුළේ සම්මුතිවාදී ගමනට මෙන් ම ලෝකයත් සමඟ එකඟ වන සම්මුතිවාදී ගමනට ද මහත් බාධාවකි. වාණිජ ඉලක්ක හෝ පෞද්ගලික අරමුණු හෝ වෙනුවෙන් ආයතනික ව හෝ පෞද්ගලික ව හෝ මාධ්‍ය හැසිරවීම පොදු සම්මුතියට අදාළ ව වරදක් සේ කල්පනා නොවුණත්, එයින් තමන්ට පෞද්ගලිකව හානියක් සිදු වන විට එකී මාධ්‍ය භාවිතයේ වරදක් ඇති බව දැනෙයි. සමාජ මාධ්‍ය භාවිතය හඳුන්වා දුන් ඇමෙරිකාව වැනි රටවලට අද එහි හානිය දැනෙන අයුරිනි. මේ මාධ්‍ය භාවිතය ගැන අවධානයට ගැනීමට තමන්ට වරදින තුරු සිටිය හොත් නැවත නිවැරදි කළ නොහැකි ලෙස රටේ ප්‍රතිරූපය පවා කෙලෙසෙනු ඇත.

මේ පසුබිම යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරසර සංවර්ධනය ගැන හා ඊට අදාළ සම්මුතිවාදය වෙනුවෙන් කැප වීම ගැන අවධාරණය කිරීම අන්තර්ජාතික ව මෙන් ම ජාතික ව ද ඉතා වැදගත් වෙයි. රට සම්බන්ධයෙන් රටින් පිටට යන වැරදි චිත්‍රය නිවැරදි කරන්නට ජනාධිපතිවරයා විසින් ඒ උත්සාහය ගනු ලබන්නේ අන්තර්ජාතික ව ප්‍රසාදය දිනා ගත් රාජ්‍ය නායකයකු හැටියට බව ද මෙහි දී සිහිපත් කිරීම වටී. රටේ ප්‍රතිරූපය ලෝකය ඉදිරියේ පිළිගැනීමට යොමු කළ හැක්කේ ලොව පිළිගත් නායකත්වයකට යි.

තිරසර සංවර්ධනය වෙනුවෙන් ලෝක සම්මුතිය ආරක්ෂා කරන්නටත් ඒ සංවර්ධනයේ ප්‍රතිඵල රටක් ලෙස භුක්ති විඳින්නටත් රට තුළ දේශපාලන සම්මුතිය ද අත්‍යවශ්‍ය වන අතර, ඒ වෙනුවෙන් පටු අරමුණු පසෙක ලා රටට දැනෙන කැප කිරීමක් කළ යුතු වෙයි.

Comments