ජන මතය ද? ජන බලය ද? | Page 2 | සිළුමිණ

ජන මතය ද? ජන බලය ද?

 මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය ජීවිත කාලයට ම හා රුසියානු ජනාධිපතිවරයාගේ ධුර කාලය හතරවැනි වරට වශයෙන් දිගු කිරීමට ඒ රටවල ජනතාවගේ අනුමැතිය ලැබිණි. මේ නව ප්‍රවණතාව ජනතා කැමැත්ත මත සිදු වන්නක් නොව, දේශපාලනික උපක්‍රමයක් ලෙස ද අර්ථ දැක්විය හැකි ය. එනමුත් පසුගිය කාලය පුරා ඒ රටවල් පැමිණි ගමන්මඟ දෙස බලන කල කවුරුන් බලයේ සිටිය ද නොසිටිය ද ඔවුන්ට පැහැදිලි දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබුණු බවත් සිදුවන වෙනස්කම් ඒ දේශපාලන දැක්මට අනුව සිදු වන්නක් බවත් මනාව පැහැදිලි ය. තමන්ගේ රට යා යුතු දිශානතිය පිළිබඳ පාලකයන්ට පමණක් නො ව, එරට ජනසමාජයට ද පැහැදිලි දැක්මක් නැතැයි කිව නොහැකි ය. චීන ජනතාව වෙහෙසී වැඩ කරන පිරිසක් බව ලොවට ප්‍රකට ය. පනහේ දශකයේ ඉතා දුප්පත් අඩියක සිටි චීනය තවත් දශක හතකට පසු ලොව බලවත්ම ආර්ථිකයක් අත්පත් කර ගත්තේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. රුසියානු ජනතාව ද තම සමාජවාදි රාජ්‍ය බිඳවැටීමෙන් අනතුරුව, විනයගරුක සමාජය එලෙස ම පවත්වා ගනිමින් නූතන ලෝකයෙහි නැඟී සිටියේ ව්ලැදිමීර් පූටීන්ගේ නායකත්වය යටතේ ය. මේ ප්‍රවණතාව දක්වන රටවල සමාජ දේශපාලන කතාව එවැන්නකි.

රටේ නායකත්වයේ ධුර කාලය එසේ දීර්ඝ වන ප්‍රවණතාවක් මේ රටවල පෙන්නුම් කරද්දී, 2015 වසරේ මෙරට සම්මුති ආණ්ඩුව බලයට පත් වීම කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ මෙහි අනෙක් පැත්තයි. 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපති ධුරය ජීවිත කාලයට ම තබා ගන්නට ගත් උත්සාහයට ජනතාවගෙන් එල්ල වූයේ අකැමැත්තයි. පෙර සඳහන් කළ රටවල කතාව දේශපාලන උපාය උපක්‍රමයක් බව කෙනකුට කිව හැකි වුවත් රට ඉදිරියට ගැනීමේ දී එම රටවල් පෙන්වන ප්‍රගතිය ශ්‍රී ලංකාවේ දක්නට නොවිණි. එබැවින් 2015 ජනවාරි 8 පෙරළිය යනු ‘ඇස්බැන්දුම් සංවර්ධනය‘ රටේ ඉදිරි ගමන නොවන බවට ජනතාව අවිඥානකව හෝ වටහා ගත් බව කියා පෑමකි. එම දැවන්ත ජනතා තීන්දුවට බලපෑ අනෙක් ප්‍රධාන සාධකයක් වූයේ දූෂණයට වංචාවට සම්බන්ධ අයට දඬුවම් ලැබෙනවා දැකීමයි. ඒ වන විට මේ රටේ දේශපාලන බලය අත් කර ගැනීමේ ප්‍රධාන සටන් පාඨය බවට පත් වූයේ යුද්ධය සහ බඩ ගැනයි. එහෙත් 2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මේ සටන් පාඨ අහෝසි කරමින් ප්‍රථම වතාවට වංචාවෙන් දූෂණයෙන් තොර ශිෂ්ටසම්පන්න සමාජයක් උදෙසා යහපාලනයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් මහජනතාව ඡන්දය ප්‍රකාශ කළේ ය. එය මේ රටේ ඡන්ද දායකයාගේ මතවාදීමය ආස්ථානයේ පැහැදිලි වෙනසක් පෙන්වීමකි. එහිදී පරාජයට පත් වූයේ 18 වැන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ජීවිතාන්තය දක්වා බලයේ රැඳී සිටීමට උත්සාහ කළ නායකයකු බව අප අමතක නොකළ යුතු ය. එනම්: මේ රටේ මහජනතාවගේ ජීවිත, බුක්තියට තබා ගනිමින් එක් අයකු පාලන බලය හෙබවීම ප්‍රතික්ෂේප කළේ ය. මෙරට ජන සමාජය එකාවන්ව දේශපාලන දැක්මකින් යුතු හා ප්‍රතිපත්ති දේශපාලනය ගැන සවිඥානක නොවුණත් අවිඥානකව හෝ රටේ ඉදිරි ගමන ගැන බලාපොරොත්තුවක් සහිත වූවක්් බව පිළිගන්නට එයින් මඟ පාදයි.

ජනවාරි 8 පෙරළියෙන් බලයට පැමිණි වත්මන් රජය ශිෂ්ටසම්පන්න රටක් උදෙසා ජනතා අභිලාෂයන් එකින් එක ඉෂ්ට කරන්නට විය. 19 වැන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් 18 වැන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළා පමණක් නො ව, ජනාධිපතිවරයාගේ ධුර කාලය ද වසරකින් අඩු කළේ ය. ස්වාධීන කොමිසන් සභා පිහිටුවූ අතර, තොරතුරු දැනගැනීමේ පනත ද බලාත්මක කළේ ය. ආණ්ඩුව කවරාකාරයෙන් විවේචනය කළ ද ඒ වෙනුවෙන් කිසිවකුට අතුරුදන් වීමට හෝ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදි නිදහස වෙන කවර කලකටත් වඩා නිදහස් විණි. නොනැවතී දියත් කෙරුණු වැඩ වර්ජන, උද්ඝෝෂණ මගින් කියා පෑවේ ද එම නිදහසේ තරමයි; එමෙන්ම ලැබුණු නිදහස සම්බන්ධයෙන් වගවීමක් නැති බවයි. කෙසේ වෙතත් වංචා හෝ දූෂණ හෝ සම්බන්ධයෙන් පියවර නොගත් බවට කලක් ගත වන විට සම්මුතිවාදී ආණ්ඩුවට චෝදනාවක් එල්ල විණි. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට එල්ල වූ ජනතා ප්‍රතිචාරයෙන් ද එය පිළිබිඹු වූ බව පිළිගන්නට සිදු වේ.

ජනතා අපේක්ෂා බිඳවැටෙන්නට ප්‍රධාන හේතුවක් සේ සැලකෙන දූෂිතයන්ට දඬුවම් දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වන අදහස වන්නේ, ඒ අපරාධ හෝ වංචා හෝ සමබන්ධයෙන් නඩු පැවරීමට පවතින අධිකරණය ප්‍රමාණවත් නොවන බව ය. මෙය අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ හෝ නීති පද්ධතියේ අඩුපාඩුවක් හෝ නො ව, උසාවිවල ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය ඉහළ යෑම හා ඒවා විසඳීමට ගත වන කාලය දිගු වීම මහා පරිමාණ වංචා අපරාධ සම්බන්ධයෙන් වූ නඩු ප්‍රමාද වීමට ද බලපාන බවයි. දූෂිතයන්ට හෝ අපරාධකරුවන්ට එම ප්‍රමාදයට මුවා විය හැකි බවයි. මහාධිකරණයක් ස්ථාපිත කිරීමට පනතක් ගෙන එන්නේ එබැවිනි. එනම් නඩු ප්‍රමාදයට හේතු වූ බාධකය ඉවත් කරන්නට ද රජය පියවර ගෙන ඇත. එහෙත් දැන් තවත් ගැටලුවක් මතු වී ඇත. එනම්: එම අධිකරණය සඳහා වන පනතට විරුද්ධ කණ්ඩායමක් ද පෙරට පැමිණීමයි.

රට ඉදිරියට යන්නට නම් දේශපාලකයන්ට මෙන්ම ජන සමාජයට ද දැක්මක්, එමෙන් ම ක්‍රමවේදයක් තිබිය යුතු බව මෙයින් යළි යළිත් තහවුරු කරන දේශපාලනයයි.

Comments