
පිදිය යුත්තන් පිදීම මංගල සූත්‍රයේ ද දැක්වෙන මංගල කරුණකි. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා පාසල් ශිෂ්‍යාවන් කණ්ඩායමක් අමතා පිදිය යුත්තන් පිළිබඳ හැඳින්වීමක් කළේ ය. ආධ්‍යාත්මික ව තමන් පෝෂණය කරන ආගමික ශාස්තෘවරුන් හා දෙමාපියන්, ගුරුවරුන් මිස විශේෂයෙන් ම දේශපාලකයන්ට නොවඳින්නැයි එහිදී ඇමැතිවරයා ඉල්ලීමක් කළේ ය. තමාට වැන්ද ශිෂ්‍යාවක ගැන සඳහන් කරමින් මංගල කරුණක් සිහිපත් කළ ඇමැතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ බලය ඉදිරියේ නොනැමෙන, කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන අනාගත පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව යි. කාලීන ව ද ගත් කල එය මෙරට සමාජයට අත්‍යවශ්‍ය දේශපාලන මඟ පෙන්වීමකි. රටක් ඉදිරියට යන්නට නම් එම රටේ ජන සමාජයට පැහැදිලි අරමුණක් තිබිය යුතු මෙන් ම එකී අරමුණ පැහැදිලි කර ගැනීමට පෞරුෂය වර්ධනය වීම ද වැදගත් සාධකයකි. දුටුදුටුවන් ඉදිරියේ වැඳ වැටෙන, විශේෂයෙන් ම පළාත්පාලන නියෝජිතයාට පවා වඳින විලාසිතාව පෞරුෂය වර්ධනයට මහත් බාධාවකි. පිදිය යුත්තා තෝරා ගැනීමේ දී දේශපාලකයා අද ආදර්ශවත් චරිතයක් වන්නේ කලාතුරකින් වීම සිහිපත් කර ගැනීම ද මෙහිදී වැදගත් වනු ඇත.
පිදිය යුත්තන් යනු ආදර්ශවත් චරිත ලෙස කෙටියෙන් සඳහන් කළ හැකි යි. දේශපාලකයා වෙතින් විද්‍යමාන විය යුතු ආදර්ශය වන්නේ රටේ ඉදිරි මඟ සලසන පෙරගමන්කරුවන් වීම යි. එහෙත් මේ ආදර්ශය දේශපාලකයාට ක්‍රමයෙන් අමතකව ගිය අතර, මේ වන විට සමාජයට ආදර්ශයක් නොදෙන දේශපාලකයා බහුතර කොටස වී තිබේ. මෙවැනි පසුබිමක පළාත් පාලන ආයතනයේ සිට පාර්ලිමේන්තුව දක්වා සිටින නියෝජිතයන්ට වැඳීම යනු වඳින අය විසින් තමන්ට ම මඟ වරද්දා ගනු ලැබීමකි. ආදර්ශයක් ගත නොහැකි අයට පුදන විට ජනසමාජයට තිබිය යුතු අරමුණ විසිරී, ඉදිරි මඟ අපහැදිලි වනු ඇත. නැති නම් රටේ ඉදිරි මඟ අවුල් කරන අයට ම කොඳු කඩාගෙන වඳින සමාජයක් බිහි වනු ඇත.
මේ වැරදීම නිවැරදි කිරීම කෙරෙහි පාසල විශේෂ අවධානයක් ගත යුතු ව ඇත. පන්ති කාමරයේ සිට මිදුල පුරා ද, පාසල් වේලාවෙන් පිටත අවස්ථාවලදී ද ගුරුවරුන්ට වැඳ වැටීමේ විලාසිතාව වෙනුවට, වඳින පුදන ගෞරවය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හදවතට ම දැනෙන ආදර්ශයක් ගුරුවරුන් වෙතින් ලබා දීම අද කාලීන අවශ්‍යතාවකි. පාසල් දරුවාට රට හා ජනසමාජය ගැන පැහැදිලි අරමුණක් ඇති වන ආකාරයට ගුරුහරුකම් දීම විෂය කරුණු උගන්වන තරමට ම, ඇතැම් විට ඊටත් වැඩියෙන් අද වැදගත් වෙයි.
පාසල් දරුවාගේ පෞරුෂය වර්ධනයට ගුරුවරුන් වෙතින් ආදර්ශවත් මඟ පෙන්වීමක් සිදු විය යුතු සේ ම දේශපාලකයා වෙතින් ද රටේ ඉදිරි ගමන වෙනුවෙන් සමාජයේ පෞරුෂ වර්ධනයට ඉඩ හසර පාදනු ලැබිය යුතු ය. දේශපාලකයා දේශපාලනඥයකු වන්නේ එවිට යි. නිදසුනක් මඟින් මේ බව වටහා ගන්නවා නම් මුදල් ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මහතා නියෝජනය කරන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ආර්ථික සභාව ඉකුත් සතියේ ගත් තීන්දුවක් ගෙනහැර දැක්විය හැකි යි. විදේශ ආයෝජනවලට සමාන්තරව ග්‍රාමීය මට්ටමේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමට රාජ්‍ය බැංකු දැනට වඩා පැහැදිලි අරමුණක් හා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳ දැක්මකින් යුතුව ක්‍රියාත්මක විය යුතු වීම එම තීරණය යි.
ග්‍රාමීය දිළිඳුකම පිළිබඳ ගැටලුව විසඳෙන බව ගමට දැනෙන ආර්ථික පසුබිමක් නිර්මාණය කිරීම, ජාතික ආර්ථිකයට ජන සමාජයේ ඉහළ සිට පහළට ම දායකත්වයක් ලබා ගැනීම එහිදී අරමුණු කරයි. සමාජය සවිබල ගැන්වීම යනු තම දෙපයින් නැඟිටීම බව, එය තමාගේම මැදිහත් වීමක් බව, පුද්ගලයන්ට දැනෙන්ට ඉඩ සැලසීම කොඳු කඩාගෙන වැඳ නොවැටෙන සමාජයක අඩිතාලමයි. තවත් ආකාරයකට කියනවා නම් පිදිය යුතු නැති අය ඉදිරියේ කොඳු කඩා නොගෙන තම දෙපයින් ආඩම්බරව නැඟිටීමට දේශපාලනව මඟ පෙන්වීමක් අවශ්‍ය බවයි. විදේශ ආයෝජන කොතරම් රටට ගලා ආවත් ඉහළ සිට පහළට ධනය කාන්දු වීම ග්‍රාමීය මට්ටමට දැනෙන ලෙස සිදු නොවීම නිසා ගමට මෙසේ සෘජුව ඇමතීම පොදුවේ ජන සමාජයේ පෞරුෂ වර්ධනයට මනා පිටු බලයක් වනු ඇත. දිළිඳුබව යනු තමා විසින් නිවැරදි කරගත යුතු ජීවිත දෘෂ්ටියක් මිස දේශපාලකයා ඉදිරියේ වැඳ වැටෙන්නට ඇති සුදුසු කමක් නොවන බව මෙවැනි දේශපාලන ක්‍රියාමාර්ග වෙතින් පසක් කෙරේ.
එහෙත් ඒ ගැන සමාජය සවිඥානක නොවන්නේ නම් කවර නිදහසක් ලැබුණත්, කුමන ශක්තියක් ලැබුණත්, වහලුන් ලෙස ම කල්පනා කරනු ඇත. මේ බව පෙන්විදීමට මූලිකත්වය ගත යුතු ආයතනය පාසල යි.