මත්කුඩු සල්ලි නොදුන් ගනුදෙනුකරුගේ දරුවා පැහැරගත් ජාවාරම්කාරිය බන්ධනාගාරයේම අවසන් ගමනේ | සිළුමිණ

මත්කුඩු සල්ලි නොදුන් ගනුදෙනුකරුගේ දරුවා පැහැරගත් ජාවාරම්කාරිය බන්ධනාගාරයේම අවසන් ගමනේ

- සීයාගෙන් දරුවා ගන්නේ මීගමුවේදී
- එස්ටීඑෆ් මෙහෙයුමකින් ළමයා මුදාගනී
- සැකකාරියට එරෙහිව මත්කුඩු නඩු දෙකක්

ය නමින් චමිලා උදයංගනී හෙවත් "ශාලිකා"ය. බන්ධනාගාරගතව සිටියදී සිය නඩු දිනය යෙදී තිබූ දිනම උසාවියෙන් නිදොස් හෝ සදොස් බවට තීන්දුව ලැබීමටත් පෙර ජීවිතයෙන් සමුගෙන තම ඉරණමේ තීන්දුව ලියූ ඇගේ කතාව සැබැවින්ම අනුවේදනීයය.

මත්කුඩු සම්බන්ධ කරුණකට බන්ධනාගාරයකදී අවසන් හුස්ම හෙළූ මේ කතගේ පවුල් පරිසරය සලකා බැලුවද එහි අලගිය මුලගිය ස්ථාන බොහොමයක් මවන්නේද මත්කුඩු සහ බන්ධනාගාරය එකට අලළා බැඳුණු පුවත්ය. කලකට ඉහතදී ඇගේ වැඩිමහල් සොහොයුරා සහ ඔහුගේ දරුවන් බන්ධනාගාරගත වන අතර, ඊට හේතුව වන්නේද මත්කුඩුය. බන්ධනාගාරගත වූ සිය පවුලේ සාමාජිකයින් බැලීමට නිතර යන එන "ශාලිකා"ට බන්ධනාගාරගතව සිටි මත්කුඩු ජාවාරමෙහි කෙළපැමිණි 'කප්පිත්තෙකු' හඳුනා ගැනීමට ලැබිණි. මෙම හැඳුනුම්කම නිසාම කුඩු කප්පිත්තා සමඟ එක්ව මත්කුඩු ව්‍යාපාරයට 'අත ගසන' ශාලිකා ඒ අතරවාරයේ පොලිසියට කොටු වන්නේ මත්කුඩු ග්‍රෑම් 40ක්ද සමඟිනි. 

ඒ අනුව බන්ධනාගාරගත වන ඇය සිය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත්තාය. එහිදී හමුවන මත්කුඩු ජාවාරම්කාරියක සමඟ ඇය මිතුරු වූවාය. කෙසේ හෝ ඇප මත මුදා හැරීමෙන් පසු බන්ධනාගාරයෙන් එළියට පැමිණෙන ශාලිකා නැවතත් සිය සුපුරුදු 'ජීවන චර්යාවට' අවතීර්ණ වුවද පෙර හඳුනාගෙන සිටි මත්කුඩු ව්‍යාපාරයට අත්පොත් තැබූ තැනැත්තා ඇයට මත්කුඩු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය පත් වන්නේ මහත් අසීරුතාවකටය.

'කුඹුරෙන් බැරි නම් හේනෙන්' හෝ සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමට ප්‍රයත්න දරද්දී ශාලිකාට මත්කුඩු සැපයීමට තවත් පුද්ගලයෙකු ඉදිරිපත් විය. ඒ බන්ධනාගාරයේදී හඳුනාගත් කාන්තාවගේ පුත්‍රයාය. මේ අතර යළිත් වරක් නීතියේ රැහැනට කොටු වන 'ශාලිකා' පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ තමන්ට මත්කුඩු සැපයූ තැනැත්තා සම්බන්ධව හෙළිදරව් කිරීමේ ප්‍රතිඵලය වන්නේ පෙර කී කාන්තාවගේ පුත්‍රයාටද බන්ධනාගාර 'බත් පතේ' රස බැලීමට සිදු වීමයි.

මෙලෙස 'රොත්ත පිටින්ම' එක අහුරට බන්ධනාගාරගත වද්දී ශාලිකාගේ සමාජස්තරය තුළ ළැව්ගින්නක් මෙන් පැතිර යන්නේ ඇය තමන්ට මත්කුඩු සපයන්නන් සියල්ලන් පාවා දෙන තැනැත්තියක් බවටයි. මෙම කටකතාවෙහි අවාසිය 'ගෙඩි පිටින්ම' ඇයට ලැබෙද්දී ඇප ලබා පිටතට පැමිණෙන ශාලිකාට යළිත් මත්කුඩු ලබා දීමට කිසිවකුත් ඉදිරිපත් වන්නේ නැත. මේ අතර ඇගෙන් මත්කුඩු ලබාගත් ගැනුම්කරුවන්ගෙන්ද දිගින් දිගටම මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇණවුම් සමඟ ඉල්ලීම් ඉදිරිපත් වෙද්දී ඉල්ලුමට සරිලන ලෙස සැපයුමක් ලබා දීමට ශාලිකා අපොහොසත් වූවාය. නමුත් සිය උත්සාහය කිසි ලෙසකින් හෝ අත් නොහරින ඇය කෙසේ හෝ ප්‍රයත්න දරා තොටළඟ ප්‍රදේශයේ වත්තකින් මත්කුඩු ගත්තාය. නමුත් ඒ ණය පදනමටය. මෙලෙස ලබා ගන්නා මත්කුඩු තවත් පුද්ගලයින්ට අලෙවිය සඳහා ලබා දෙන අතර, එලෙස ලබා දෙන්නේ ද ණය පදනමටය.

මෙම කතාව ආරම්භයේදී සඳහන් වූ 'කුඩා දරුවාගේ' පියාද එලෙස ශාලිකාගෙන් ණය පදනමට මත්කුඩු ලබාගත් අයෙකි.

සියල්ල කන පිට හැරෙන එකී සිදුවීම සිදු වූ දින මෙම දරුවාගේ පියා ශාලිකාගෙන් මත්කුඩු ග්‍රෑම් 5ක් ණය පදනමට ලබා ගත් අතර, එහි වටිනාකම රුපියල් 1,70,000කි. අදාළ වටිනාකමින් රුපියල් 20,000ක් එම අවස්ථාවේදීම ඔහු ඇයට ලබා දුන්නේය. ගනුදෙනුව සිදු වන්නේ ඉතිරි මුදල් මත්කුඩු විකුණා පසු දින ලබා දෙන පොරොන්දුව මතය. දීර්ඝ කාලයක් ගනුදෙනු කළ සිය යාවජීව ගනුදෙනුකරුවන් ගැන ශාලිකාටද කිසිම අවිශ්වාසයක් තිබුණේ නැත.

නමුත් පැවසූ 'පසු දින' ගෙවී ගියද ඉතිරි ලක්ෂ එකහමාර ඇයට නොලැබුණි. ඊටත් පසු දිනද ඇය කුඩු සල්ලි බලාපොරොත්තුවෙන් මහත් නොඉවසිල්ලෙන් කල් මැරුවද එදිනද ගෙවී අවසන් වූයේ මුදල් ලැබීම පිළිබඳ කිසිම ආරංචියකින් තොරවය. තවත් බලා සිටීමෙන් ඵලක් නොවන බව වැටහුණු ශාලිකා සිය ගැනුම්කරුවා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද ඔහු ඊටද ප්‍රතිචාරයක් නොදැක්වීම ඇයගේ මනස අවුල් කිරීමට සමත් විය. අවසානයේදී මීගමුවේ වෙසෙන සිය ගැණුම්කරු හමුවීම සඳහා ඇය ග්‍රෑන්ඩ්පාස්, රන්දිය උයන, හේනමුල්ල සිය නිවෙසේ සිට ත්‍රිරෝද රථයකින් පිටත් වූයේ තවත් පිරිමි පුද්ගලයින් තිදෙනෙක්ද සමඟිනි. මීගමුවට පැමිණ සිය ගැනුම්කරු ඇමතුවද එහිදීද ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් නොවුණි. ශාලිකාද මෙම මත්කුඩු තොගය ලබා ගෙන තිබුණේ ණය පදනම මත වීම හේතුවෙන් එම තැනැත්තාගෙන්ද ඇයට දිනපතා එල්ල වූයේ සුළුපටු බලපෑමක් නොවේ.

හොඳින් හෝ නරකින් තම මුදල් ලබා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් සිටි ඇය ඉන් පසුව දුරකතනය හරහා සම්බන්ධ කරගත්තේ තම මුදල් ගෙවීම පැහැර හරිමින් සිටි තැනැත්තාගේ පියාය. ඒ වන විට ඔහු බන්ධනාගාරගතව සිටි තම පවුලේ සාමාජිකයකු බැහැදැකීම සඳහා සිය මුනුපුරකු සමඟින් මීගමුව බන්ධනාගාරය වෙත යමින් සිටියේය. ශාලිකා ඔහුව ඇමතුවේ කිසිම අයුරකින් හෝ සැකයක් නොසිතෙන පරිද්දෙනි.

"ආ අයියා, කොහෙද ඉන්නෙ...?" ඇය එලෙස ඔහුගෙන් විමසුවාය.

"මම මේ මීගමුවෙ ප්‍රිසන් එක කිට්ටුව පාරෙ ඉන්නෙ..." ඔහු කීවේය.

"ඔයා තනියමද ඉන්නේ.." ඇය නැවත ඔහුගෙන් විමසුවාය.

"නෑ... නෑ... මම ඉන්නේ පොඩි පුතත් එක්ක..." ඔහු ශාලිකාට කීවේය. ඒ සමඟම ශාලිකාගේ මනසට පැමිණියේ කදිම අදහසකි.

"ඉන්න... මාත් ඔය කිට්ටුව ඉන්නෙ. ඔයාව පොඩ්ඩක් හම්බවෙන්නත් ඕනි මට..." ඇගේ සුහද කතාබහ කෙරෙහි කිසි අවිශ්වාසයක් මත්කුඩු මුදල් වංචා කළ පුද්ගලයාගේ පියාට නොතිබිණි.

එම ස්ථානය සමීපයට පැමිණි පසු ත්‍රිරෝද රියේ සිටි අනෙක් පුද්ගලයින් තිදෙනා ඉන් බැස්සවූ ශාලිකා තනිවම පෙර කී තැනැත්තා හමුවට පැමිණ, "නඟින්න, යන ගමන් කතා කරමු" යැයි පැවසුවේ මිත්‍රශීලිව සිනාසෙමිනි.

තම දස හැවිරිදි මුනුපුරාද සමඟින් ත්‍රිරෝදයට ගොඩ වූ ඔහුට සැකයක සේයාවක් මතු වූයේ එක්වරම ඊට ගොඩ වූ පුද්ගලයින් තිදෙනෙකු දුටු පසුය. වහා ඉන් බැස අසල වෙළෙඳසලක් තුළට දිව ගිය ඔහු ගෙල බැඳි රන් මාලයත්, ජංගම දුරකතනයත්, අතෙහි වූ රුපියල් දෙදහසත් වෙළෙඳසල් හිමියාට ලබා දීමට තරම් නුවණක්කාර වුවද, දෙලොව රත්වූයේ ඒ වන විටත් ත්‍රිරෝදයේ සිටින සිය මුනුපුරා සිහි වීමෙනි.

කරකියා ගැනීමට දෙයක් නොවන තැන යළිත් ත්‍රීරෝදයට නඟින මෙම 'සීයා' සහ මුනුපුරා සමඟ රථය ඉදිරියට ධාවනය වන්නේ ශාලිකාගේ හෝ එහි වූවන්ගේ හැසිරීමේ කිසිම වෙනසකින් තොර සුහදත්වය මධ්‍යයේය.

පෑලියගොඩ, තොටළඟ පසුවූ පසු සේදවත්තට පිවිසෙන මාර්ගය අසල නවතන ත්‍රිරෝදයේ සිට ශාලිකා තමන්ට සිදු වූ අසාධාරණය වියපත් තැනැත්තාට විස්තර කළාය. පසුව ඇය පවසන්නේ තම මුදල් යළි ලැබෙන තෙක් දස හැවිරිදි දරුවා සිය භාරයේ තබාගන්නා බවයි. එලෙස පවසා වයෝවෘද්ධ පුද්ගලයාට ඉන් බසින ලෙස පවසන ඇය දරුවාද රැගෙන ත්‍රිරෝදය ධාවනය කරන්නේ රන් දිය උයන පිහිටි සිය නිවෙස දක්වාය. ශාලිකාට වූ අසාධාරණය හමුවේ ඇය ගත් තීරණය කුමක් වුවත් කුඩා දරුවකු පැහැර ගැනීම නීතියට පටහැණි ක්‍රියාවකි.

විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) ඩී. එස්. කුලසේකරගේ අධීක්ෂණයෙන් සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක II ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ මෙහෙයවීමෙන්, උපපොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු කණ්ඩායමක් විසින් ශාලිකාගේ නි‍ෙවස වටලන අතර, ඒ වන විටත් එහි රැඳී සිටි දරුවා නිලධාරීන් භාරයට පත් වන්නේ ඒ අනුවය.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිරමැදිරියකට ඇතුළත් කරන 'ශාලිකා' හෙවත් 47 හැවිරිදි චමිලා උදයංගනී ඇයගේ නඩු දිනය යෙදී තිබුණු දිනට පෙර දින රාත්‍රියේ හදිසියේ අසනීප වන අතර, ඒ අනුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ඇය රෝහල් සයනයක් මතදී සදහටම දෙනෙත් පියා ගන්නේ නඩුවේ තීන්දුවට පළමුව සොබාදහමේ තීන්දුවට යටත් වෙමිනි.

Comments