
2018 වසර හෙට උදා වෙයි. බලාපොරොත්තු අලුත් වී ඊළඟ පියවරට පිවිසෙන මේ කඩයිම අලුත් විදියට හිතන්නටත් අවස්ථාවකි. තම ජීවිතය ගැනත්, අසල්වැසි සමාජය ගැනත්, පොදුවේ රට ගැනත් අලුතින් හිතා වැඩ කිරීම, මඟහැරුණු වටිනාකම් මතු කර ගැනීමට ද මාර්ගයකි. තමන් ඇතුළතින් වෙනස් වීම හා පිටත වෙනස් කිරීම යන අවස්ථා දෙක ගැන ම මෙහි දී අවධානයට ගත යුතු වෙයි.
තමා ඇතුළතින් වෙනස් වීම ලෙස පළමු ව වෙනදාට වඩා සන්සුන් සිතින් කටයුතු කිරීම ඇරඹිය හැකි යි. අනෙකා සමඟ සැසඳෙන්නේ නැති ව, තමා සතු වටිනාකම මත ඉදිරියට යෑමට ඒ සන්සුන් සිත යොදා ගත හැකි යි. එය තමාගේ මෙන් ම සමාජයේ ද යහපතට අත්‍යවශ්‍ය වී තිබේ. මඟහැරුණු වටිනාකම් මතු කර ගන්නා මඟ ද එය ම වේ.
පිටත වෙනස් කිරීමට අවස්ථාවක් ලෙස අලුත් අවුරුද්දේ මුලට ම මැතිවරණයක් ලැබී තිබේ. රටේ යහපත් වෙනසකට අවස්ථාවාදි ව බෙදීමේ දේශපාලනය ද වෙනස් විය යුතු බව අලුත් සිතිවිලිවලට එක් කර ගත යුතු යි. එදිරිවාදි හෝ වෛරි හෝ දේශපාලනයට තිත තැබීම දැනටමත් පරක්කු වී ඇති බැවිනි. පෙබරවාරි 10 වැනිදා පැවත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය මඟහැරුණු වටිනාකම් මතු කර ගත හැකි අවස්ථාවකි. තම හිතේ සාමය, අසල්වැසියා සමඟ සාමය, මුළු මහත් සමාජය සමඟ සාමය මඟහැරුණු වටිනාකමක් වන අතර, එය මඟහැරෙන්නට ප්‍රධාන හේතුවක් වන්නේ එකිනෙකා අතර භේද හදන අවස්ථාවාදි දේශපාලනය යි; විශේෂයෙන් ම එදිරිවාදි හෝ වෛරි හෝ දේශපාලනය යි. ගමට සමීප ම පළාත්පාලන ආයතනයට පත් වන නියෝජිතයා පවා ගමට වග නොකියන, රටේ අනාගතය ගැන හිතන්නට නොහැකි, ගම හැදීම වෙනුවට තමා හැදෙන්නේ කෙසේ ද යන්න දේශපාලනය කර ගත් අය බවට පත් වීම පවතින මේ දේශපාලනයේ පැතිකඩකි. හිතන පතන සමාජය මේ ගැන නොදන්නවා නො වේ. එහෙත් ඒ ගැන අලස ව නිහඬ ව නොසිට, පවතින දේශපාලන පසුබිම වෙනස් කරන්නට අලුත් අවුරුද්දේ අලුත් පිවිසුම යොදා ගත යුතු ය. නව වසරේ සිට තමන් හිතන ආකාරය වෙනස් කළ බව දක්වන මිම්ම මේ පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵලය බවට පත් කර ගත හැකි යි.
තමන්ට අවස්ථාව නැති වුව ද අසල්වැසි අනෙකාට තැන අහිමි කිරීම වෙනුවෙන් ගමේ නියෝජිතයා පත් කළ චේතනාව වෙනස් කිරීම තවදුරටත් ප්‍රමාද කළ යුතු නැත. පක්ෂ දේශපාලනයට බෙදුණේ අර්ථවත් විචාරයකට අනුව නො ව, අනෙකා පිටුදැකීමට බව, අනෙකාට එදිරි ව බව, දශක ගණනාවක් ඒ මඟ ගෙන තමන්ටත් අනෙකාටත් රටටත් අත් වූ සෙතක් නැති බව, මේ මොහොතේ ද අත්විඳිමින් ඇති ඇත්ත යි. යහපත් අවස්ථා ඇති තරම් මඟහැරී ගියේ, තමන්ට වේදනාවක් පමණක් ඉතිරි වූයේ, අනෙකාගේ තැන නැති කරන්නට ඡන්දය දුන් චේතනාව බව නව වසරත්, පළාත්පාලන මැතිවරණයත් නිමිති කර ගෙන වටහා ගැනීම වටී.
නව වසරට අලුත් වීම යනු තමන් නොදන්නා සංස්කෘතික පුරුද්දක්, තමන්ට හුරු සංස්කෘතියට නොගැළපෙන දෙයක් අවිචාරයෙන් පිළිගැනීම නො වේ. එමෙන් ම අතීතයේ ම එල්බ සිටීමත් අලුතින් ම කල්පනා කිරීම නො වේ. අලුත් දේ පිළිගැනීමත් පැරණි දේ අත්හැරීමත් අතර දැනෙන හැඟෙන වටිනා දේ සමඟ ඉදිරියට යෑම අලුත් පිවිසුම බවට පත් කර ගත යුතු ය. තමන් දන්නා නියෝජිතයා පත් කර ගැනීමේ දී මෙය අත්හදා බැලිය හැකි ය. ඒ තීරණය හැකි තරම් නිවැරදි කර ගන්නට නම් මෙතෙක් පක්ෂ දේශපාලනය සමඟ එල්බ සිටි එදිරිවාදි පිළිවෙත අත් හළ යුතු ය. ඒ පියවර ම අලුත් වීමකි.
එදිරිවාදි දේශපාලනයට හෝ තමන්ටත් සමාජයටත් අවැඩදායක කවර දෙයකට හෝ මුල පුරන්නේ තමා අනෙකා සමඟ සැසඳෙන්නට යෑම යි; තමා සතු වටිනාකම අමතක කොට අනෙකාට ඇතැයි සිතන වටිනාකම් සමඟ ගැළපෙන්නට යෑම යි. හිත නොසන්සුන් කරන තරගය ඇරඹෙන්නේ ද සැසඳීම මතිනි. සන්සුන් සිතින් තමන්ට සමීප මහජන නියෝජිතයන් පත් කර ගැනීම නව වසර සඳහා අලුත් වීමට පිවිසුමකි.