තාරකාව පෑයූ නිහඬ රාත්‍රිය මෙන් අධ්‍යාත්මය සන්සුන් කර ගැනීම | Page 2 | සිළුමිණ

තාරකාව පෑයූ නිහඬ රාත්‍රිය මෙන් අධ්‍යාත්මය සන්සුන් කර ගැනීම

 අද මධ්‍යම රාත්‍රිය සාමයේ සීනු නාද වන වේලාව යි. නත්තල උදා වූ බව ඒ හඬ ලොවට දන්වනු ඇත. අධ්‍යාත්මය සන්සුන් කර ගන්නට අවශ්‍ය බව දනවන පණිවිඩය එයින් කියවෙයි. මේ සන්සුන් බව විසින් ගොඩනඟන අාධ්‍යාත්මික සංවර්ධනය වේදනාවට, දුකට, සන්තාපයට හේතු වන ගැටලුවලට විසඳුම් සොයා ගත හැකි, තමා සන්තකයේ ඇති මාර්ගය යි.

විවිධ වූ ලෝකය, එහි වෙසෙන ජන සමාජ ඒකීයත්වයකට ගන්නා අවස්ථාවක් ලෙස නත්තල උදාව ගත හැකි යි. මේ ඒකීයත්වය හා එයින් ඇති කරන නිහඬ බව තම අධ්‍යාත්මය සන්සුන් කර ගන්නට හැකි නිමිත්තකි. අධ්‍යාත්මය සන්සුන් කර ගන්නා විට තම හිතේ සාමය ඇති වීම නිසා අසල්වැසියා ද සෙසු සමාජය ද ලොව විවිධ ජන සමාජ ද සාමය දෙසට හැරෙයි. තම අධ්‍යාත්මයේ සන්සුන් බව ලෝකය ම නිවා සනහා-ලයි.

නත්තල යන්නෙහි අරුත ‘උපත’ වේ. එය පුළුල් ලෙස ගත් කල සාමයේ උපත වේ; එසේ නැති නම් ප්‍රේමයේ උපත වේ. උපත ලද සැම අයකුට ම සොබාදහමේ වටිනාකමක් ඇති සේ නත්තලට ඇති වටිනාකම සාමය යි; එසේ නැති නම් ප්‍රේමය යි. උපන් සැම අයකු ම සමාජය හා අනුගත ව තම වටිනාකම මතු කර ගන්නා සේ සාමයේ, ප්‍රේමයේ වටිනාකම නත්තල නිමිති කර ගෙන මතු කර ගත යුතු වේ. නත්තල උදා වන්නේ ඒ අවශ්‍යතාව ගැන නැවත නැවත සිහිපත් කරන්නට යි. ඒ සිහිපත් කිරීම අධ්‍යාත්මය සන්සුන් කර ගනු පිණිස ය. හිත ඇතුළේ සාමය, ප්‍රේමය පිණිස ය.

ඇති-හැකි අය නැති-බැරි අය වෙනුවෙන් කැප වීම, ඒ ගැන විශේෂ අවධානය යොමු කිරීම නත්තලේ අංගයකි. ඒ තම හිතේ පහළ වන සාමය, ප්‍රේමය අනෙකා වෙත පිරිනමන අවස්ථාවකි. ඇති-හැකි වීම පිණිස තමන් අනෙකාගේ දෙයක් පැහැර ගත්තා ද කියා හිතන්නටත්; නැති-බැරි වීමට පාදක වූ හේතු මොනවා දැ යි සොයා මඟ නිවැරදි කර ගැනීමටත් නත්තල හොඳ අවස්ථාවකි. ඒ සඳහා පළමු ව අවශ්‍ය වන්නේ අාධ්‍යාත්මික සන්සුන් බව ඇති කර ගැනීම යි. ඊට දුප්පත් පොහොසත් භේදයක් නැත. සාමයේ පණිවිඩය රැගෙන තාරකාව පායා ආ ඒ නිහඬ රාත්‍රිය මෙන් තම අධ්‍යාත්මය සන්සුන් කර ගැනීම තරම් පොහොසත් බවක් මිහිපිට නැති බව කා හට වුව ද වටහා ගන්නට නත්තල කමටහනකි.

ලෝ වැසියන්ගේ පාපය සංකේතවත් කරමින් ජේසු තුමා කුරුසිය කර තබා ගැනීම වෙනුවෙන් කල්වාරි කන්දෙන් ආ පිට ගලා ආවේ ප්‍රේමය බව කිතුනු සාහිත්‍යයේ සඳහන් වේ. සොබා දහමේ සිට මිනිස් හදවත් වෙත ප්‍රේමය ගලා-එන බව ඒ පණිවිඩයෙන් කියවෙයි. ඒ ප්‍රේමය විඳ ගැනීම පිණිස උපත ලද අප ද අපගේ පැත්තෙන් යමක් කළ යුතු යි. ඒ අන් කිසිවක් නො ව, අධ්‍යාත්මය සන්සුන් කර ගැනීම යි. හැම දේට ම නිතර කලබල වන හිත හැකි තරම් ගැටුමෙන් ඈත් කර ගන්නා තරමට අධ්‍යාත්මය සන්සුන් වන බව නත්තල යළි-යළිත් සිහිපත් කරයි. ඒ මිස නත්තල යනු හිතට ගැටුම කැඳවන පරිභෝජනය පිණිස තරග කිරීම නොවන බව කල්පනාවට ගත යුතු යි.

මෙවර නත්තල උදා වන විට පොදුවේ ගත් කල මේ විවිධ ලෝකයේ සැම ජනසමාජයක් ම පසු වන්නේ ආධ්‍යාත්මික සන්සුන් බව අහිමි වීමේ වේදනාවෙනි. හැකි තරම් සම්පත් අත්පත් කර ගැනීමේ පරිභෝජනවාදය හෙවත් අනෙකා පරයන තරගය නිසා ඒ වේදනාව අත් විණි. දැන් රෝගය කුමක් දැ යි පැහැදිලි යි. ඒ අන් කිසිවක් නො ව, තම හිතේ සන්සුන් බව නැති නම් ආධ්‍යාත්මික සන්සුන් බව අහිමි වීම යි. බෙහෙත ඇත්තේ ද තම හිතේ ම යි. නත්තල සිහිපත් කර දෙන්නේ ඒ බව යි. හැකි තරම් අධ්‍යාත්මය සන්සුන් කර ගන්නා විට හිතට ප්‍රේමය ගලා එන බව ඒ ප්‍රේමය අනෙකාට, සෙසු සමාජයට, ලෝකයට පැතිර යන බව නත්තල උදා වී දෙන පණිවිඩය යි.

Comments