
පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීමෙන් හට ගත් දේශපාලන නොසන්සුන් බවට වඩා, වැඩි නොසන්සුන් බවක් මැතිවරණයට පසුව හට ගැනිණි. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මැතිවරණ ප්‍රතිඵලය විග්‍රහ කරමින්, පක්ෂ වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් බෙදී බලය ඇත්තේ තමන්ට යැයි පෙන්වීමට ගත් උත්සාහයයි. පක්ෂ දේශපාලනයට බෙදී ඇති දේශපාලන සමාජයක මෙය අමුතු දෙයක් නොවන නමුත් රටක් වශයෙන් ගත් කල එයින් ලැබෙන්නේ යහපත් ප්‍රතිඵලයක් නොවේ. ශ්‍රී ලාංකික ජන සමාජය සවිඥානකව හෝ අවිඥානකව හෝ කලක සිට ඉල්ලා සිටින සාමකාමී සන්සුන් බව දේශපාලනව ලබා දෙන මඟ යළි අපැහැදිලි කළ යුතු නැත. සම්මුතිවාදී දේශපාලන ගමන් මඟට යළි ගල් පෙරළා ගත යුතු නැත. පක්ෂ දේශපාලනය මඳකට හෝ පැත්තකට කළ සම්මුතිවාදී ආණ්ඩුව නිසා, මේ මැතිවරණය මඟින් එළි දුටු සාමකාමී සන්සුන් බව හෙවත් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ලද ඇත්ත ජයග්‍රහණය පමණක් වුව ද මේ ගැන සිතන්නට, අවබෝධයකට යන්නට සෑහේ.
කවර දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක හෝ ජය පරාජයට හේතු වුව ද, ෙම් පළාත් පාලන මැතිවරණය පොදුවේ රටට සමාජයට දිනුමක් ගෙන ආවේ ය. මහජන දේපොළ අවභාවිතය, ප්‍රචණ්ඩ ක්‍රියා වැනි ශිෂ්ට සමාජයක් විසින් නොපතනු ලබන, වෙනදා මැතිවරණවලදී බහුල වන, සාමකාමී සමාජයකට අකුල් හෙළන අපකීර්තිමත් සිදුවීම් කිසිවක් මේ මැතිවරණයේ දී වාර්තා නොවිණි. කාලයක් තිස්සේ මුල් බැස ගත්, අනෙකා නොඉවසන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංස්කෘතියක් සහිත සමාජයක මේ ප්‍රවණතාව තීරණාත්මක ඉදිරිගාමී පියවරකි. ඇත්ත ජයග්‍රහණය සේ සැලකිය හැකි මෙකී ප්‍රවණතාව ඇති වන්නේ, අනෙකා අබිබවන්නට පෙලඹෙන පෘතග්ජන තරගයට අනුබල දෙන මනාප ක්‍රමය නැතිවීම නිසාම නොවේ. මේ මඟ එළිපෙහෙළි කරන්නට සම්මුතිවාදී දේශපාලනය ද තීරණාත්මක සාධකයක් විණි. එනම් යහපත් බව ජය ගැනීම සඳහා සම්මුතිවාදය විසින් සපයනු ලබන යටිතල පහසුකම් ප්‍රයෝජනවත් විණි.
දේශපාලන පක්ෂ තම ජය පැරදුම ගැන කරන විග්‍රහ හා ඇති කරන නොසන්සුන්තා නිසා එකී ඇත්ත ජයග්‍රහණය යට යමින් තිබේ. නොසන්සුන් බවින් ඈත්ව, සිහි බුද්ධියෙන් යුතුව, මෙම මැතිවරණයෙන් තමන්ට ලැබුණු ඒ ඇත්ත ජයග්‍රහණය කුමක්දැයි වටහා ගත යුතුව ඇත. පොදු දේපොළ අවභාවිතයක් නොවූ, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවූ, කලකට පසුව ශබ්ද දූෂණය, පොලිතින් භාවිතය වැනි පාරිසරික පීඩාවන් ඇති නොකළ ෙම් පළාත් පාලන මැතිවරණය මගින් රටට, සමාජයට අත්කර දුන් ජයග්‍රහණය කේවල ජයග්‍රහණයක් නොවන බව ද අවධාරණය කළ යුතුව ඇත. එය මෙරට සමාජය නිබඳ පතන සන්සුන් බවට, හිතේ සංහිඳියාවට විවිධ මං පාදන්නකි. පක්ෂ දේශපාලනය විසින් බෙදා වෙන් කරනු ලබන දේශපාලන සමාජයක තම තමන් පතන මෙම සාමය හෝ හිතේ සාමය හෝ සංහිඳියාව හෝ නොලැබෙන බව සිතන්නට ෙම් මැතිවරණය සන්ධිස්ථානයකි.
1818 දී දිනා ගන්නට තැත් කළ ජාතික නිදහස අහිමිව වසර දෙසීයකට පසුව අද, සන්සුන් මනසින් සිතා බලන කල පෙනී යන්නේ ඒ අරගලයට පාදක වූ ජාතික නිදහස තවමත් ලැබී නැති බවයි. අභ්‍යන්තර හා බාහිර දේශපාලන සාධක ඒ වෙනුවෙන් කොතරම් ඉදිරිපත් කළ හැකි නමුත් පක්ෂ දේශපාලනය පෙරට ගත්, තට්ටුමාරු පාලනය ජාතික නිදහස අහිමි කිරීම වෙනුවෙන් දුන් දායකත්වය සුළු පටු නොවේ. එක් පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ විවේක ගන්නා විට අනෙක් කණ්ඩායම හෝ පක්ෂය හෝ තම අභිමතය රටේ පාලනය ලෙස ක්‍රියාවට නැංවීය. පාලක පක්ෂයට හති වැටෙන විට විරුද්ධ පක්ෂයට බලය දී තමන් විවේක ගත්තේය. එහෙත් පොදු වේ ගත් කල මුළු මහත් ශ්‍රී ලාංකික සමාජයට අස්වැසිල්ලක්, සන්සුන් බවක්, විවේකයක් එසේ නැතිනම් හිතට නිදහසක් තවම ලැබී නැත. රටේ වැඩි පිරිසකට තම නිදහස ගැන මේ වන විට අවබෝධයේ නැතත් මෙවර පළාත් පාළන මැතිවරණය අවිඥානකව හෝ පතන නිදහසේ ස්වභාවය මතු කර දුන්නේය. එහි වටිනාකම ගැන හිතන්නට අවස්ථාවක් ලබා දුන්නේය. එකිනෙකා අබිබවන, එකිනෙකා නොඉවසන තරගය හික්මවා ගැනීම මගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගන්නට හැකි බවට මෙම මැතිවරණය සංඥාවක් හෝ ලබා දී ඇත.
සම්මුතිවාදී දේශපාලනය ඊට දායක වූ බව අමතක නොකළ යුතු සේම මේ විජයග්‍රහණය ආපසු හැරවීමට ද ඉඩ දිය යුතු නැත.