යහපාලනය ඵල දරයි | Page 2 | සිළුමිණ

යහපාලනය ඵල දරයි

 රාජ්‍ය නිලධාරීන්ගේ සිට දේශපාලකයන් දක්වා, අද හොරකම් කරන්නට බියක් ඇති වී ඇතැ යි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ඇගයීම් වැඩසටහන අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය. එහි දී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ පැවති අවංකව රාජකාරි කළ විශිෂ්ට රාජ්‍ය සේවයේ පිටකොන්ද දේශපාලකයන් විසින් කඩා දමන ලද බව යි. වංචාවට හා දූෂණයට කණ්ඩායම් දෙක ම බිය නොවීම වැඩී යන්නේ ඉන් අනතුරුව යි. වරදට බිය නොවීම සාමාන්‍ය දෙයක් බවට පත් වූ ඒ ප්‍රවණතාව ගැන සලකන විට අද ඒ ගැන බියට පත් වීම සැලකිය යුතු වෙනසකි. යහපාලනයේ ප්‍රතිඵල අතර මෙය මෙරට සමාජයේ ඇති වූ තීරණාත්මක වෙනසක් ලෙස ද ගත හැකි යි. මේ කියන බිය ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ හොරකම නිරුපද්‍රිතව කර ගෙන ගිය පෙර-වැරදිකරුවන් සම්බන්ධයෙන්, විශේෂයෙන් ම දේශපාලකයන් සම්බන්ධයෙන් අද නීතිය ක්‍රියාත්මක වන බව පෙනී යෑම යි. එමෙන් ම එදා මෙන් නො ව, අද ඉහළ සිට පහළට කාන්දු වන ආදර්ශය හොරකම පිටුදැකීම වීම යි. සෙමෙන් වුව ද යහපාලනයේ ප්‍රතිඵල මතු වෙමින් තිබේ.

රාජ්‍ය නිලධාරියා සහ දේශපාලකයා රටේ ඉදිරි ගමන වෙනුවෙන් අවංක වනවා වෙනුවට දෙදෙනා ම එකට හොරකමට, වංචාවට එකඟ වූ ප්‍රවණතාවක් රටේ වැඩී ගිය ආකාරය රහසක් නොවූවකි. දෙදෙනාට දෙදෙනා එකිනෙකාගේ අවංක බව මත එකිනෙකාගේ වැරදි නැඹුරුව පාලනය වීම බිඳී ගියේ රටට දරුණු නාය-යෑමක් ලෙසිනි. යහපත් රටක් සඳහා එය යළි ගොඩ නැඟීම අත්‍යවශ්‍ය ම කාරණයක් වන'මුත් අමාරුම කාර්යයක් ද වෙයි. එහෙත් යහපාලනය තුළ මතු වී ඇති මේ වෙනස ඒ කෙරෙහි සුබවාදි බලාපොරොත්තු දල්වයි. දේශපාලකයා හෝ මහජන නියෝජිතයා හෝ රටේ ඉදිරි දියුණුව වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනා - සැලසුම් නාස්තියක්, වංචාවක්, දූෂණයක් නැතිව විනිවිද භාවයෙන් යුතුව, නීතියට එකඟව ක්‍රියාවට නැංවීම රාජ්‍ය නිලධාරියා සතු වගකීම වීම සලකන විට ඇති වී ඇති වෙනස යහපත් අනාගතයක පෙරනිමිත්තකි. මෙරට සමාජයේ බැලූ-බැලූ අත ඇත්තේ වැරදි අතට නැඹුරුව වුව ද ඒ නොමඟ වෙනස් කරන්නට කොතනකින් හෝ ආරම්භ කළ යුතු ය. ඒ වෙනස සඳහා රැකවරණ සොයා ගත හැක්කේ යහපාලනය තුළිනි.

රාජ්‍ය නිලධාරියා මෙන්ම දේශපාලකයා යන දෙදෙනාගෙන් ම මහ පරිමාණයේ වංචා දූෂණ සිදු වීම පොදු සමාජයේ සාමාන්‍ය කතා-බහක් දක්වා පැතිර ගියේ එකී වංචාවල හෝ දූෂණවල හෝ ඇති දරුණුකම නිසා පමණක් ම නොවන බව මෙහි දී අවධානයට ගත යුතු යි. අනෙකාගේ වැරදි පෙන්වා තමාගේ වැරදි වසා ගැනීම හෝ තමා කරන වරද සාධාරණීකරණය පිණිස අනෙකාගේ වැරදි ගැන කීම හෝ මෙරට සමාජයේ සංස්කෘතික පුරුද්දක් වීම ද ඒ කෙරෙහි බලපායි. බොහෝ විට අනෙකාගේ වරද උලුප්පන්නේ තමා ද එවැන්නකට කැමැති නිසා මිස, සමාජය යහපත් කරන අරමුණින් නො වේ. අනෙක් අතින් දැන-හැඳුනුම්කමක් නැතිව රාජකාරියක් ඉටු කර ගන්නට නොහැකි ය, නීතියෙන් පිහිටක් නැති ය, යන ඉච්ඡාභංගත්වය සමාජයේ හට ගන්නේ ද එකී සංස්කෘතික පුරුද්දේ ම ප්‍රතිඵලයක් ලෙසිනි; නොමඟ නිවැරදි නොකර යන අතට යන බැවිනි. අනෙකාගේ වංචාව දූෂණය පිටුදකිනවා මිස, අවස්ථාවාදීව රහසින් හෝ එය අනුමත කිරීමෙන් අවසානයේ අසරණ වන්නේ හෝ වංචාවට, දූෂණයට ගොදුරු වන්නේ හෝ තමන් ම බව සිහි තබා ගැනීම වැදගත් ය.

ලොව පළමු අධිරාජ්‍යය සේ සැලකෙන, පසුව ග්‍රීසිය විසින් යටත් කරන ලද පර්සියානු අධිරාජ්‍යයේ වැසියන් එකල ලොකු ම වරද ලෙස සලකා ඇත්තේ බොරු කීම යි. රට ඉදිරියට ගෙන-යන නියමුවන් ලෙස කටයුතු කරන දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අද කතා කෙරෙන වංචා හා දූෂණ හා සසඳන විට එදා පර්සියානුවන් ලොකු ම වරදක් ලෙස සලකා ඇත්තේ මොන තරම් අල්ප දෙයක් දැ යි මොහොතකට සිතෙනු ඇත. එහෙත් ඉහළ ම වරදක හෝ දරුණු ම වංචාවක හෝ විශාල ම දූෂණයක හෝ මුල බොරු කීම බව ගැඹුරට කල්පනා කළ හොත් පසක් වනු ඇත. දේශපාලකයන් මෙන් ම රාජ්‍ය නිලධාරීන් හමුවට යන අයගෙන් බහුතරය තම වුවමනාව ගැන කීම අරඹන්නේ ම බොරුවෙන් නො වේ දැ යි තම හෘදයසාක්ෂියෙන් විමසා දැන ගත හැකි ය. එබැවින් හොරකමට බිය වී සිටින දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් ඒ මඟ ම යැවීමට තම-තමනුත් වෙනස් විය යුතු බව රටවැසියා ද අදිටන් කර ගත යුතුව ඇත. ඒ අන් කිසිවක් නිසා නො ව, තමන්ගේ ම යහපත, දියුණුව වෙනුවෙනි. 

Comments