මාධ්‍ය භාවිතයේ යහපත් ප්‍රවණතාවක් | Page 2 | සිළුමිණ

මාධ්‍ය භාවිතයේ යහපත් ප්‍රවණතාවක්

 ගැටුම් හෝ ගිනි ඇවිළීම් හෝ එවැනි විනාශකාරි අවස්ථා හට ගැනීම ස්වාභාවික යි. හිතන පතන මිනිසුන්ගෙන් සමන්විත ජනසමාජයක වුව ද එවැනි දේ නිතර හට ගනී. එම ගැටුම් විනාශයකින් තොරව වළක්වා ගැනීම, ඇවිළෙන ගිනි හානියකින් තොරව නිවා ගැනීම ශිෂ්ට සම්පන්න සමාජයක ලක්ෂණයකි. එහි දී ගැටුම් අවුළන, ගින්නට පිදුරු දමන බලවේග ගැන අවබෝධයෙන් කටයුතු කිරීමට හැකියාවක් තිබීම අත්‍යවශ්‍ය වේ. ඒ ශක්තිය, අවධානය බිඳ දමන බලවේග ද නිරතුරුව ක්‍රියාත්මක වේ. ඒ ඇවිළවීම කරන්නට මාධ්‍ය භාවිතයට ද හැකි ය. එහෙත් ගාල්ල ගිංතොට සිදුවීම විනාශයකින් තොරව වළක්වා ගැනීමට මාධ්‍ය භාවිතය පියවර ගත් අතර, එය කලකට මෙරට මාධ්‍ය භාවිතාවේ දක්නට හැකි වූ යහපත් ප්‍රවණතාවකි.

මාධ්‍ය භාවිතාවක ගති සොබාව හුදෙකලාව මතු වන්නක් නොවේ. විශේෂයෙන් ම පවතින දේශපාලන වාතාවරණය, රාජ්‍ය පාලනයේ දැක්ම ඒ කෙරෙහි බලපායි. හොඳ ම නිදසුන අලුත්ගම දර්ගා නගරයේ සිදුවීම විනාශකාරි ලෙස ඇවිළීමට මාධ්‍ය භාවිතය වෙතින් පිදුරු දැමීම යි. එහෙත් රාජ්‍ය පාලනයේ දැක්ම යහපාලනය වී ඇති මෙකල මාධ්‍ය භාවිතය එවැනි නැඹුරුවක් දක්වා නැත. විශේෂයෙන් ම මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය එහි දී වගකීමෙන් කටයුතු කළේ ය. වෙබ් අඩවි හා මුහුණු පොත වැනි සමාජ මාධ්‍ය විවිධ ඇවිළවීම් කරන්නට උත්සාහ කළත් එයින් විනාශයකට මඟ පාදන්නට නොහැකි වූයේ සමාජ මාධ්‍යවලට මෙරට සමාජය තුළ කළ හැකි බලපෑම අවම බව ද තහවුරු කරමිනි.

සියලු වටිනාකම් මුදල හා ලාබය මත මනින්නට පුරුදු වූ සමාජයක මාධ්‍ය භාවිතයට පමණක් තනිව එමඟින් වෙනස් වන්නට අසීරු ය. එහෙත් වෙනත් ව්‍යාපාරයකට වඩා සමාජීය වශයෙන් විශාල වගකීමක් මාධ්‍ය භාවිතයට ඇත. එය කිසි සේත් ම මුදලින්, ලාබයෙන් මනින්නට නොහැකි ය. එයින් මාධ්‍යට සැඟවෙන්නට ද නොහැකි අතර, එනිසා ම මාධ්‍ය භාවිතය සාමාන්‍ය ව්‍යාපාරයක මෙන් මුදල හා ලාබය පෙරට නොගත යුතු ය. එසේ නොවන්නේ නම් විනාශකාරි සිදුවීම් ඇවිළීමට වැඩියෙන් ම පිදුරු දමන්නා වන්නේ මාධ්‍ය භාවිතය යි. සමාජයේ සිදු වන අපචාර, අපරාධ ආදිය වාර්තා කිරීමේ දී ද මේ විනාශය ම සිදු වෙයි. තම ග්‍රාහකයා සතුටු කරනු පිණිස අනෙක් මාධ්‍යයට වඩා යමක් ඉදිරිපත් කිරීමේ දී අපචාර, අපරාධ ඉහළ යෑමට නැති නම් සමාජයේ විනාශය ඇවිළවීමට තම මාධ්‍ය භාවිතය හේතු විය හැකි බැවිනි. ගිංතොට සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය භාවිතය එමඟින් වෙනස් විණි.

ප්‍රජාව අතරට විනාශය කැඳවන, සිදුවීම් අතිශයෝක්තියට නඟා සහජීවනය බිඳ දමන, දේශපාලන වුවමනාවන් වුව ද මැඬලන්නට, පාලනය කරන්නට මාධ්‍යට හැකි බව ගිංතොට සිදුවීම මඟින් සිහි කැඳවා ගැනීම වටී. විශේෂයෙන් ම සමාජයේ එකිනෙකා අතර භේද අවුළවන්නට, සංහිඳියාව බිඳ දමන්නට අවස්ථාවාදිව කටයුතු කරන දේශපාලකයන් සම්බන්ධයෙන් ද මෙවැනි මඟක් ගත හැකි යි.

රටක් ලෙස නැඟිටින්නට මඟපෙන්වන දේශපාලනයට මිස එකිනෙකා බිඳවන්නට, සතුරු කරන්නට, රට අවුළවන්නට කටයුතු කරන දේශපාලකයන්ගේ කතා ප්‍රචාරය කරන ‘වොයිස් කට්’ මාධ්‍ය භාවිතයට ඉඩ දීම කොහෙත් ම නො වටී. මිනිසුන්ගේ හිත් අවුළවන දේශපාලකයන්ගේ කතා තරගයට ප්‍රචාරය කිරීම, අපචාර, අපරාධ ප්‍රචාරය කරනවාටත් වඩා බරපත‍ළ විනාශයකට මඟ පාදයි. ගිංතොට සිදුවීම ගැන මාධ්‍ය කල්පනා කළ පිළිවෙළ ‘වොයිස් කට්’ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ද කල්පනා කරනවා නම් නොපෙනී හිත් ඇතුළේ ඇවිළ යන භේදකාරි ගින්න නිවන්නට හැකි වෙයි. එවිට මිනිසුන්ගේ හිත් හදා, අඩු තරමින් එකිනෙකාට එරෙහිව හිත් ඇවිළෙන්නට ඉඩ නොතබා යහපත් සමාජයකට දායක වීමට මාධ්‍යට හැකි වෙයි.

යහපාලනයට, සංහිඳියාවට මාධ්‍යවලට දායක විය හැකි හොඳ ම මඟ එය යි. 

Comments