ගංවතුර ස්වාභාවික විපතක් ම නොවේ | Page 2 | සිළුමිණ

ගංවතුර ස්වාභාවික විපතක් ම නොවේ

 මෙවර ගංවතුර ව්‍යසනයෙන් ජීවිත අහිමි වීම දෙවැනි වන්නේ මෙතෙක් රට මුහුණ දුන් දරුණුතම ස්වාභාවික විපත සේ සැලකෙන සුනාමි ව්‍යසනයෙන් වූ ජීවිත හානියටයි. පුද්ගල මරණ සංඛ්‍යාව 200 ඉක්මවූ, අවතැන් වූ ගණන අසූදහට ආසන්න වූ, ලක්ෂ ගණනකට පීඩාකාරී බලපෑමක් වූ මෙම ගංවතුර ව්‍යසනය විසින් රටටම, මුළු මහත් සමාජයටම අත්නොහළ යුතු පාඩමක් උගන්වනු ලැබ ඇත. සිදුවූ දේපල හානිය තවමත් ගණන්බලා නැතිව වුවද අමතක නොකළ යුතු පණිවිඩයක් ගංවතුර ව්‍යසනය විසින් පෙන්වා දෙනු ලැබ ඇත. එනම් අප කරන කියන හැම දේකටම ප්‍රතික්‍රියාවක් ඇති බවයි. මෙය ස්වාභාවික විපතක් වුව ද අප විසින් සොබාදහමට කරනු ලබන කෙණිහිලිකම් මෙන්ම සූරාකෑම් වැස්ස මෙතරම් දරුණු වීමට බලපාන බව අවධානයට ගත යුතුව ඇත. සොබා දහම අපට වුවමනා ලෙස, අපේ අශාවන් හා සිතැඟි අනුව පාවිච්චි කරන්නට නොහැකි බව මේ විපත විසින් දෙන ලද පණිවිඩයයි. එහෙත් එය වැදගත් වන්නේ උගත් පාඩම්වලින් ප්‍රයෝජන ගන්නවා නම් පමණි. ආපසු හැරී බලන කල උගත යුතු පාඩම් ඕනවටත් වඩා මඟ හැරියා මිස ඉදිරිය තකා ප්‍රයෝජනයට ගත් බවක් ෙපෙනන්නට නැත. මෙම ගංවතුර ව්‍යසනය සමබන්ධයෙන් ද සිදු වීමට නියමිතව ඇත්තේ එයයි. එනම් ඊළඟ විපතකටද දැන දැන අතවැනීමයි. තවත් දින කිහිපයකින් සිදුවූ විපත ගැන, එවැනි විපතකට මුළු මහත් සමාජයම වගකිව යුතු වීම ගැන, අමතක කර දමනු ඇත. ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ඇත්ත ව්‍යසනය එයයි.

මෙකලට මෙවැනි වැසි වසින බව කල් තියා දැන සිටින්නකි. වැස්සේ ධාරිතාව නම් එන්න එන්නම ඉහළ යන අතර මෙවර වැස්සේ ධාරිතාව බලාපොරොත්තු නොවූ තරම් ඉහළ මට්ටමක විණි. වැස්සේ ධාරිතාව ඉහළ යාමට බලපාන්නේ ගංවතුරෙන් පීඩා විඳින සමස්ත සමාජය ම ඉවක් බවක් නැතිව පරිසර දූෂණයේ නිරතව සිටීමත් එනිසා පරිසරයේ සමතුලිතතාව බිඳීයාමත් බව මෙහිදී සිහිතබා ගත යුතුයි. ගෝලීය උණුසුම ඉහළ යාම වැනි කාරණාද ඊට අදාළ වෙයි. එහෙත් විද්‍යාත්මකව මෙන්ම සම්ප්‍රදායික ක්‍රමවේද මගින් ද පැමිණීය හැකි විපතක ලකුණු ගැන කල් තියා අනාවැකි ප්‍රකාශ විණි. කුණු කන්ද ඇඟටම කඩා වැටෙන බව ප්‍රකාශ වුවද එහි ‘කුණු රස‘ අත්හරින්ට ඇති අකමැත්ත නිසාම විය හැකි අනතුර නොසලකන සේ කල්තියා ප්‍රකාශ වූ කිසිවක් ජනතාව සිය අවධනයට ගත්තේ නැත. වගකිය යුතු අංශ වෙතින් එකී දැනුම්වත් කිරීමට ප්‍රමුඛතා ලැබුණේද නැත. සමස්ත සමාජය එවැනි අවධානයකට යොමු කළ විනයක්, ශිෂ්ටසම්පන්න බවක්, පිළිගැනීමක් මෙරට ජනසමාජය තුළ ඇති කරන්නට දේශපාලනිකව හෝ සමාජ සංවිධාන ලෙස හෝ ආධ්‍යාත්මික මඟ පෙන්වීමක් මඟින් හෝ සමත්ව නැති බවද මෙහි දී අවධාරණය කළ යුතුයි.

තම මාධ්‍යය ප්‍රවර්ධනය පිණිස ගංවතුරේ ඔරු පැදීමට පෙරමුණ ගන්නා මාධ්‍ය ආයතනවලටද පැමිණිය හැකි විපත ගැන ජනතාව දැනුම්වත් කරන්නට ඇති වගකීම අමතක වන්නට ඇත. එමඟින් සිදු කෙරුණු සමාජ සත්කාර සඳහා ප්ලාස්ටික් වතුර බෝතල් හා වසවිස සහිත ආහාර නම් කරමින්ම එක්රැස් කිරීම මඟින් තවත් ව්‍යසනයකට පාර කැපූ බවද අමතක නොකළ යුතුයි.

මෙවැනි ව්‍යසන පැමිණෙන්නේ ඇයිද කියා විපතට ගොදුරු වූ ජන සමාජය ගැඹුරින් කල්පනා කරන්නේ කලතුරකිනි. ඊළඟට පැමිණිය හැකි විපතට කල්තියා සූදානම් වන්නේ කෙසේද කියානම් හිතන්නේවත් නැත. දේශපාලකයන් ද කරන්නේ තම විරුද්ධවාදියා අභිබවන්නට හැකිලෙස ඡන්ද දායකයා තාවකාලිකව සතුටු කළ හැකි මඟකින් එගොඩවීම පමණි. එනම් ගංවතුරේ ඔරු පැදීම හැර වගකිව යුතු අංශවලට පැහැදිළි දැක්මක්, සැලස්මක් නැත. ගංවතුරට කොටුවූ ජනතාවට බෙදා දෙනු පිණීස, කාට කාට හරි කියා එකතු කර ගත් බත් පාර්සල් යම් තැනකට ගෙන ගොස් එය බෙදීම ප්‍රමාද කර ඇත්තේ අදාළ දේශපාලකයා එතැනට ළඟා වෙන තුරු බවට වාර්තා වූණු සිද්ධිය වැනි අමානුෂික කතා මේ ව්‍යසනය ඇතුළෙන් දෝරෙ ගලන්නේ එබැවිනි. ලැබෙන අනාථාධාර සඳහා පොරකෑම, අයෙක් අනාථව කුසගින්නේම මිය යද්දී අධාර ලබන්නට නුසුදුස්සන් අත අධාර මළු පිරී යාම වැනි තොරතුරු ගංවතුර දින කිහිපයක් එක තැන පල්වීමෙන් හට ගන්නා කුණු ගඳ මෙන් හමා යන්නේ ද එබැවිනි. මෙවැනි ව්‍යසනවලින් වැලකෙන්නට නම් අධාර බෙදීම වැනි දේ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි අනෙක් අතට එවැනි දෙයින් කියැවෙන්නේ.

ආපදා කළමනාකරණය යනු විපත සිදුවූ පසුව ඒ ගැන අවධානය යොමුකිරීම හෝ ඊට පිළියම් යෙදීම ම නොවේ. ස්වාභාවික විපත පවා මිනිසාගේ නොහික්මුණු ක්‍රියාවක ප්‍රතිඵලයක් නිසා එය වැලක්වීමට පියවර ගැනීමත් ආපදා කළමනාකරණයයි. යම් ඉදිකිරීමක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ආරම්භ කෙරෙන විට එය සොබාදහමට කොතරම් ඔරොත්තු දෙනවාද යන්න ගණන් බලා එයින් අනාගතයේ විය හැකි ව්‍යසනය වැලක්වීමත් ආපදා කළමනාකරණයට අයත්ය. ඒ අනුව බලන කල මෙවැනි විපත් වැල්ක්වීමේ වැඩිම වගකීම පැවරෙන්නේ දේශපාලකයාටයි. පරිසරයට කෙෙරන දැවන්ත බලපෑමට මුල සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් දේශපාලකයන් ගනු ලබන තීන්දුය.

ගංවතුර ගලන බව කල් තියා කියවුණත්, නිවාස ආසන්නයේ කඳු නාය යාමට ඇති අවදානම හඳුනා ගත්තත් ජනතාව ඊට ප්‍රතිචාර දක්වන අලසභාවය හෝ විනය විරෝධී ස්වභාවය වෙනස් කිරීම අපහසු වන්නේ ද දේශපාලකයා අත්තනෝමතික වීම පාදක කර ෙගනයි. තම විරුද්ධවාදියා පරදවන්නට මෙවැනි විපත් පවා පාවිච්ච් කරන දේශපාලකයන්ගෙන් ජන සමාජය විනයගරුක තැනකට ගැනීම ගැන බලාපොරොත්තු විය හැකිද? එවැනි පාඩම් රැසක් මේ ගංවතුර ව්‍යසනය මඟින් පෙන්වා දයි.

Comments