ආවේග වෙනුවට බුද්ධිය තෝරා ගන්න | Page 2 | සිළුමිණ

ආවේග වෙනුවට බුද්ධිය තෝරා ගන්න

 තෙල්දෙණිය - දිගන ප්‍රදේශයෙන් ඇරඹුණු ගැටුමට මුල් වූයේ ජාතිය හෝ ආගම හෝ පදනම් කර ගත් සිද්ධියක් නොවේ. එහෙත් යම් කණ්ඩායමක් විසින් එයට ජාතිවාදී හෝ ආගම්වාදී හෝ නැඹුරුවක් ආරෝපණය කරනු ලැබිණි. අම්පාරෙන් අසන්නට ලැබුණු ‘වඳපෙති‘ සිද්ධිය ද යම් කණ්ඩායමක උසිගැන්වීමක් මිස සිංහල ජාතිය ඉලක්ක කළ අනතුරක් නො විණි. එහෙත් මේ මවාපෑම් සමස්ත ශ්‍රී ලාංකික සමාජයට සැකය, භීෂණය කාන්දු කරන්නට සමත් විණි. පුද්ගලවාදී ගැටුමක් දුරදිග යෑම කෙරෙහි, එවැනි දෙයක් රටට පැතිරීම කෙරෙහි, නීතිය හා සාමය රකින අංශ වෙත ද ඇඟිල්ල දිගු විණි. කොතනැක හෝ සිදු වූ වරදක් නිසා ආවේග ගින්නට ඇවිළෙන ඉඩ ලැබිණි. මෙය සංවිධානාත්මක ඇවිළීමක් බව ද පැහැදිලියි.

යළි ශ්‍රී ලාංකික සමාජය භීෂණයට ගොදුරු කරන්නටත් වෛරයෙන් ගිනියම් කරන්නටත් යම් දේශපාලන වුවමනාවක් කැසකවන බව මෙවැනි ගැටුම් නිර්මාණය කිරීම මගින් ගම්‍ය වෙයි. ජාතිවාදය හා ආගම්වාදය අවස්ථාවාදී දේශපාලනයේ ආයුධයක් වූවා මිස එය පොදුජන හදවතින් පැන නගින්නක් නොවන බවට ඉතිහාසය සාක්ෂි දරයි. එනම්: අනෙකා කෙරෙහි බෙදීම, වෛරය ඇති කරන්නේ දේශපාලන වුවමනාවන් වෙනුවෙනි. තවමත් රටට මතක ඇති පාඩම ‘83 ජූලි සිද්ධියයි. රටේ ජනතාව එදා බුද්ධියට ඉඩ නොදී ආවේගශීලී වීමෙන් ගෙවන්නට වූ වන්දිය අතිමහත්ය. ජාතීන් අතර යුද්ධයක් දක්වා දිග්ගැස්සී, ජාතිකව මෙන් ම අන්තර්ජාතිකව ද කොන් වී, ආපසු ලබා ගත නොහැකි තරමේ මානව හා සම්පත් විනාශයකට ගොදුරු කළ රට, ආර්ථිකව එයින් අත් කර ගත් පසුබෑම තව පරම්පරා කිහිපයකට ම දැනෙනු ඇත. කාලයක් ගෙවා හෝ ඒ පාඩුව දරා ගත හැකි වන්නේ තවත් එවැනි ගැටුමක්, ත්‍රස්තවාදයක්, භීෂණයක් යළි ඇති නොවුණ හොත් පමණි. බුද්ධිය වෙනුවට ආවේග තෝරා ගන්නා අය ඒ ගැන කල්පනා කරන්නේ නැත. හිතන පතන සමාජය ආවේගයට යට නොවී බුද්ධිය පෙරට ගෙන කල්පනාවෙන් කටයුතු කළ යුතු වන්නේ මෙවැනි අවස්ථාවල දී ය.

සිංහලේ රජු වෙනුවට බ්‍රිතාන්‍යයේ රජු පිළිගෙන, 1815 මෙවැනි මාර්තු මාසයක යටත්විජිත පාලනයට, ගිවිසුමකින් රට බාර දෙන්නේ, තමන් රජකමට සුදුසු යැයි සිතූ රදළයන් ආවේගශීලීව බල තණ්හාව පෙරට ගත් බැවිනි: එයින් ජාතික සමගිය බිඳීයෑම, ඩොයිලි වැනි කුමන්ත්‍රණකරුවන්ට හොඳ දඩබිමක් සපයා දුන් බැවිනි. එදා රදළ නායකයන් වෙතින් ප්‍රකට වූ අවස්ථාවාදය 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් රට නිදහස් වන විටත්, අදත්, නතර වී නැත. ‘83 සිද්ධිය කෙළවර වන්නේ ඉන්දු - ලංකා ගිවිසුමට රට බැඳ තබමිනි. එනම් දේශපාලකයන්ගේ අවස්ථාවාදී අරමුණු නිසා හා අවේගශීලීව අර්බුද නිර්මාණය කිරීම නිසා, රට හැම විට ම අභ්‍යන්තරව පමණක් නොව බාහිරවත් බලවේගවලට නතු විණි. මෙවැනි ගැටුම් දුරදිග යෑමෙන් ඉදිරියටත් සිදු වීමට ඉඩ ඇත්තේ එය ම යි. ජාතිවාදය හා ආගම්වාදය ඇවිළවීම රටේ වෙසෙන සියලු දෙනා උගුලකට හසු කරන, රටේ අනාගතය අඳුරු කරන බලවේගවලට ගොදුරු බිමක් සාදා දීමකි. ‘මානව හිමිකම් තර්ජනය‘ සඳහා මෙවැනි අවස්ථා දොරටු විවර කිරීමක් වන අතර, ඒ පසුපස විවිධ බලවේග පෙළගැසී නැතැයි කිව නොහැකිය.

බෞද්ධ ලෝකයේ ඇස නිබඳ යොමු වන, දළදා මාළිගාව පිහිටි මහනුවර යනු සංස්කෘතිකව ගත් කල රටේ හදවත බඳු ස්ථානයකි. එමෙන් ම ආර්ථිකව ද එවැනි ම තීරණාත්මක කලාපයකි. සංචාරක ඇස නිබඳ වැටෙන තැනක් බැවින් මෙවැනි ගැටුම් ලොවට පතළ වන්නේ හිත්වලින් කාලයකට මකා දැමිය නොහැකි කළු පැල්ලම් සහිතවයි. දෙපිරිසක් හෝ සුළු පිරිසක් හෝ ආවේගවාදීව, පෞද්ගලිකව, ඇති කර ගන්නා ගැටුම් ජාතිවාදී හා ආගම්වාදී තටුවලින් ඉගිළ යන්නට සැලස්වීම යනු රටේ සෑම ජාතියකට ම, ආගමකට ම අයත් සැම දෙනාට ම බූමරංගයක් වනු ඇත. ඉතිහාසයෙන් වත් ඒ පාඩම උගෙන දේශපාලකයන් හෝ සංවිධානාත්මක කණ්ඩායම් හෝ අවස්ථාවාදීව උසිගන්වන මෙවැනි ගැටුම් හමුවේ, රටේ සියලු රටවැසියන් එකාවන්ව, ආවේගය වෙනුවට බුද්ධිය තෝරා ගෙන, රට බේරා ගත යුතු ය. 

Comments