![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/01/25/1-3.jpg?itok=0_5RYqpW)
- රුපියල් එක්කෝටි අටලක්ෂයක් වටිනා ඩොලර් රිදී මාල වළලු ජංගම දුරකතන සොරකම් කරලා
- සොරකම් කළ ඩොලර් මාරු කර කුඩු ගහලා
ඒ අනුව රුසියාවේ සිට පැමිණි හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගාල්ල, බුස්ස, පන්සල පාරේ පිහිටි සංචාරක නිකේතනයක නවාතැන් ගත්හ. නිදහසේ ප්‍රදේශය පුරා එහා මෙහා යමින් විනෝද වූ මෙම රුසියානුවෝ පසුගිය දෙසැම්බර් මස 5 වැනි දින රාත්‍රි හික්කඩුව නගරයේ පැවති සාදයකට ද සහභාගි වීමට ගියහ.
මැදියම් රාත්‍රිය පුරා සාදය පැවති අතර එහිදී මේ රුසියානුවෝ මධුවිත පානය කරමින් විනෝද වූහ. මැදියම් රාත්‍රිය පසුවී හෝරාවකට පමණ පසු ඔවුහු ආපසු නවාතැන බලා ඒමට පිටත් වූහ. විනාඩි විස්සක පමණ වේලාවකට පසුව රුසියානුවන් පිරිස බූස්ස පන්සල පාරේ පිහිටි සිය නවාතැනට පැමිණියහ. ඒ වන විට ඔවුහු දැඩි ලෙස වෙහෙසට පත්ව සිටි නිසා ඇඳ සිටි ඇඳුම් මාරු කර ගෙන ඉක්මනින් නින්දට ගියහ. එහෙත් ඔවුන් එලෙස නින්දට යන්නේ ඔවුන් සිටි කාමරවල දොරවල් වසා නොදමාය.
පසු දින උදේ මේ රුසියානුවන් හත් දෙනාගෙන් එක් අයෙකු මුලින්ම නැගිට බලන විට ඔවුන්ගේ කාමරය කිසිවෙකු විසින් අවුස්සා දමා ඇති බව අවබෝධ විය. මේ පිළිබඳ කිසියම් සැකයක් ඇති වූ නිසා ඔහු වැඩිදුරටත් සොයා බලන විට ඔහුගේ ගමන්මල්ල අවුස්සා දමා ඇති බව පෙනිණි. ඒ සමඟම මේසය මත තබා තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකතනය ද අතුරුදන්ව තිබිණි. මේ රුසියානුවා සෙසු කාමරවල සිටින සිය මිතුරන්ට තමාගේ ජංගම දුරකතනය කිසිවෙකු විසින් සොරකම් කර ඇති බව කීය. එවිට කලබල වූ අනිත් රුසියානුවන් ද ඔවුන්ගේ ගමන් මලු සහ කබඩ් ආදිය පරීක්ෂා කර බලන විට ඔවුන් සතු ඩොලර් 3600 ක්, රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතනයක්, රිදී මාල දෙකක්, රිදී වළල්ලක් සහ මෙරට මුදල් රුපියල් විසි හත් දහසක් ඇතුළු රුපියල් එක් කෝටි අට ලක්ෂයක් වටිනා දේපොළ සොරකම් කර ඇති බව අවබෝධ කර ගත්හ.
පසුව ඔවුහු ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත මේ පිළිබඳව පැමිණිලි කළහ. ඒ අනුව ගාල්ල පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්නගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එස්. එල්. නාරංගොඩගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක නුවන් තරංග කොස්තාපල්වරුන් වන අරුණ (73009), ඉන්දික (73036), ගීතප්‍රිය (78828), පියබන්දු (81731), චාමර (36769), අසංක (37716) සහ වීරසිංහ (13446) යන කණ්ඩායම පරීක්ෂණ ආරම්භ කළේය.
ඒ අනුව මෙම පොලිස් කණ්ඩායම සිවිල් ඇඳුමෙන් සැරසී බූස්ස ප්‍රදේශයට ගොස් දින කීපයක් තිස්සේ එහි සැරිසරමින් තොරතුරු සොයා බලන ලදී. එහිදී බූස්ස ප්‍රදේශයේ පදිංචි සැක කටයුතු පුද්ගලයන් තිදෙනෙකු පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු විය. ඊට පසුව පොලිසිය එම තිදෙනාට නොදැනෙන පරිදි ඔවුන්ගේ ගමන් බිමන් යන එන තැන් මුදල් වියදම් කරන අන්දම ඇසුරු කරන පුද්ගලයින් ඇඳුම් පැලඳුම් ආදිය පිළිබඳ තොරතුරු සොයා බැලුවේය. එහිදී පෙරට වඩා මොවුන් තිදෙනා අතමිට දිගහැර මුදල් වියදම් කරන බව පොලිස් නිලධාරින්ට අවබෝධ විය. එමෙන්ම මෙම පුද්ගලයින් තිදෙනා හෙරොයින් පාවිච්චියටද තදින්ම ඇබ්බැහි වී ඇති අය බවද පොලිසිය කරන ලද විමර්ශනවලදී අනාවරණය කර ගැනිණි. මේ තිදෙනා රුසියානුවන්ගේ දේපොළ සොරකම් කර ඇති බව තහවුරු කර ගැනෙන්නේ ඉන් අනතුරුවය.
ඒ අනුව ප්‍රථමයෙන්ම 'මොහොමඩ් වසී' හෙවත් 'වසී' නමැත්තා පොලිස් කණ්ඩායම විසින් බූස්සේදී අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු 26 හැවිරිදි අයෙකි. ගාල්ල, ගිංතොට පදිංචිකරුවෙකු වූ 'වසී' පාසල් අධ්‍යාපනයෙන් පසුව සූපවේදියෙකු ලෙස රැකියාවක් කරමින් සිටින විට හෙරොයින් පානයට ඇබ්බැහි විය. හෙරොයින් පානයට අධිකව ඇබ්බැහි වීම නිසා අවසානයේ වසීට සූපවේදී රැකියාවට සමු දෙන්නට සිදු විය. රුසියානුවන්ගේ භාණ්ඩ සොරකම සම්බන්ධයෙන් වසී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේද ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රෑම් 5040 ක් සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය. අත්අඩංගුවට ගත් 'වසී'ගේ ප්‍රකාශ අනුව බූස්ස පන්සල පාරේ රුසියානුවන් නවාතැන් ගෙන සිටි සංචාරක නිකේතනයට ඇතුළුවී ඔවුන්ගේ දේපොළ සොරකම් කළ බවට සැකකරු පාපෝච්චාරණයක් කළේය. ඒ අනුව තවත් දෙදෙනකු මෙම සොරකමට සම්බන්ධ බව ''වසී'' පොලිසියට කියා සිටියේය. සොරකම් කරන ලද ඩොලර් 3066 ඔවුන් තිදෙනා සමසේ බෙදාගත් බව සැකකරු සඳහන් කළේය. එම ඩොලර්වලින් 1022 ක් "වසී"ට ලැබී තිබුණි. එය ඔහුගේ කොටස විය. එම ඩොලර් හබරාදුව නගරයේ වෙළෙඳ සැලකට ලබා දී මාරු කර දේශීය මුදල් ලබාගෙන තිබුණි. එමෙන්ම එම මුදල්වලින් වැඩි කොටසක් "වසී" වැය කර තිබුණේ හෙරොයින් පානය කිරීම සඳහාය. වැඩි දුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව විදේශිකයින්ගෙන් සොරකම් කරන ලද රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකතනය, රිදී මාල දෙක සහ රිදී වළල්ලද “වසී" ළඟ තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
එම සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැලක් දමන ලදී. ඒ අනුව 'කොරතොටදී' මෙම සොරකමේ දෙවන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමට හැකි විය. ගිංතොට පදිංචිකරුවෙකු වූ නුවන් සම්පත් හෙවත් 'ජෝන්' නමැති ඔහු 36 හැවිරිදි අයෙකි. මෙම සොරකමේ ප්‍රධානියා 'ජෝන්' නමැති මෙම සැකකරු බවද පොලිසිය අනාවරණය කර ගත්තේය. එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සොරකමෙන් ලැබුණ ඩොලර් තොගය අම්බලන්ගොඩ නගරයේ ස්ථාන දෙකකදී මාරුකර මෙරට මුදල් ලබා ගෙන තිබුණි. එහෙත් 'ජෝන්' සන්තකයේ තිබී ඩොලර් 900 ක් සොයා ගැනීමට පොලිසිය සමත් විය. එමෙන්ම පොලිසිය විසින් 'ජෝන්' අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රෑම් 5420 ක්ද සොයා ගෙන ඇත.
ඉන් අනතුරුව මෙම සොරකමේ තුන්වැනියා වන රවීන්ද්‍ර හෙවත් 'පොඩි රාජා' නමැති බූස්ස පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය. මොහුද තමාට ලැබුණ ඩොලර්වලින් කොටසක් අම්බලන්ගොඩ නගරයේ මධ්‍යස්ථානයකින් මාරු කර ගෙන තිබු අතර ඔහු ළඟ තිබී ඩොලර් 700 ක් පොලිසිය භාරයට ගෙන ඇත. 'පොඩි රාජා' සොරකම් කරන ලද මුදල්වලින් රුපියල් පනස් පන් දහසකට මිලදී ගෙන තිබූ ජංගම දුරකතනයක්ද පොලිසිය සොයා ගන්නා ලදී.
'වසී', 'ජෝන්' සහ 'පොඩි රාජා' යන තිදෙනාම ගාල්ල ගිංතොට පදිංචිකරුවන්ය. එකට පාසල් ගිය මොවුන් පාසලෙන් ඉවත් වීමෙන් පසුව සමාජ විරෝධී වැඩවලට සම්බන්ධ වූහ. අන්සතු දේපොල සොරකම් කිරීම, අධික ලෙස හෙරොයින් පානය කිරීමට පුරුදුවී සිටීම ද එම ක්‍රියාවන්ය. මොවුන් දිනකට රුපියල් පනස් දහසක පමණ හෙරොයින් පානය කිරීමට පුරුදුවී සිටියහ. එම නිසා කෙසේ හෝ මුදල් උපයා ගැනීම මොහුගේ එකම අරමුණ විය. ඒ සඳහා නිතර මුහුදු වෙරළේ ද සැරිසරමින් වංචනික ලෙස මුදල් සොයා ගැනීමට උත්සාහ කළහ. මොවුන් තිදෙනාටම ඉංග්‍රීසි භාෂාව හොඳට කතා කිරීමට ද හැකියාවක් තිබුණි.
සුමතිපාල දීයගහගේ
දකුණු පළාත් සංචාරක