
අද දේශපාලන පක්ෂ අතර ඇත්තේ ප්‍රතිපත්තිමය ගැටුමක් නො ව, මානසික හෝ ශාරීරික හෝ හිංසාව මුල් කර ගත් ගැටුමකි. නැති නම් ඒ පිරිහීමට දේශපාලන පක්ෂ ඇද වැටී ඇත. පසුගිය දා උතුරු මැද පළාත් සභාව මඟින් ද රටට ඒ බව පෙන්වා දුණි. රටේ ප්‍රධාන පක්ෂ දෙකේ මහජන නියෝජිතයන් ගුටිබැට හුවමාරුවක නිරත වූ ආකාරය විද්යුත් මාධ්‍ය හා සමාජ ජාලා ඔස්සේ රට ම දැක ගත්තේ ය. සමාජයේ බහුතර පදාසයක දේශපාලන නොදැනුවත්කම ප්‍රදර්ශනය වූ අවස්ථාවක් ලෙස ද මෙය සැලකිය හැකි යි. ඒ බව පිළිගන්නට අකැමැති නම්, මහජන නියෝජිතයන් ප්‍රකට කරන මේ නොහික්මුණු බව ගැන ඔවුන් බලයට පත් කළ ඡන්දදායකයාට ද වගකීමක් ඇති බව අමතක නොකළ යුතු යි.
මහජන නියෝජිත සබාගැබ කෝලාහල කර ගන්නා තැනක් බවට පත් වීම පාර්ලිමේන්තුවේ දී ද දක්නට ලැබෙන රටක මේ සිද්ධිය එතරම් වැදගත් නැතැයි අයකු සිතන්නට ඉඩ ඇත. එහෙත් අප රටක් ලෙස විසඳා ගත යුතු ප්‍රධාන ගැටලුව ද මෙය යි. තවදුරටත් පසුගාමි නොවී, රටේ ඉදිරිගාමි ගමන ගැන කල්පනා කරන දේශපාලනයකට මහජන නියෝජිතයන් වෙතින් ප්‍රකට කෙරෙන මේ ස්වභාවය මඟහැර යා නොහැකි ය. කලක් තිස්සේ කුණු වූ තුවාලයක් සුවපත් කිරීම ලෙහෙසි නොවුණත් මේ දේශපාලන පිරිහීම නිවැරදි කර ගන්නවා හැර රටට අන් මඟක් නැත. සම්මුතිවාදි දේශපාලනය ඒ සඳහා ඇති හොඳ ම ප්‍රතිකර්මය වුව ද සුව වීමේ ප්‍රතිඵලය ප්‍රමාද වන්නේ දේශපාලන පිරිහීම එතරම් ම දරුණු බැවිනි.
ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සම්මුතිවාදය ප්‍රායෝගික දෙයක් බවට පත් කර ගැනීම කොතරම් අමාරු කටයුත්තක් වුව ද එයින් තොර ව රටට ඉදිරි ගමනක් නැතැ යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන් ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද නිතර අවධාරණය කරයි. එවිට පක්ෂය පෙරට දමා තනි ව ආණ්ඩු හැදීම ගැන කතා කරන අය බලය හඹා යෑමේ ඇත්ත අරමුණ ජනතාවට සඟවා ඇත. බලය අවශ්‍ය වී ඇත්තේ තම ස්වාර්ථය පිණිස ම මිස රටේ පොදු යහපත වෙනුවෙන් නොවන බවට ඇති මේ දේශපාලකයන් සතු ඇත්ත මුහුණ ඡන්දදායකයා ද අවස්ථාවාදිව අමතක කරයි. ස්වාභාවික විපත පවා පවතින ආණ්ඩුවේ දුර්වලකමක් ලෙස හුවා දක්වා ජනතාව වැරදි මඟට උසි ගන්වන්නේ සැබෑ මුහුණ ජනතාවගෙන් සඟවන්නට යි. මේ දේශපාලන පිරිහීමට හෝ අර්බුදයට හෝ ක්ෂණික විසඳුම් නැත. ඩෙංගු රෝගය මොන තරම් මාරාන්තික වුව ද ඊට ලබා දිය හැකි ක්ෂණික බෙහෙතක් නැතුවා සේ මේ දේශපාලන පිරිහීමට ද ක්ෂණික දේශපාලන විසඳුමක් නැත. මෙය ඉවසීමෙන් හා කල්පනාවෙන් ගොඩ ආ යුතු තැනකි.
කොහොම ගණන් බැලුවත් තනි පක්ෂයක පාලන දැක්ම මෙතෙක් ක්‍රියාවට නැඟුණේ පුද්ගලවාදි ව හෝ පවුල්වාදි ව යි. සම්මුතිවාදය යාථාර්ථයක් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාව මතු වීම කෙරෙහි ප්‍රබල ලෙස බලපාන්නේ දශක ගණනාවක් තිස්සේ රටේ ගොඩනැඟුණු මේ දේශපාලන වැරදීම යි. 2015ට පෙර දශකය රට ම පවුල්වාදයකට යට වීම නිසා වූ විනාශය රටේ ධනය හානි වීමටත් වඩා දරුණු බව ප්‍රාදේශීය දේශපාලනයේ මේ පිරිහීම මඟින් ද හෙළි කරයි. එදා පවුල් පාලනය විසින් ගමට මුදා හරින ලද දේශපාලනයේ අරුත වූයේ අල්ලසට, දූෂණයට, තක්කඩිකමට හිතැති හෙංචයියන් කණ්ඩායමක් මහජන නියෝජිතයන් ලෙස පෙරට ගැනීම යි. එවිට මහාපරිමාණයෙන් රට දූෂණය කරන තමන් නිරුපද්‍රැත යැ යි පවුල් පාලනය විසින් ගණන් බලනු ලැබී ය. උතුරුමැද පළාත් සභාවේ සිදු වූ ගුටිබැට හුවමාරුවෙන් ද ගලා ගියේ එසේ පුරුදු පුහුණු කළ කුණු දේශපාලනයේ ඕජස යි; රට බේරා ගැනීම නමින් ගෙන ගිය රස්තියාදුකාර දේශපාලනයක දුගඳ යි. සම්මුතිවාදය, සංහිඳියාව, යහපාලනය ප්‍රායෝගික කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේ මෙන්න මේ ව්‍යසනයෙන් සමාජ දේහය නිරුපද්‍රැත කර ගැනීමට යි; රටක් ලෙස පසුගාමි වීමේ මාරාන්තික බවින් ගොඩ ඒම පිණිස යි.
එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අද අද ම මේ ගැන කල්පනාවට ගත යුතු ව ඇත. මැතිවරණ ප්‍රමාද කරනවා ය කියන හඬ නැඟෙන්නේ පවුල් පාලනය විසින් ස්ථාපිත කරන ලද දේශපාලන කුණු මෝල්වලින් ද යන්න විමසා බැලිය යුතු යි. ජනතා සහභාගිත්වයෙන් තොර ව මාරාන්තික ඩෙංගු රෝගය තුරන් කිරීම අතිදුෂ්කර වනවා සේ මේ කුණු දේශපාලනය සුද්ද කිරීමටත් මහජනතාව ම සක්‍රීය ව දායක විය යුතු ව ඇත. එළඹෙන පළාත් පාලන ඡන්දය ඒ වෙනුවෙන් ලැබෙන අවස්ථාවකි.