
බණ කීමත් වැරැද්දක් සේ සලකා භික්ෂූන් වහන්සේ ද හිරේ දමාවි යන මතයක් 'සුදු රෙදි නඩුව' මුල් කර ගෙන දැන් රටේ පතුරුවමින් තිබේ. ඒ, බුද්ධාගමට සැලකීම නිසා පිරිසුදු රාජ්‍ය නිලධාරීන් හිරේ යැවූ බවට නඟන ප්‍රලාපයට අමතරව යි. මේ උසිගැන්වීම කෙරෙන්නේ ප්‍රලාප දේශපාලනයෙනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා 'ඒකාබද්ධය විපක්ෂය' නමින් හඳුන්වා ගන්නා කණ්ඩායම මේ ප්‍රලාප දේශපාලනයේ නායකත්වය ගෙන තිබේ. බුදු දහමට අනුව සිල් රෙදි බෙදීම වරදක් නොවන බව එකී දේශපාලන ප්‍රලාපයෙන් කියැවේ. මහ ජන මුදල් කෝටි 60ක් වියදම් කර ඡන්දයක් බලාපොරොත්තුවෙන් බෙදා දුන්නේ සිල් රෙදි නොවන අතර, සුදු රෙදි වුව එසේ බෙදා දීම නීතිවිරෝධි වේ. ඒ 'සුදු රෙදි' 'සිල් රෙදි' යැයි කීම ප්‍රලාපයක් වන අතර, බුදු දහමට අනුව බැලුවත් ප්‍රලාප කීම, පතුරුවා හැරීම තමන්ට හෝ සමාජයට හෝ වැඩදායක නොවන්නකි. මෙවැනි දේශපාලන ප්‍රලාප රට ම ආපස්සට අදින්නට හේතු වන බැවින් වරද හා හානිය තවත් බරපතළ ය. රාජ්‍යකරණය හෙවත් රට කරවීම බෙල හීන කරන්නට ප්‍රලාප දේශපාලනය තීරණාත්මකව හේතු වන බැවින් මෙය දැඩි අවධානයට ගත යුතු යි. රටේ ඉදිරි ගමන වෙනුවෙන් ප්‍රලාප දේශපාලනයට ඉඩ ඇහිරීම අත්‍යවශ්‍ය බව වටහා ගත යුතු යි.
විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ආයතන රාජ්‍යකරණයට පදනම් වේ. රටේ නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස ද එය ගත හැකි යි. රාජ්‍ය නිලධාරි තන්ත්‍රය මේ මූලික නීතියට යටත් වෙයි. සමාජීය හැඩගැස්ම වෙනුවෙන් රාජ්‍ය තන්ත්‍රය ආදර්ශවත් මෙන් ම එහි ගනුදෙනු නීත්‍යනුකූල ද විය යුතු යි. මහජනතාව වෙනුවෙන් යහපත් රාජ්‍යකරණයකට රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවිය යුතු දේශපාලකයන් විසින් ම එය අවභාවිත කරනු ලබයි නම්, රාජ්‍ය නිලධාරීන් වරදට පොලඹනු ලබයි නම්, එය අනිවාර්යයෙන් ම දඬුවම් ලැබිය යුතු වරදකි. තම රාජකාරිය කොතරම් පිරිසුදු වුව ද, දේශපාලකයන්ගේ වැරදි නියෝග පිළිපැදීම රාජකාරිමය වශයෙන් සිදු කෙරෙන වරදකි. මහජන මුදල් තමන් සොරකම් නොකළ ද එය අවභාවිතයට දේශපාලකයාට මඟ පෑදීම ද නීතියට අනුව දඬුවම් ලැබෙන වරදකි. වැරදි අණ පිළිපැදීම තව ආකාරයකට දේශපාලකයාගේ වරද රාජ්‍ය නිලධාරියා තමන් පිට පටවා ගැනීමකි. සුදු රෙදි නඩුවේදී සිදු වූයේ එසේ පටවා ගත් වරදකට දඬුවම් නියම වීම යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ඇති තැන අහිමි කරන බවට ප්‍රලාප කියමින් එකී නඩු තීන්දුව සම්බන්ධයෙන් මහජනයා නොමඟ යවන වැරදිකාර දෙශපාලකයන් රාජ්‍ය නිලධාරියාගේ පිරිසුදු භාවය කෙලෙසුවා මදිවාට, දැන් වෙනත් වටයකින් රාජ්‍යකරණය බෙලහීන කරන්න ද වැර දරයි. ප්‍රලාප දේශපාලනය වෙනුවෙන් නායකත්වය දෙන කණ්ඩායම මේ කරන්නේ රටේ පරිපාලන ව්‍යූහය සම්බන්ධයෙන් පැවතිය යුතු විශ්වාසය බිඳුවා, එයින් හට ගන්නා අවුල ද තම පටු දේශපාලන අරමුණ වෙනුවෙන් යොදා ගැනීම යි; රාජ්‍ය නිලධාරියා බිල්ලට ගත්තා මදිවාට රාජ්‍යකරණය ම අවදානමට හෙළීම යි.
නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා ගොඩනැඟෙන්නේ රටේ සම්ප්‍රදාය, සංස්කෘතිය පාදක කර ගෙන යි. බුද්ධාගම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් කෙරෙන්නේ ඊට අනුව ය. යහපත් සමාජයක් ගොඩනැඟීමට නීතියටත් වඩා බලපාන්නේ පුද්ගල අධ්‍යාත්මය පිරිහෙන්නට නොදී පවත්වා ගැනීම යි. නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රාජ්‍ය තන්ත්‍රය ගැන කතා කරන විට ඊට සමාන්තරව ආධ්‍යාත්මික සංවර්ධනය සම්බන්ධයෙන් ඇති ආයතනයක් ලෙස සංඝ ශාසනය දැක්විය හැකියි. 'සුදු රෙදි' 'සිල් රෙදි' බවට හරවා ගෙන ප්‍රලාප දේශපාලනයේ යෙදෙන කණ්ඩායම එම සුදු රෙදි පන්සල් මුල් කර ගෙන බෙදා දීම ම සංඝ සාසනය අවභාවිත කිරීමකි; තවත් ආකාරයකට පවසනවා නම් මහජන මුදල් අවභාවිතයට පන්සල ද පාවිච්චි කිරීමකි. එමඟින් සිදු වූයේ සමාජයේ ආධ්‍යාත්මික සංවර්ධනයට අනුබල දෙන සංඝ ශාසනය කෙරෙහි ඇති පිරිසුදු බව හෝ තබන විශ්වාසය හෝ පළුදු කිරීමකි. එය ජාතික අපරාධයකි.
සුදු රෙදි නඩු තීන්දුව අනුව නියම වූ වන්දි මුදල් ගෙවීමට යැයි කියමින් ප්‍රලාප දේශපාලනයේ නිරත බංකොලොත් දූෂිතයන් සමඟ එක්ව පිණ්ඩපාතෙ වඩින්නට භික්ෂූන් වහන්සේ පිරිසක් සූදානම් වීම යනු සංඝ සාසනය කෙලෙසමින් කළ එකී ජාතික අපරාධයට තවදුරටත් අනුබල දීමක් නොවන්නේ ද? රාජ්‍යතාන්ත්‍රික පිරිසුදුභාවය කෙලෙසුවා මෙන්, ආදර්ශවත් තැනක තිබිය යුතු සංඝ ශාසනය ද පටු දේශපාලන අරමුණකට ගොදුරු කර ගනිමින් සිටී. ඊට භික්ෂූන් වහන්සේ යොදා ගෙන ඇත්තේ ද ප්‍රලාප දේශපාලනය යි. මහජන මුදල් අයථා ලෙස භාවිත කරමින් ඡන්දය වෙනුවෙන් බෙදූ 'සුදු රෙදි' 'සිල් රෙදි' ලෙස දැක්වීමත් සුදු රෙදි නඩු තීන්දුව බුද්ධාගමට හිමි තැන අහිමි කිරීමක් ලෙස පෙන්වීමත් ප්‍රලාප දේශපාලනය වේ. රාජ්‍යකරණය බෙලහීන කරන මේ ප්‍රලාප දේශපාලනයට වැට බැඳීම වහා කළ යුතු ය.