
- ‘කටපුංචා’ ගම්පහදී පොලිස් දැලේ චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත පිස්තෝලය ජීව උණ්ඩ 15ක් සමඟ අත්අඩංගුවට
- ගම්පහ දොලාහ පාරේදී පොලිසිය කළ මෙහෙයුමක්
මෝටර් බයිසිකලයක නැගී ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ ඇතිවූ සැකයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා පරීක්ෂාවකට ලක් කෙරිණි. සිදු කරන ලද එම පරීක්ෂාවේදී ඔවුන් සතුව තිබුණු ගමන් මල්ලක සඟවා තිබූ පිස්තෝලය හසු නොවූයේ නම් තවත් මිනිස් ජීවිතයක් මරුට බිලි වන්නට තිබිණි. මේ සිද්ධිය වාර්තා වූයේ පසුගිය දිනෙක ගම්පහ ප්‍රදේශයෙනි.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය නව වනදා සවස උඩුගම්පොළ, දොලාහ පාරේ මාර්ග බාධකයක් යොදා සැක කටයුතු පුද්ගලයන් සහ රථවාහන පරීක්ෂාවට ලක් කොට ඇත්තේ සමාජ විරෝධී ක්‍රියාවල නිරත වූවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහාය.
'දොලාහ පාර', ප්‍රධාන මාර්ග කීපයක් මඟහැර ප්‍රදේශ රැසකට ගමන් කළ හැකි අතුරු මාර්ගයක් වන බැවින් විවිධ ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මේ ඔස්සේ ගමන් ගන්නා බවට තොරතුරු ලැබී තිබීම හේතුවෙන් මාර්ග බාධකය යොදා පරීක්ෂාවන් සිදු කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.
රථවාහන පරීක්ෂා කරමින් සිටි නිලධාරීන්ට අධික වේගයෙන් පැමිණෙන මෝටර් බයිසිකලයක් සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත එය නවතා පැදිකරුගේ රියදුරු බලපත්‍රය පරීක්ෂා කළේය.
ඒ අතරතුර ඔවුන් ගමන් ගන්නා ප්‍රදේශය පිළිබඳව එම දෙදෙනාගෙන් තොරතුරු විමසීමේදී පිටුපස අසුනේ සිටි පුද්ගලයාගේ කතා විලාසයේ වෙනසක් දැනිණි.
ඒ සමඟම පොලිස් නිලධාරීන් ඔහු අත තිබූ ගමන් බෑගය තුළ ඇත්තේ මොනවාදැයි විමසූ විට ‘ඇඳුම්‘ යැයි එම පුද්ගලයා පොලිස් නිලධාරින්ට පවසා ඇත.
ඇතිවූ සැකය අනුව එම බෑගය පරීක්ෂාවට ලක්කර පොලිස් නිලධාරින්ට පිස්තෝලයක් ඉතා සූක්ෂ්ම ලෙස ඒ තුළ සඟවා තිබූ ආකාරය පෙනී ගිය බැවින් තවදුරටත් පරීක්ෂා කිරීමේදී එම පිස්තෝලයට යොදන ජීව උණ්ඩ 14ක් සහ උණ්ඩ රඳවන පතරොම් ගැබක්ද සොයා ගැනීමට හැකිවිය.
සොයා ගත් පිස්තෝලය චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත මිලි මීටර් 9 ප්‍රමාණයෙන් යුත් එක්වර උණ්ඩ 15 ක් යෙදිය හැකි එකක් බව පොලිස් නිලධාරීන් අනාවරණය කර ගන්නේ සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදීය.
මේ අනුව මෝටර් බයිසිකලයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි ඇතුළු කණ්ඩායම ඒ බව සැල කරන්නේ ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ සහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාරටය.
අනතුරුව සැකකරුවන් අපරාධ විමර්ශන ඒකකයට රැගෙනවිත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ කිසියම් පුද්ගලයකු තමන්ට මෙම පිස්තෝලය සහ ජීව උණ්ඩ ලබා දුන් බවය. මේවා කුලියාපිටිය ප්‍රදේශයේ අයකු වෙත ලබා දීම පිණිස අතුරු මාර්ග ඔස්සේ කුලියාපිටිය බලා යමින් සිටි බවය.
කාර්යාංශයේ නිලධාරීන් සැකකරුවන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම අනුව පිස්තෝලය බාර ගැනීමට සිටි 38 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඉතාලියේ පදිංචිව සිටින පුද්ගලයකුගේ අවශ්‍යතාව අනුව මේ ගිනිඅවිය ගෙන්වා ගැනීමට සැලසුම් කළ බවකි.
සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව පැය 48ක රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගම්පහ මූලස්ථාන පොලිසිය පියවර ගත්තේය. අනතුරුව තිදෙනාම රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.
අපරාධකරුවන්ගේ අවශ්‍යතාවන් සහ මුදලට කොන්ත්‍රාත් ලබා ගනිමින් හිතුමතේ මිනිසුන් මරා දැමීම පිණිස මිනිසුන් අතට ගිනිඅවි පත්වීම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින තත්ත්වයක් ඇති බැවින් බලපත්‍ර රහිතව මෙලෙස ගිනිඅවි සංසරණය වීම සම්බන්ධයෙන් දැඩි පියවරක් ගැනීමට අදාළ බලධාරීන් තවත් පමා නොවිය යුතු බව නීතියට ගරු කරන සාමකාමී පුරවැසියන්ගේ අදහස වී ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාරගේ අධීක්ෂණයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චිගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂකවරුන් වන මධුශංක සහ උදයශාන්ත සමඟ සැරයන්වරුන් වන පුෂ්පානන්ද (2926), පුෂ්පකුමාර (2284), ධනපාල (55460), සෙනෙවිරත්න ( 55466), වීරසූරිය ( 61976), පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රදීප් (30190) , හිරිපිටිය (102065) , ජනගේෂ් ( 104916) සහ බණ්ඩාර (104934) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ගම්පහ අතිරේක