දියණිය සොරකු කළ කුඩු ජෝඩුව | Page 4 | සිළුමිණ

දියණිය සොරකු කළ කුඩු ජෝඩුව

- අසල්වාසි නිවෙසට රිංගා රන් මුදල් භාණ්ඩ උස්සලා
- නිවෙසට අැතුළු වන්නේ දියණියත් සමඟ
- සැකකරු සැකකාරියගේ තුන්වැනි සැමියා
- කනංකේ පොලිසියෙන් ඇසුණු කතාවක්

ගාල්ල දිසාවේ ඉමදූව 'මිනිමරුව' ප්‍රදේශය කනංකේ පොලිස් ස්ථානයෙන් පාලනය වන්නකි. එහෙත් මේ ගම්මානය යක්කලමුල්ල හා ඉමදූව පොලිස් වසමටම යාබදව පිහිටා ඇත්තේ පොලිස් මායිම් සලකුණු කරමිනි. අතීතයේ නම් වචනයේ පරිසමාප්ත ආර්ථයෙන්ම අපරාධ සම්බන්ධයෙන් ද මේ ගමට නමක් පටබැඳී තිබිණි. එහෙත් මීට දසක ගණනාවක සිට මේ ප්‍රදේශය ජීවත්වීමට සුදුසු වටපිටාවක් ඇති සුන්දර ගම්මානයක් බවට ප්‍රකට විය. එහෙත් නව වසරේ උදාවත් සමඟ ඉකුත් 6 වැනිදා 'මිනිමරුව' ප්‍රදේශයේ නිවෙසක් බිඳ ඇති බව මුළු ප්‍රදේශය පුරාම රැව් දුන්නේය. කරාටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකට ගුරුවරයෙකු වූ නිවෙසේ අයිතිකරු මේ සම්බන්ධයෙන් කනංකේ පොලිසියට පැමිණිල්ලක් කළේය. මෙය බොහෝ දෙනෙකුට ප්‍රහේලිකාවක් බවට පත් වූයේය. ඊට හේතු වූයේ එවැන්නක් මෑත කාලයේ ප්‍රදේශයෙන් වාර්තා නොවීමයි. කරාටේ ගුරුවරයාගේ නිවෙසින් සොරකම් කර තිබුණේ මුදල් සහ රන් අබරණය. 

මේ සිද්ධිය සම්බන්ධයෙන් කනංකේ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති එස්.එම්. චාමර සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක කාරියවසම් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කරන ලදී. සැක කටයුතු කිසිවෙක් ගැන අවධානය යොමු නොවුවද, පොලිස් ස්ථානාධිපතිවරයා විසින් උපාය දූතයෙකු යොදවා මේ ගැන පරීක්ෂණ කටයුතු සක්‍රීය කළේය.

එහිදී අසල්වැසි නිවෙසක පදිංචිකරුවන් ගැන සැකයක් පොලිසියට මතු වූයේය. ඊට හේතු වූයේ සොරකම සිදුවීමෙන් පසුව අදාළ නිවසේ පදිංචිකරුවන් වැඩි වශයෙන් දක්නට නොලැබීමයි. එහෙත් ඔවුන්ගේ දියණියන් දෙදෙනා නිවෙසේ සිටින බව පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට වැඩි කාලයක් ගත නොවීය. මේ දෙදෙනා වයස අවුරුදු 12 සහ 14 සීමාවේ පසු වූහ. සොරකමේ සුලමුල මුළුමනින්ම අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වන්නේ ඉන් පසුවය.

මේ ගැන තවදුරටත් විමර්ශන සිදු කිරීමේදී මේ දියණියන්ගේ මව 38 හැවිරිදි වියේ පසුවන බව හෙළි විය. ඇගේ පළමු විවාහයේ සැමියා පවුලෙන් වෙන්ව ගොස් තිබුණි. දෙවැනි විවාහයේ ස්වාමියා ද දුම්රියට පැන දිවි අහිමි කර ගෙන ඇති බව හෙළි විය. ඉන් පසුව මේ නිවසට අමුත්තෙකු එක්වූයේ මීට මාස තුනකට පමණ පෙරය. ඒ මේ කාන්තාවගේ තුන්වැනි සැමියාය. ඔහු නමින් අනුරාධ හෙවත් 'වාසු' ය. ඔහු ගාල්ල චීනකොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ පුද්ගලයා අදාළ කාන්තාවගේ නිවෙසට පැමිණ ගතවී තිබුණේ මාස තුනකටත් අඩු කාලයකි. ඔහු මත්ද්‍රව්‍යයට ඇබිබැහි වූවකු බව මෙම කාන්තාව දැන සිටියේ ද නැත. එහෙත් මේ වන විට මෙම කාන්තාව ද මත්ද්‍රව්‍යයට ගොදුරුව ඇති බවට පොලිසිය සැක කරන්නේය. පවුලේ අගහිඟකම් වැඩි වන්නේ ඒ සමඟය.

කරාටේ ශිල්පියාගේ නිවසේ අය ඇතැම් අවස්ථාවන්හි නිවෙසින් බැහැරව සිටින බවට මේ අඹුසැමියනට නිරීක්ෂණය විය. ඉකුත් 6 වැනිදා එකී සැකය මතු වූ අතර මෙය පරීක්ෂා කිරීමට වාසු සමඟ 12 හැවිදිරි දියණියද අල්ලපු නිවෙසට ගියාය. පළමුව මේ දෙදෙනා නිවෙස අවට විපරම් කළ අතර නිවැසියන් නැති බව තවදුරටත් සනාථ කර ගැනීමට වහලට ගලක් විසි කරන ලදී.

මේ අනුව නිවෙසේ කිසිවකු නොමැති බව සනාථ කර ගත් ඔවුහු නිවෙසට ඇතුළු වූහ. කලින් සැලසුම් කරන ලද පරිදි වාසු දියණියට පවසා තිබුණේ එම නිවසේ කිසිවකු හෝ සිටියහොත් නිවෙසට සර්පයෙකු ඇතුළු වූ බව පැවසීමට එහි පැමිණි බව කීමටය.

පොලිසිය අදාළ දරුවන්ගෙන් ලද තොරතුරු පරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩි කාලයක් ගත වූයේ නැත. මෙසේ සැකකාර අඹුසැමියන් අත්අඩංගුවට පත්වූයේ ගාල්ල ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවෙසේදීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රන් ආභරණවලින් කොටසක් සොයා ගන්නා ලද්දේ රන් ආභරණ මිලදී ගන්නා ස්ථානයක තිබියදීය.

සොරා ගනු ලැබූ තවත් භාණ්ඩ කොටසක් අනුකරණ බව හෙළි වීම නිසා ඒවා සමඟ සොරකම් කරන ලද ටැබ් එකේ සිම්පත ද මෝඩ ඇළට විසි කරන්නට මේ යුවළ පියවර ගෙන තිබුණි. සොරකම් කරන ලද රත්තරන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ ගණනක් වූ අතර ඒවා විකුණා ලබා ගත් මුදල්ද මේ යුවළ මත්ද්‍රව්‍ය පානයට යොදා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මේ වන විට කාන්තාවට තවත් දරුවෙකු පිළිසිඳ ගෙන ඇති අතර, ඒ නිසා ඇයගේ සායන වෙනුවෙන් වැය කිරීමට මේ මුදල් යොදා ගෙන ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය කර ගැනිමට පොලිසියට හැකි විය. මෙහිදී ටැබ් පරිගණකය සොයා ගනු ලැබුවේ ඥාති නිවසක තිබියදීය. සැකකාර යුවළ මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කනංකේ පොලිස් ස්ථානාධිපති එස්.එම්.චාමර සිල්වාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක කාරියවසම්, පොලිස් කොස්තාපල් 72839 චන්ද්‍රකුමාර, කාන්තා කොස්තාපල් මහේෂිකා, 80184 කුමාර යන නිලධාරින් නිලධාරිනියන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලදී.

මේ වන විට දියණියන් දෙදෙනා වැඩිමල් දියණිය යටතේ රැකවරණය ලබති. එහෙත් වැඩිමල් දියණියගේ ආර්ථිකයද එතරම් යහපත් නැත. මේ හේතුවෙන් මෙම දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ද ළමා ආරක්ෂක නිලධාරින්ගේ ද අවධානය වහා යොමු විය යුතුය.

ටී.කේ. මහින්ද - වැලිගම සමූහ

Comments