රෝස්මරි නිදි ඇඳේ මියගිය රහස හෙළිවෙයි | සිළුමිණ

රෝස්මරි නිදි ඇඳේ මියගිය රහස හෙළිවෙයි

- සැමියාට විරුද්ධව දික්කසාද නඩුවකුත් පවරලා
- දියවැඩියා රෝගයේ සංකූලතා මරණයට හේතුව බව හෙළි කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය
- නිවෙසක උඩුමහලේ ජීවත්වුණේ තනියම

‘රෝස්මරි' හැටපස් හැවිරිදි වියේ පසුවූ නෙදර්ලන්ත ජාතික කාන්තාවකි. ඇය නෙදර්ලන්ත ජාතික කාන්තාවක් වුවද පදිංචිව සිටියේ ස්විට්සර්ලන්තයේය. 'රෝස්මරිට' එක් සහෝදරියක්ද සිටියාය. ඇය දෙතුන් වතාවක් මෙරට සුන්දරත්වය විඳ දරා ගැනීම සඳහා මෙරටට පැමිණියාය. අපේ රටේ සුන්දරත්වයට වහ වැටුණු 'රෝස්මරි' මෙරට පදිංචි වන්නේ ඉන් පසුවය. ඕ මුහුදුකරය ආශ්‍රිත නගරයක පිහිටි දෙමහල් නි‍ෙවසක කුලී පදනම මත පදිංචිව සිටියාය. 'රෝස්මරි' රැක බලාගනු ලැබුවේ මෙරට කාන්තාවක් විසිනි. ඇය රෝස්මරිගේ ඇප උපස්ථාන කටයුතු කළාය. 

'රෝස්මරි' මේ දෙමහල් නි‍ෙවසේ ඉහළ මාලයේ කාමරයක ලැගුම්ගෙන සිටියාය. ඇය විශාල වත්කමකට සහ දේපළකට උරුමකම් කීවාය. ඇයට ගමන් බිමන් යාම සඳහා වෙනම කාර්යක්ද තිබිණි. ඇය නැවතී සිටි කාමරය ද වායු සමීකරණය කොට තිබිණි. ඇය දියවැඩියා රෝගයෙන් ද පෙළුණාය. ඒ සඳහා ප්‍රතිකාර ලබාගත්තාය. එපමණක් නොව තමන්ට අවශ්‍ය බෙහෙත් පිටරටවලින් පවා ඇය ගෙන්වාගෙන තිබුණි. ඉන්සියුලින් විද ගැනීමට අවශ්‍ය කටු සිරින්ජරද ඇය සතුව තිබිණි. දියවැඩියාවට ප්‍රතිකාර ලබා ගන්නා ක්‍රමවේදය ද ඇය දැන සිටියාය. ඕ යම්කිසි පිළිවෙළකට අනුව දියවැඩියා රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්තාය.

ඇයට ඇප උපස්ථාන කළ කාන්තාවද සතියකට වරක් පැමිණ රෝස්මරිගේ ඇඳුම් පැළඳුම් සෝදා පිරිසිදු කොට ගේ දොර අස්පස් කොට පිටව ගියාය. එක්තරා දිනයක රාත්‍රියේ පැවති සිහින් පොද වැස්ස මොර සූරන වර්ෂාවක් බවට පත්වීමට වැඩි කාලයක් ගියේ නැත. පසුව පැවතියේ ධාරාණිපාත වර්ෂාවකි. අකුණු ගසමින් මහ වැසි ඇද හැළෙන්නට විය. පසුදින රෝස්මරිට ඇප උපස්ථාන කළ කාන්තාව සුපුරුදු ලෙස රෝස්මරි ලැගුම්ගෙන සිටි නි‍ෙවසට පැමිණියාය. නිවසේ දොර වසා තිබුණි. රෝස්මරිට කතා කළද ඇගෙන් කිසිම ප්‍රතිචාරයක් නොවීය.

“රෝස්මරි මට දින තුන හතරකින් කතා කළේ නැහැ... ගෙදර පිරිසිදු කරන්න ආවේ... නමුත් එයාගෙන් ප්‍රතිචාරයක් නැහැ...“ මෙහෙකාරිය නිවෙසේ අයිතිකරුට කීවාය.

රෝස්මරි නැවතී සිටි නිවෙසේ අයිතිකරුද ඇගේ සමීප මිතුරෙකි. නිවෙසේ අයිතිකරු මේ ගැන පොලිසියට දැනුම් දුන්නේය. ඉන්පසු පොලිස් නිලධාරින් පැමිණ රෝස්මරි ලැගුම්ගෙන සිටි නිවෙසේ ඉදිරිපස දොර විවෘත කොට නි‍ෙවසට ඇතුළු විය. රෝස්මරි කාමරය තුළ මියගොස් සිටියාය. පොලිසිය ඇගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යනු ලැබීය. මෙම නි‍ෙවසේ පදිංචිව සිටියේ රෝස්මරි පමණි. මේ නිසා ඇගේ අබිරහස් මරණය ගැන පොලිසියටද සැක ඇතිවී තිබුණි. කිසිවකු නි‍ෙවසට ඇතුළුවී ඇය මරා දැම්මාද? නැතිනම් ඇය දිවි හානි කරගත්තාද? නැත්නම් එය ස්වාභාවික මරණයක්ද යන ප්‍රශ්නවලට විසදුම් ලබාගත යුතුව තිබුණි.

ඉන්පසු පොලිසිය රෝස්මරි කාගේ කවුද? යන්න සහ ඇගේ පෞද්ගලික තොරතුරු සෙව්වේය. නිවෙසේ අයිතිකරුගෙන්ද ඇය නි‍ෙවසට පැමිණි කාල වකවානුව ආදි තොරතුරු පොලිසිය ලබා ගනු ලැබීය. රෝස්මරිගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරාය. අධිකරණ වෛද්‍යවරයා රෝස්මරි මියගිය නි‍ෙවසට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කරනු ලැබීය. ඇය මියගොස් සිටි කාමරය ද ඔහු පරීක්ෂා කළේය. කාමරය ඉතා පිළිවෙළකට තිබුණි. ඒ විතරක් නොව කලාත්මක නිර්මාණද නිවෙසේ තිබුණි. නිවෙසේ මිල අධික භාණ්ඩ සහ උපකරණ ද විය.

ඇය නවාතැන් ගෙන සිටි කාමරයේ අල්මාරිය පොලිස් නිලධාරින් සහ අධිකරණ වෛද්‍යවරයා පරීක්ෂා කරනු ලැබීය. එහි අධිකරණයේ විභාග වන දික්කසාද නඩුවකට අදාළ ලිපිගොනුවක් විය. එහි ඇගේ විවාහ සහතිකයද තිබුණේය. ඉන්පසු පොලිසිය මෙම ලියකියවිලි ගැන පරීක්ෂණයක් කරනු ලැබීය. රෝස්මරි සමඟ විවාහ වී සිටි පුද්ගලයා ගැනද තොරතුරු පොලිසියට ලබා ගැනීමට හැකි විය. ඉන්පසු තොරතුරු අනාවරණය වන්නේ මේ අයුරිනි.

රෝස්මරි පළමුවරට මෙරටට පැමිණ ඇත්තේ 2011 වර්ෂයේදීය. එහිදී දකුණු වෙරළ තීරයේ පිහිටි එක්තරා සංචාරක කලාපයකදී ඇයට මෙරට තරුණයකු දැන හඳුනා ගැනීමට හැකි වූවාය. ඇය එම තරුණයා සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගියාය. යළි ස්විට්සර්ලන්තය බලා ගිය රොස්මරි නැවත මෙරටට පැමිණෙන්නේ මෙම තරුණයා සමඟ විවාහ වීමේ බලාපොරොත්තුවෙනි. ඒ වන විට ඇය හැට හැවිරිදි වියේ පසු වූවාය. ඇය විවාහ වූයේ තිස් හැවිරිදි වියේ පසුවූ තරුණයකු සමඟය. විවාහ වීමෙන් පසු මෙම යුවළ මුහුදුකරය ආශ්‍රිත ගම්මානයක පදිංචි වූහ. වසර තුනකට අධික කාලයක් රෝස්මරි මෙකී තරුණයා සමඟ එකට ජීවත් වූහ. එම කාලය තුළදී ඇය මෙකී තරුණයාට ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා වාහන තුන හතරක් මිලදී ගෙන දුන්නාය. නමුත් රොස්මරිට මෙම තරුණයා සමඟ වසර තුනකට වඩා එකට පවුල් කෑමට හැකි වූයේ නැත. තරුණයා රෝස්මරි හැර දමා යන්නට ගියේය. එහෙත් රෝස්මරි මෙරට හැර දමා ගියේ නැත. ඒ වන විට ඇයට මෙරට මිතුරන් පිරිසක් වූහ. ඇය ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගියාය. තරුණයාද රොස්මරි සමඟ කිසිම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ නැත. ඔහු තම ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලැබීය. රෝස්මරි මේ අතර අධිකරණයේ දික්කසාද නඩුවක්ද පැවරුවාය.

එම නඩුව විභාග වන අතරේ තමන්ගේ සියලු වත්කම් විවාහක සැමියාට ලබාදී ඇති බැවින් තමන්ට මෙරට ජීවත්වීම සඳහා නඩත්තු මුදලක් ගෙවන ලෙස සැමියාට නියෝග කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. ඒ අනුව මෙම කාන්තාවට නඩත්තු මුදලක් ගෙවන ලෙස අධිකරණයෙන් විවාහක සැමියාට නියෝගයක් කොට තිබුණි. ඒ අනුව මාස් පතා ඔහු එම නඩත්තු මුදල ගෙවීමටද කටයුතු කළේය. රෝස්මරිගේ හදිසි මරණයත් සමඟ පොලිසියට පැමිණෙන ලෙස ඇගේ විවාහක සැමියාට දැනුම් දුන්නේය.

“මම කිසි දෙයක් දන්නේ නැහැ... පොලිසිය එන්න කියපු නිසා තමයි ආවේ... මට විරුද්ධව අධිකරණයේ දික්කසාද නඩුවක් විභාග වෙමින් පවතිනවා. අධිකරණයේදී තමයි එයා හමුවන්නේ... ඊට එහා දෙයක් මම දන්නේ නැහැ“ යැයි රෝස්මරිගේ විවාහක සැමියා පොලිසියට කීවේය. රෝස්මරිගෙන් වෙන්වීමට හේතුව අධිකරණ වෛද්‍යවරයා ඔහුගෙන් විමසීය.

“මා සමඟ ඇතිවු බහින්බස්වීමක් දුරදිග ගියා... ඊට පස්සේ මට ඇය කීවා නිවෙසින් පිටවෙන්න කියලා...“ යැයි සැමියා කීවේය.

එහෙත් විදේශීය කාන්තාව සතුව තිබූ නඩුවට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේදී එම ලේඛනවල සටහන්ව තිබුණේ වෙනත් කතාවකි. මොහු වංචනිකව මුදල් ලබාගෙන තමන් හැර දමා ගිය බව ඒවායේ සටහන්ව තිබිණි. එපමණක් නොව තමන් සැමියාට රුපියල් ලක්ෂ තිහ හතළිහක වාහන මිලදී ගෙන දුන් බවත් එම වාහන මිලදී ගෙන දුන්නේ සැමියාගේ නමට බවද එම ලේඛනවල සඳහන්ව තිබිණි. එසේම තමන් තුළ පැවති කාරුණිකභාවය උපයෝගි කරගෙන විවිධ පුද්ගලයින් තමන්ගෙන් මුදල් ලබාගෙන එම මුදල් තමන්ට ලබා නුදුන් බවද ඇය එම ලේඛනවල සටහන් කොට තිබුණේ ඔවුන්ගේ නම් ගම් ද සහිතවය.

ස්ථානීය පරීක්ෂණයෙන් පසු අධිකරණ වෛද්‍යවරයා රෝස්මරිගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය. ඇගේ සිරුර අධිකරණ වෛද්‍යවරයා විසින් බාහිරව පරීක්ෂා කරන ලදී. ගෙල සිරකොට තිබේද? බාහිරව තුවාල තිබේද? යන්න පිළිබඳ අධිකරණ වෛද්‍යවරයා ඉතා සියුම් ලෙස පරීක්ෂා කළේය. 

එහෙත් ඇගේ සිරුරේ කිසිම තුවාලයක් දක්නට නොවීය. මෙම කාන්තාව දියවැඩියා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඉතා හොඳින් ප්‍රතිකාර ලබාගෙන පාවිච්චි වී තිබුණි. “මා සමඟ ඉන්න විටත් මෙයාට එක් වතාවක් හොඳටම සීනි අඩු වුණා. සිහිය පවා නැති වුණා. නමුත් ඉන්සියුලින් එන්නත් කිරීමෙන් පසු තමයි සිහිය ආවේ“ යැයි සැමියා අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ කීවේය. දියවැඩියා රෝගී තත්ත්වය වෙනුවෙන් හොඳින් පාලනය වූ කෙනෙකු හදිසියේ මිය යාම අධිකරණ වෛද්‍යවරයාටද ප්‍රශ්නයක් විය.

“මෙම විදේශීය කාන්තාවගේ මුත්‍රා පරීක්ෂණයක් කළා. දියවැඩියාවට සම්බන්ධ රසායනික සංයෝග තියෙනවාද කියලා දැන ගන්න. මේ කාන්තාව අන්තිම දින කීපය තුළ දියවැඩියාව සඳහා නිසි අයුරින් ප්‍රතිකාර ලබාගෙන නොමැති බවට අපට සැකයක් ඇතිවුණා. සීනි ප්‍රමාණය දරුණු මට්ටමකට අඩු වෙන්න ඇති. ඒ අනුව තමයි මෙම කාන්තාව මිය යන්න ඇත්තේ. දේහයේ කොටස් සම්බන්ධයෙන් පටක පරීක්ෂාවක් කළා. මුත්‍රා සාම්පල සම්බන්ධයෙන් විස්තරාත්මක පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණ අනුව දියවැඩියා රෝගයේ සංකූලතාව නිසා තමයි මෙම තැනැත්තිය මියගොස් තිබුණේ. මෙය බැලූ බැල්මට සැක කටයුතු මරණයක් වුවත් අවසානයේ එය ස්වාභාවික මරණයක් බවට පත් වුණා“ යැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරා සඳහන් කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු රෝස්මරිගේ මළ සිරුර ඇගේ විවාහක සැමියාට ලබාදීමට කටයුතු කෙරිණි. ඔහු ඉතා උසස් අයුරින් ඇයට නිසි ගරුත්වය ලබා දී බිරියගේ අවසන් කටයුතු සිදු කරනු ලැබීය.

Comments