රටේ ඉදිරි ගමනට බාධා කරන මේ අරගල ! | Page 2 | සිළුමිණ

රටේ ඉදිරි ගමනට බාධා කරන මේ අරගල !

 රටේ අගනුවර දී පෙළපාළියක්, විරෝධතා ව්‍යාපාරයක් නැති දවසක් දැන් හමු වන්නේ කලාතුරකිනි. වෙන දා මැයි දිනයට පමණක් දකින්නට හැකි වූ දැවන්ත පෙළපාළි හෝ එවැනි 'සන්දර්ශන' දැන් දිනපතා ම වාගේ පැවත්වෙයි. මෙරට අධ්‍යාපනයේ අග්‍ර ඵලය සේ සැලකෙන විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය පරපුර මේ පෙළපාළි - උද්ඝෝෂණවල ඉදිරියෙන් ම වෙති. වෛද්‍යවරු ද, දේශපාලන කණ්ඩායම් ද, වෘත්තීය සමිති නියෝජිතයෝ ද ඔවුන්ට අනුබල දෙති. රටේ ඇති බරපතළ ම ජාතික ප්‍රශ්නය මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය බව මේ උද්ඝෝෂකයන්ගේ නිගමනය යි. මාර්ග තදබදය තර කරමින් හා සාමාන්‍ය ජන ජීවිතය අවුලකට ඇද දමමින් දිගින් දිගට මේ පෙළපාළි - උද්ඝෝෂණ පැවත්වෙන්නේ ප්‍රශ්නය එතරම් ම බරපතළ නිසා ලු. එහෙත් විරුද්ධ වීමට ඇති අයිතිය මෙසේ භුක්ති විඳින්නට යෑමෙන් අනෙකාගේ අයිතිය හෝ නිදහස හෝ ඇහිරී යෑම ගැන මේ උද්ඝෝෂකයන්ට වගක් නැත.

'තමන්ගේ වෘත්තිය අනෙක් වෘත්තීන්ට වඩා උසස් ය,' කියා වෛද්‍යවරුන් සිතා සිටින අයුරින් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය පරපුර ද 'තමන් උගත් ය,' කියන උද්දච්ච මානසිකත්වයකින් කටයුතු කරන අවස්ථා සුලබ ය. 'අනෙකාගේ නිදහසට වඩා තමාගේ නිදහස වැදගත් ය,' යන මානසිකත්වය ප්‍රායෝගික වන්නේ එවැනි පසුබිමක යි. ලැබී ඇති නිදහස එසේ භුක්ති විඳින්නට යෑම නිසා, මෙවැනි පෙළපාළි - උද්ඝෝෂණ නිසා, රටක් ලෙස විඳ ගන්නට සිදු වන පාඩුව සුළු පටු නො වේ. භෞතික ව හෝ ආර්ථික ව ද මේ පාඩුව සිදු වේ. එමෙන් ම ආධ්‍යාත්මික ව හෝ හිත් නොසන්සුන් වීම අතින් ද ඉමහත් පාඩුවක් සිදු වේ. රටේ අගනගරයේ ම සිදු වන මේ කලබැගෑනිය අසංවර සමාජයක් ලෙස රට ගැන චිත්‍රයක් ද ලෝකය ඉදිරියේ මවයි. උගත් බුද්ධිමත් සමාජයක, හිතන පතන සමාජයක, සංවර ගති ලක්ෂණ ගිලිහී තිබීම එළිපිට ම ප්‍රදර්ශනය කරන බැවින් ඒ බව සනාථ කෙරේ.

උද්ඝෝෂකයන්ගේ යටි ඉලක්කයක් වන්නේ තමන්ට ගැටලුවක් ඇතැ යි කියා අනෙක් රට වැසියන්ට මෙන් ම විදේශ සංචාරකයන්ට ද දැනවීම හෝ සන්නිවේදනය කිරීම විය හැකි ය. එහෙත් ඇත්තට ම සිදු වන්නේ රට ගැන ඍණාත්මක හැඟීමක් මේ පෙළපාළි - උද්ඝෝෂණ වෙතින් සන්නිවේදනය වීම යි. එහි දී සිදු වන ප්‍රතිරූප බිඳ වැටීම පොදුවේ රටට පමණක් නො ව, තම තමන්ගේ පෞද්ගලික ජීවිතවලටත් අදාළ වෙයි.

පෙරපාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලය තෙක් එන ගමනේ දී 'අමතර පන්ති' සඳහා විශාල මුදලක් වියදම් කිරීම, නිදහස් අධ්‍යාපනය ඇතැ යි කියන රටේ ගම් දනවු දක්වා ම පවතින ඇත්තකි. එසේ නම් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය හැදෑරීමට ඉඩ පෑදීම නිදහස් අධ්‍යාපනයේ අවසානය වන්නේ කෙසේ ද? නිදහස් අධ්‍යාපනය මඟින් හිතන්නට හැකි, අලුත් චින්තනයක් ඉදිරිපත් කරන්නට හැකි, පිරිසක් බිහි නොවීමත් මේ පෙළපාළි - උද්ඝෝෂණ වෙතින් ප්‍රකට කෙරේ. අඩු ම තරමින් තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අරගලයක් දියත් කරන විට රෝගියා ප්‍රාණ ඇපයට නොතබා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි ක්‍රමයක් ගැන වත් හිතන්නට 'නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලයට' නොහැකි වී තිබේ. මහමඟ අවුරා සාමාන්‍ය ජන ජීවිතය පීඩාවට පත් නොකර තම ඉල්ලීම් දිනා ගන්නා මඟක් පාදා ගන්නට මේ උගත් බුද්ධිමතුන්ට නොහැකි වී තිබේ. අධ්‍යාපනයේ අග්‍ර ඵලය වෙතින් ඉදිරිපත් වන පෙළපාළි උද්ඝෝෂණ කොළඹට සෙනග අද්දා, බත් පැකට් වැනි අල්ලස් දී පවත්වන මැයි දින සන්දර්ශන බවට පත් වූයේ කෙසේ ද?

නිදහස් අධ්‍යාපනය රැක ගත යුතු යැ යි පැවසෙන්නේ දුප්පතුන් වෙනුවෙනි. මේ කියන දුප්පතුන් අත ද අද තොරතුරු තාක්ෂණයේ ප්‍රාථමික මෙවලමක් වත් ඇත. ඒ තාක්ෂණික බලපෑම නිසා ම මේ පෙළපාළි - උද්ඝෝෂණ මඟින් ලබා දෙන්නට උත්සාහ කරන යම් සාධාරණ පණිවිඩයක් ඇත් නම් එය ද සමාජයේ ගැඹුරට කාන්දු වීම සැක සහිත ය. විශේෂයෙන් ම අද මාධ්‍ය භාවිතය ප්‍රශ්නයක් වටහා ගන්නට මඟක් ලෙස නො ව, හුදු කටගැස්මක් හෝ විනෝදයක් හැටියට යි මේ කියන දුප්පතුන් යොදා ගන්නේ. තම 'පන්තියට' වැටහෙන, දැනෙන, අරගල ක්‍රමයක් හඳුන්වා දීමට වත් නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලයට නොහැකි වූ තරම යි අනෙක් අතට මේ පෙළපාළි - උද්ඝෝෂණ මඟින් කියා පාන්නේ.

ලද නිදහස දේශපාලන කණ්ඩායමක ප්‍රදර්ශනාත්මක මැයි දින සන්දර්ශනයක් බවට පත් නොකර නිර්මාණාත්මක ව හිතන්නට යොදා ගන්නවා ද කියා පෙන්වීම නිදහස් අධ්‍යාපනය රැක ගත යුතු යැ යි කියන සටන් පාඨය ද බල ගැන්වීමට ද හේතු වෙයි.

විරුද්ධ වීමේ නිදහසට අනෙකාගේ නිදහස රැකීම ද අයිති බව ශිෂ්ට සමාජයකට මඟහැරිය නොහැකි වගකීමකි. 

Comments