
පළාත් පාලන මැතිවරණය කල් යෑම පිළිබඳ නැඟෙන මැසිවිල්ල හෝ විරෝධය හෝ සාධාරණීකරණය කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් ගැන සිහිපත් කරමිනි. එහෙත් ඒ අයිතිවාසිකම් රටේ සමාජයේ ඉදිරිගමනට, යහපතට යොදා ගන්නවා ද කියා මැන බලන්නේ කෙසේ ද? අඩු තරමින් ඒ ගැන සංවාදයකට හෝ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් ඉල්ලන අය සූදානම් ද? පළාත් පාලන ඡන්දය ඉල්ලන ජනතාව හෝ ජනතා නියෝජිතයන් හෝ දේශපාලනයේ දී හැසිරෙන්නේ එවැනි බුද්ධිමය ඉලක්කයකින් යුතු ව නොවන බව දිගින් දිගට ම පෙන්වයි.
විශේෂයෙන් ම ජනතාව කටයුතු කරන්නේ බුද්ධිමය දැක්මක් සහිත නියෝජිතයන් ගැන වැටහීමකින් නොවන බව ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා ම තෝරා ගන්නා තම නියෝජිතයන් මඟින් පෙන්වා දෙයි. පළාත් පාළන මැතිවරණය පැවත්වීම ම ඒ අනුව ප්‍රශ්නයට විසඳුමක් නො වේ. පළාත් පාලන මැතිවරණයට පෙර, පාර්ලිමේන්තුව දක්වා පාර වැටී ඇති ප්‍රාදේශීය දේශපාලනය නාය ගොස් ඇති තරම ගැන වහා වටහා ගත යුතු ව ඇත. රට ම වෙළා ගෙන ඇති කුණු ප්‍රශ්නය හා එය ද හේතුවක් කොට ගෙන දරුණු වූ ඩෙංගු වසංගතය ඒ වැටහීම ලබන්නට හොඳට ම ප්‍රමාණවත්ය.
එදිනෙදා ජන ජීවිතයේ දී බැහැර කරන කුණු තම තමන්ට කළමනාකරණය කර ගන්නට ඉඩ නැති නගරබද ව හෝ ප්‍රධාන වීදි දිගේ හෝ එම කුණු එකතු කිරීම සෞඛ්‍ය හා සනීපාරක්ෂාව යටතේ පළාත් පාලන දේශපාලනයට ඇති වගකීමකි. තමන්ගෙන් බදු අය කරන්නේ නම් ඉඩ නැති ව ගොඩ ගැසෙන කුණු ප්‍රශ්නය විසඳන ලෙස ඉල්ලන්නට බදු ගෙවන ජනතාවට අයිතියක් ද ඇත. මේ පිරිස රටේ ජනගහනයෙන් ඉතා සුළුතරයකි. එහෙත් තම තමන්ගේ කුණු ගෙවත්තේ ම කළමනාකරණය කර ගත හැකි, ඒ වෙනුවෙන් ඉඩමේ ඉඩ ඇති, රටේ බහුතරය වෙතට තමන්ගේ කුණු ගෙවත්තෙන් පිටතට හෝ මහ මඟට හෝ දැමීමට අනුබල දුන්නේ ද මේ පළාත් පාලන දේශපාලනය යි. කුණු අදින ට්‍රැක්ටරයක් වත් ධාවනය කරන්නට ඉඩ නැති ගම්බද අතුරු මාර්ග අද්දරට පවා කුණු ගෙනත් දමන්නට ගමේ ජනතාව පෙලඹවූයේ මේ පළාත් පාලන දේශපාලනය යි.
පසුගිය දශකයක පමණ කාලය ගත් විට පළාත් පාලන දේශපාලනයේ වැඩි හරියක් පිරී ගියේ බුද්ධිමය දැක්මක් රහිත හිස් මිනිසුන්ගෙනි. එනම්: හුදෙක් මළ ගෙදරක නිඳි මරන්නට හැකි ආකාරයේ හෝ තම දෙපයින් නැඟිටින්නට වැර දරන අනෙකා ගැන විවේචනය පමණක් කරන කුහක සමාජ පදාසයට නායකත්වය දෙන ආකාරයේ හෝ ‘රස්තියාදු‘ චරිතවලිනි. ඡන්දය දිනා ගැනීම වෙනුවෙන් එවැනි චරිත ජනතාවට දුන් අල්ලස් අතර කුණු එකතු කිරීම ප්‍රධාන අංගයක් විණි.
තමන්ගේ කුණු කොතනකට හෝ වීසි කර අත පිහදා ගන්නට බලා සිටින සමාජ පදාසයට ද එය වැදගත් මහජන සේවයක් විණි. ගෙවත්තෙන් එළියට දමන මේ කුණු එකතු කිරීම මඟින් අර මහජන නියෝජිතයා එකවර වාසි දෙකක් ලබයි. එක් වාසියක් වූයේ කුණු ඇදීම වෙනුවෙන් ලැබෙන ඡන්දය යි. කුණු ඇදීම වෙනුවෙන් කෙරෙන මෙහෙයුම විවිධ කොමිස් හා අල්ලස් රස ලබන්නට හැකි මඟක් වීම අනෙක් වාසිය යි. මෙවැනි පසුබිමකින් ආ පළාත් පාලන නියෝජිතයන් හට ගමේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ය කියා පසුගිය රජය කාලයේ කොමිස් ව්‍යාපාර ලබා දීම මඟින් මේ රස්තියාදු දේශපාලනය තව දුරටත් තර කෙරිණි.
එමෙන් ම ජාතික දේශපාලනය ද තව තවත් පාතාල මඟක ම යොමු කෙරිණි. ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට දමා පළාත් පාලන ඡන්දය ඉල්ලා නැඟෙන ඝෝෂා අතර පසුගිය රජය කාලයේ හිතා මතා ම පෝෂණය කළ එවැනි කුණු මෝල්වලින් එන හඬ ද ඇත.
පළාත් පාළන දේශපාලනය සඳහා තෝරා ගනු ලබන නියෝජිතයා ජාතික දේශපාලනය තෙක් නැඟෙන්නට අත්දැකීම් ලබන්නෙකි. රටේ ඉදිරි ගමන වෙනුවෙන් වන ප්‍රතිපත්ති සම්පාදනයට යම් දවසක දායක වන්නේ එසේ ජාතික දේශපාලනයට පිවිසෙන මහජන නියෝජිතයා ය. ඡන්දය දිනීම වෙනුවෙන් ජනතාව අවස්ථාවාදි ව සතුටු කරන පළාත් පාලන නියෝජිතයා ජාතික දේශපාලනයට පිවිසුණාට පසු වත් එහි වෙනස් නො වේ. නීති විරෝධි ව්‍යාපාරයකින් මුදල් උපයන්නේ මතු දිනක යහපත් ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය මූලික ධනය සොයා ගැනීමට යැ යි යමකු අදහස් කළත් හුරු වූ නීතිවිරෝධි ව්‍යාපාරය අත්හරින්නට නොහැකි වන අයුරිනි. එදිනෙදා බැහැර කරන කුණු යනු තම ගෙවත්තේ ම කළමනාකරණය කර ගත යුතු දෙයක් මිස පාරට ඇද දමන දෙයක් හෝ අනුන් මත පටවන දෙයක් හෝ නොවන බව සමාජයට වටහා ගන්නට අද ඇති ලොකු ම බාධකය වී ඇත්තේ කුණු වී ඇති පළාත් පාලන දේශපාලනය යි.
අද නගරබද ව එකතු කෙරෙන කුණු යම් තැනක ගොඩ ගැසෙන විට ඊට විරුද්ධ ව නැඟෙන විරෝධයේ ද වැඩි හරියක් ඇත්තේ තමන්ගේ කුණු අනුන් මත පටවන්නට රිසි කැමැත්ත යි. දැන් ඊට දේශපාලන වටිනාකමක් ලැබී තිබේ. ඩෙංගු මදුරුවා ද මඳී නොකියන්න ඒ වෙනුවෙන් කෘතගුණ සලකමින් සිටී.
ඩෙංගු මෙතරම් දරුණු වූයේ පළාත් පාලන දේශපාලනය විසින් පෝෂණය කරන ලද තමන්ගේ කුණු අනුන් මත පටවන සමාජ ආකල්පය ද හේතුවක් කර ගෙන බව එළඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර වටහා ගන්නේ නම්, එය ඩෙංගු වැනි වසංගතවලට දිගුකාලීන විසඳුම් සොයන මඟ ද වනු ඇත.