දෙමිතුරන් පස් යට යැවූ අයිස් හෙරොයින් හබය | සිළුමිණ

දෙමිතුරන් පස් යට යැවූ අයිස් හෙරොයින් හබය

රටේ නන් දෙසින් දින දින වාර්තා වන මිනිස් ඝාතනවල පෙනෙන්නට කිසිම අඩුවක් නැත. අමනුෂ්‍යයන් විලසින් හැසිරෙන අතළොස්සකගේ ක්‍රියාවන් මේ ඝාතනවලට පාදක වී ඇති ආකාරයක් දකින්නට ඇත. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියා මේ ඝාතනවලට ප්‍රධාන හේතුව වී ඇත.

ඉකුත් සතියේ 12 වැනිදා පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පොලිස් වසමේ හූරිමළුව ප්‍රදේශයෙන් වාර්තා වූයේ ඝාතනය කර වළ දමා ඇති පුද්ගල මළසිරුරු දෙකක් සොයා පොලිසිය කැණීමක් සිදු කරන බවයි. කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය සහ කෑගල්ල මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමන්ත විජේරත්න ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රඹුක්කන පොලිසිය සහ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරින් එක්ව එම සිරුරු ගොඩ ගන්නා ලදී. ඊට කෑගල්ල අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරීහුද එක්ව සිටියහ.

එලෙස තරුණයන් දෙදෙනෙකුගේ මළසිරුරු ගොඩ ගැනීමේ කතාවේ සුලමුල අනාවරණය කරගැනීමට හැකි වන්නේ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් දින හතක් සිදුකළ සූක්ෂ්ම විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්තගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකරගේ අධීක්ෂණයෙන් එම විමර්ශන පොලිස් පරීක්ෂිකාවක විසින් මෙහෙයවීම සුවිශේෂය. ඇය කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂිකා අප්සරා අබේසේකරය.

මීට මාස එකහමාරකට පමණ පෙරදී අතුරුදන් වූ බවට සැක කරන එම තරුණයන් දෙදෙනා සම්බන්ධව මාවනැල්ල පොලිසියටද පැමිණිලි ලැබී තිබුණ අතර එකී තරුණයන් ඝාතනයේ සුලමුල හෙළි වන්නේ මෙලෙසය.

මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆත් 26 හැවිරිදි තරුණයෙකි. ඔහු මාවනැල්ලේ කිරිංගදෙණියේ පදිංචිකරුවෙකි. අර්ෆත් හෙරොයින් පානයට දැඩිව ඇබ්බැහිව සිටි අයෙකි. එසේම ඔහු හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බවටද සැල වේ. සාදික් ඔහුගේ මිතුරෙකි. මාවනැල්ල නයාවල කෙරිමිණියවත්තේ පදිංචි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් 28 හැවිරිදි තරුණයෙකි. ඔහුද හෙරොයින් ජාවාරමේ නිරත හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙකි. විවාහකයකු වන අසාර්ගේ බිරිය මේ වන විට පස්මස් ගැබිනියකි. අර්ෆත් සහ අසාර්ද මිතුරන්ය.

තම පුත්‍රයා ඉකුත් වසරේ නොවැම්බර් 18 වැනිදා සිට අතුරුදන් යැයි අර්ෆත්ගේ මව මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් කළාය. ඒ අතරේ නොවැම්බර් 28 වැනිදා සිට මොහොමඩ් අසාර්ද අතුරුදන් බවට ඔහුගේ ඥාතින්ද මාවනැල්ල පොලිසියට පැමිණිලි කර තිබිණි. එම පැමිණිලි පිළිබඳ මාවනැල්ල පොලිසිය මූලික විමර්ශනයක් සිදු කළේය. කාලය ගතව ගියත් දෙදෙනාගේ අතුරුදන් වීම පිළිබඳව කිසිම හෝඩුවාවක් නොලැබිණි. මාසයකට අධික කාලයක් ගත වුවද පොලිසියට පවා මේ දෙදෙනා ආගිය තැන් සොයා ගැනීමට නොහැකි විය.

ඒ පසුගිය ජනවාරි මස 02 වැනිදායි. එදින කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ 39508 සැරයන් උපුල්ට සිය පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබිණි. එම තොරතුරුකරු සැරයන්වරයාගේ පාසල් මිතුරෙකි.

“උපුල් සාජන් මහත්තයා... ලොකු කේස් එකක් තියෙනවා... මාවනැල්ලේ කොල්ලෝ දෙන්නෙක් මීට මාසයකට විතර කලින් මරලා... රඹුක්කන හූරිමළුවේ ගෙදරක පිටිපස්සෙ වළ දාලා තියෙනවලු... මේක විශ්වාසවන්ත තොරතුරක්... හැබැයි ලීක් වෙන්න දෙන්න එපා...“

එලෙස තමන් ලද තොරතුර පිළිබඳව සැරයන් උපුල් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂිකා අප්සරා අබේසේකර දැනුවත් කෙළේය.

“උපුල්... එහෙනම් අපි බලමු මේක ඇත්තක්ද බොරුවක්ද කියලා...“ පොලිස් පරීක්ෂිකා අප්සරා එලෙස පවසා කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මේ පිළිබඳව දැනුවත් කළාය. අනතුරුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකරගේ අධීක්ෂණයෙන් එම තොරතුර පිළිබඳව සොයා බැලීමට පොලිස් පරීක්ෂිකා අප්සරා සැලැසුමක් සකස් කළාය. ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් මත ඊට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වෙනත් අංශයක නිලධාරියෙක් වන උපපොලිස් පරීක්ෂක කසුන්ගේ සහායද ලබා ගැනීමට පොලිස් පරීක්ෂිකා අප්සරා කටයුතු කළාය.

අනතුරුව විමර්ශන නිලධාරින් මුලින්ම සිදු කළේ ලද තොරතුරෙන් කියැවුණු පුද්ගලයන් දෙදෙනා නිශ්චිත ලෙසටම අතුරුදන් බව තහවුරු කරගැනීමයි. එහිදී මාවනැල්ල පොලිසියේ දින දෙකකදී දෙදෙනාගේ අතුරුදන් වීම ගැන පැමිණිලි සටහන් වී තිබිණි. ඒ මොහොමඩ් අර්ෆත් සහ මොහෙමඩ් අසාර්ය. මුලින් අතුරුදන් බවට පැමිණිල්ල ලැබී තිබුණේ අර්ෆත්ය. එම පැමිණිලි දෙක පිළිබඳව අවධානය යොමු කරද්දී එකී අතුරුදන් පුද්ගලයන් දැඩිව හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවත් ඔවුහු මත්ද්‍රව්‍ය ජාවාරමේද නිරත වන්නන් බව සිය පැමිණිලි සිදුකළ අයද පොලිසියට දන්වා ඇති බව අනාවරණය විය.

එසේම සැරයන් උපුල්ට ලැබුණු තොරතුරෙන් කියැවුණු මළසිරුරු දෙක වළ දමා ඇතැයි කියන රඹුක්කන හූරිමළුවේ එම නිවෙසද අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් නිවෙසක් බවය. එම අයිස් ජාවාරම්කරු ෆර්හාන් නමැත්තෙකි. ෆර්හාන්ගේ එම නිවෙස පිහිටියේ රඹුක්කන පොලිසියට මීටර් හත්අටසියයක දුරකිනි. විමර්ශන නිලධාරින්ට තවත් සිය පෞද්ගලික තොරතුරුකරුවන් මඟින් ෆර්හාන් ගැන අනාවරණය වූයේ ඔහු රඹුක්කන, කෑගල්ල පළාතට පමණක් නොව කුරුණෑගල, මැල්සිරිපුර, ගොකරැල්ල, නුවර, දිගන, වැලිඔය, මන්නාරම් වැනි බොහෝ පළාත්වලට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින මහා පරිමාණ ජාවාරම්කරුවකු බවයි.

වයස අවුරුදු 27ක් පමණ වන ෆර්හාන්ගේ බිරියද මීට වසර හතරකට පමණ පෙරදී දරුවන් දෙදෙනාද කැටුව ඔහු අතහැර ගොස් ඇත්තේ සැමියාගේ මේ ජාවාරම් නිසාය. බොහෝ කාන්තාවන් ඇසුරු කරන්නෙක් වන ෆර්හාන්ට සිය ජාවාරමට විවිධ පෙදෙස්වල සහායක මිතුරන්ද රැසක් සිටින බවත් එම මිතුරන් සහ ෆර්හාන් බීර සහ අයිස් පානයට දැඩිව ඇබ්බැහිව සිටින බවත් හෙළි විණි. ෆර්හාන්ගේ නිවෙස ඔහු ඇතුළු පිරිස කාබී විනෝද වන ජාවාරමේ මූලස්ථානයයි. සැරයන් උපුල්ගේ පෞද්ගලික තොරතුරුකරුට එම තොරතුර දී තිබුණේ තවත් පුද්ගලයෙකි. ඔහුට තොරතුර දෙන්නේ තවත් අයෙකි. එම පුද්ගලයාටද තොරතුර ලැබෙන්නේ සාදික් නමැත්තාගෙනි. සාදික් ෆර්හාන් ඇතුළු කණ්ඩායමෙන් ‘අනූනවයෙන්‘ බේරි පලා ගොස් ඔහු ලත් බිහිසුණු අත්දැකීමේ තොරතුර තිදෙනෙකු අතට ගොස් පොලිසියට ලැබීම විශේෂත්වයකි. සාදික්ගේ එම බිහිසුණු අත්දැකීමෙන් පසු ඔහු පලා ගොස් සැඟවී සිටියදී ඒ බව මිතුරෙකුට පවසා අතුරුදන් විය.

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් තවත් සිය පෞද්ගලික තොරතුරුකරුවන් ඔස්සේ හූරිමළුවේ මෙම නිවෙස ගැන සොයා බැලීය. එහිදී අනාවරණය වූයේ මෙම ඝාතන දෙකට හේතු වී ඇත්තේ අයිස් සහ හෙරොයින් ජාවාරම්කරුවන් අතර ගැටුමක් බවකි. එසේම අතුරුදන් පුද්ගලයන් එකී නිවෙසට ගිය බව තහවුරු වුවත් ඔවුන් එම නිවෙසින් නැවත ගිය බවක් අනාවරණය නොවිණි. එමඟින් වැඩිදුරටත් තරුණයන් දෙදෙනාගේ ඝාතන පිළිබඳ ලද තොරතුර සත්‍ය බව තහවුරු විණි.

මේ අතර එම නිවෙසේදී මේ තරුණයන් දෙදෙනා ඝාතනය කරන විටදී මර බියෙන් සලිතව එම නිවෙසේ සිටි සාදික් සොයා ප්‍රකාශයක් ලබාගැනීමට විමර්ශන නිලධාරින්ට හැකි වූයේ ඉකුත් අට වැනිදාය. එම අපරාධ කල්ලියෙන් අමානුෂික වධ වේදනා විඳි සාදික් සිය ඇඟ කිලිපොළා යන අත්දැකීම අකුරක් නෑර විමර්ශන නිලධාරින්ට පවසන්නට විය. ඉන් හෙළිදරව් වන්නේ මෙවැන්නකි.

සාදික්, අර්ෆත් සමඟ ඉකුත් නොවැම්බර් 19 වැනිදා රාත්‍රී 9ට පමණ හූරිමළුවේ ෆර්හාන්ගේ නිවෙසට යන්නේ අයිස් මත්ද්‍රව්‍ය ලබාගැනීමටය. එහෙත් අර්ෆත්ලා දැඩි හෙරොයින් ලෝලීන් මෙන්ම ජාවාරම්කරුවන්ය. ඒ දිනවල එම පළාත්හි හෙරොයින් හිඟතාව නිසා දෙදෙනා ගියේ අයිස් හෝ පානය කිරීමටය. ෆර්හාන්ගේ නිවෙසට යද්දී ඔහු තවත් පිරිසක් සමඟ අයිස් සහ බීර පානය කරමින් සිටියේය.

“ඇයි උඹලා අඩෝ මෙහේ ආවේ... මාව පාවලා දෙන්න නේද ආවේ... උඹලා කුඩුකාරයෝනේ... කුඩුකාරයෝ මොකටද මං ගාවට ආවේ...“ යැයි ෆර්හාන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට වූයේ දැඩි ස්වරයෙනි.

ඔවුන් දෙදෙනා ගොස් තිබුණේ හෙරොයින් නොමැතිකමේ ‘සික්‘ එක මත අයිස් හෝ පානය කරන්නටය. අනතුරුව එම පිරිස සාදික් සහ අර්ෆත් නිරුවත්කර අතපය, මුව ගැට ගසා පහර දෙන්නට විය. එසේ දෙදෙනාට පහර දෙමින් බීර සහ අයිස් පානය කරමින් ෆර්හාන් ඇතුළු පිරිස දෙදෙනා විඳින දුක් දෙස බලමින් විනෝදයක් ලබන්නට වූයේ අමනුෂ්‍යයන් විලසිනි. රැය පුරා එසේ පහර කෑ දෙදෙනාගෙන් අර්ෆත් පසුදා පාන්දර වෙද්දී වතුර ඉල්ලුවේ කෙඳිරි ගාමිනි.

“වතුර දෙන්න මෙහෙට වරෙන්...“ ෆර්හාන් නිවෙසේ තිබූ සෝෆා සැටියේ වාඩිවී සිටි ස්ථානයට අර්ෆත්ට කතා කළේය. අර්ෆත් බඩගා එම ස්ථානයට ඇදී ගිය අතර ඔහුගේ කටට වතුර පොදක් හැළුවේය. ඒ සමඟම අර්ෆත් නිහඬ වූ බව සාදික් පොලිසියට කීවේය. ඒ සාදික්ගේ දෙනෙත් ඉදිරියේ නොවැම්බර් 20දා අලුයම අර්ෆත් මියගිය ආකාරයයි.

“ඕකා බොරුව කරන්නේ... මුකුත් වෙලා නෑ... ගහපන් පාර දහයක්...“ යැයි කියමින් ෆර්හාන් අසල සිටි සගයකුට හෝස් බටයක් දුන්නේය. ඔහු එම බටයෙන් ගණිමින් අර්ෆත්ගේ යටි පතුල්වලට පහර දුන්නේය. එසේ දසවධ විඳිමින් සිටි අර්ෆත්ගේ සිරුරේ දෙනෙත් ඉහළින් කපා දමන්නට තරම් ෆර්හාන් නරුමයෙක් වූ බව සියල්ල දුටු සාදික් පොලිසියට පැවැසීය. එසේ දෙදෙනාටම 20 වැනිදා අලුයම තෙක්ම දස වධ දුන්නෝය.

“දැන්නම් මූ මැරිලා වගේ...“ එසේ කියූ ෆර්හාන් ඇතුළු පස්හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායම අර්ෆත්ගේ පපුව තෙරපන්නට වූයේ කෙසේ හෝ පණ ගැනීමේ අටියෙනි. ඒ අතරේ මුව ගැටගසා සිටි සාදික්ගේ මුව විවර කළේය.

“මූට කටින් හුස්ම දීපන්...“ ෆර්හාන් සාදික්ට කීවේය. ඔහු මුවෙන් හුස්ම දුන්නත් ඒ වන විට අර්ෆත් මෙලොව හැර ගොස්ය.

“ඒයි දැන් කරන්න දෙයක් නෑ... අපි ඌට ගැහුවේ මැරෙන්න නෙවෙයි... උඹ අපිත් එක්ක එකෙන්ම ඉන්නව නේද?“ ෆර්හාන් සාදික්ට කීවේය. පණ බයෙන් සලිතව සිටි සාදික්, ‘ඔව්... මං ඉන්නවා‘ යැයි කියමින් ෆර්හාන්ගේ බසට අවනත වූයේ නැතිනම් ඔහුටත් එම ඉරණමම අත්වන බවට වූ බිය නිසාය.

අනතුරුව අර්ෆත්ගේ සිරුර දෙකට නවා සෙලෝපේන්වල ඔතා ශීතකරණය පිටුපසට දැමීය. පසුදා 20 වැනිදා පාන්දරම සාදික් කැටුව නිවෙසෙන් පිටව ගිය ෆර්හාන් හූරිමළුව මාර්ගයේ පිහිටි පාළු නිවෙසක කොන්ක්‍රීට් තට්ටුව මතට ගොඩ විය. ෆර්හාන් විසින් සාදික්ව එදින දවස පුරාම එම නිවෙසේ රඳවාගෙන සිටීමෙන් පසුව සවස 5.30ට පමණ නැවත අර්ෆත් ඝාතනය කළ නිවෙසට පැමිණියේය.

ඒ වන විට ෆර්හාන්ගේ මිතුරන් පිරිස දිය නා පිරිසුදු වී සිටින බව සාදික් දුටුවේය. එම නිවෙසට ඇතුළු වෙද්දීම සාදික් දුටුවේ නිවෙසේ කොනක මඩ තැවරුණු සවලක් සහ උදැල්ලක් තිබෙන අයුරකි. එසැණින් සාදික්ට සිහිපත් වූයේ මෙකී පිරිස සිය මිතුරු අර්ෆත්ගේ සිරුර වළ දමන්නට ඇතැයි කියාය. කිසිවක් අසන්නට හෝ ප්‍රශ්න කරන්නට තරම් ඔහුට හැකියාවක් නැත. එම නිවෙසේ සාදික් රඳවා සිටියේ අතපය සහ මුවද ගැට ගසා දමාය. කිසියම් කෙනෙකු අයිස් ජාවාරමට නිවෙසට පැමිණෙද්දී ෆර්හාන් සාදික්, ඒසී සහිත සුඛෝපභෝගී නිදන කාමරයට දමා දොර ‘ලොක්‘ කරන්නේය.

එසේ දවස් කීපයක් ගත විය. සාදික් මෙන්ම අර්ෆත්ගේ මිතුරෙක් වන මොහොමඩ් අසාර්ද හෙරොයින් නොමැති නිසා අයිස් සොයා එම නිවෙසට පැමිණි ආකාරයක් කාමරයේ රඳවා සිටි සාදික්ට කටහඬින් හඳුනාගත හැකි විය. අසාර් පැමිණ තිබුණේ ෆල්සර් වර්ගයේ යතුරුපැදියකිනි. ඔහු පැමිණි දිනය නොවැම්බර් 25 වැනිදා රාත්‍රියයි. අසාර් පැමිණෙද්දී ෆර්හාන් නිවෙසේ නොසිටියේය. අසාර්ද එදින රාත්‍රියේ ෆර්හාන්ගේ මිතුරන් සමඟ බීර සමඟ අයිස් පානය කළේය.

අසාර් පසුදා එනම් 26 වැනිදා පාන්දර පිටව ගියේය. එහෙත් ෆර්හාන්ගේ මිතුරන් අසාර් පැමිණි යතුරුපැදිය තබා ගත්තේය. අසාර් නැවත එදින සවස පැමිණියේ යතුරුපැදිය රැගෙන යාමටය. ඒ මොහොතේ ෆර්හාන් සිටියේය.

“එයි අසාර්... උඹේ මල්ලි මගෙන් බඩු අරන් ගිහින් තියෙනවා... මට ලක්ෂ එකහමාරක් දෙන්න තියෙනවා... උඹලා ඒක දෙන්නෙත් නැතිව මාව පාවලා දෙන්නද මෙහාට ආවේ...“ යැයි පවසමින් ෆර්හාන් ඔහුටද වධ දෙන්නට පටන්ගත්තේය. එලෙස අසාර්ටද දස වධ දීම ආරම්භ කිරීමත් සමඟ ඔහුගේ විලාපයද සාදික්ට ඇසෙන්නට විය. සාදික් කිසි විටෙක එම නිවෙසේ රඳවා සිටි අසාර් සියැසින් නුදුටු බව පොලිසියට හෙළි කළේය.

එලෙස අසාර්ටද දින තුනක පමණ කාලයක් නොසෑහෙන සේ වධ දී තිබිණි. දින තුනකට පමණ පසු එක්වරම අසාර්ගේ හඬද නිහඬ වූ ආකාරය කාමරයේ රඳවා සිටි සාදික්ට හැඟිණි. ඒ සමඟම සාදික්ට ඒත්තු යන්නට වූයේ අසාර්ටද සිය මිතුරු අර්ෆත්ට වූ අවාසනාවම අත්වී ඇති බවයි. ඒ අනුව අසාර්ද ෆර්හාන් ඇතුළු කණ්ඩායමේ ගොදුරක් විය. එසේ අසාර්ගේ නිහඬතාව ඇතිවූ දින සාදික්ට ෆර්හාන් කතා කළේය. “උඹ අපිත් එක්ක දිගටම ඉන්නව නේද? අපිට වැඩක් තියෙනවා... උඹත් හිටපන් අපිත් එක්කම..“ තමාටද සිය මිතුරන්ට අත්වූ ඉරණමම අත්වේයැයි බියෙන් සලිතව සිටි සාදික් එකපයින් එම යෝජනාවට එකඟ වූයේ කළ හැකි වෙනත් යමක් නොමැති හෙයිනි.

“ඔව් මම උඹලත් එක්ක ඉන්නවා...“ සාදික් කීවේය.

අනතුරුව ෆර්හාන් සමඟ සිටි පිරිස සාදික්ට කීවේ, ‘උඹගේ යාළුවා අර්ෆත් එදා මැරුණට අපි උගේ බොඩිය වැලලුවේ නෑ... අද තමයි වළ දාන්නේ...‘ යැයි කියාය.

පිරිස එක්ව එදින අලුයම 1ට පමණ වළ කපන්නට වූයේ නිවෙසේ පිටුපසයි. වළ කැපීමේ කර්තව්‍ය අවසන් වී තිබුණේ අවට තිබූ පල්ලියේ ශබ්දය ඇසෙන විට එනම් පාන්දර 5.30ට පමණය. ෆර්හාන්ගේ මිතුරෝ පොලිතින්වල ඔතන ලද සිරුරක් රැගෙන ආවේය. සාදික්ට කීවේ ඔහු සමඟ පැමිණි මිතුරාගේ සිරුර වළ දමන බවයි. එහෙත් එදා මිතුරු අර්ෆත් මිය යන ආකාරයත් ඔහුගේ සිරුර දෙකට නවා පොලිතින්වල එතු අයුරුත් සාදික් හොඳින්ම දුටුවේය. එහෙත් මේ අවස්ථාවේ වළ දමන්නට රැගෙන ආවේ පොලිතින්වලින් දිගට ඔතන ලද මළසිරුරකි. ඉන් සාදික්ට ගම්‍ය වූයේ මෙකී මළසිරුර අර්ෆත්ගේ නොව එදින ඝාතනය කරන ලද අසාර්ගේ විය යුතු බවටයි.

“මේක අර්ෆත්ගේ බොඩි එක... අදයි වළ දාන්නෙ... මේක කාටවත්ම කියන්නෙ එහෙම නෑ...“ ඒ සමඟම ෆර්හාන්, අසාර් ගැන කියමින් ඔහු රෝහල්ගත කළ බවටද බොරු බේගලයක් ඇද බෑවේය.

එම සිදුවීම්වලින් පසු ෆර්හාන් දින කීපයක්ම සාදික් රැගෙන එහෙ-මෙහෙ ගියේය. සති තුනක් පමණ එලෙස ගතවෙද්දී ෆර්හාන් කිසියම් ප්‍රදේශයකට සාදික් සමඟ ගොස් සිටියදී ෆර්හාන්ට දුරකතන ඇමතුමක් ලැබුණේ ඔහුගේ අනියම් බිරිය අසනීප වී ඇතැයි කියාය. අනතුරුව එක් ගෝලයෙක් සමඟ සාදික් නතරකොට ෆර්හාන් තවත් ගෝලයෙක් සමඟ එහි ගියේය.

ඒ අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගත් සාදික් එම ගෝලයාගෙන් මිදී පලා ගියේය. ඒ සමඟම සාදික් එම බිහිසුණු අත්දැකීම අකුරක් නෑර මිතුරෙකුට පවසා අතුරුදන් වූයේය. අනතුරුව එම තොරතුර, තොරතුරුකරුවන් ඔස්සේ සැරයන් උපුල්ට ලැබුණේ අපරාධයක් කළහොත් කිසිදා වසන් කළ නොහැකි බව පසක් කරමිනි.

සාදික්ගේ මේ ප්‍රකාශයෙන් පසු සියල්ල තහවුරු කරගත් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් අංක 58, හූරිමළුව රඹුක්කන ලිපිනයේ අදාළ නිවෙස සොයා ගියේ සිරුර වළ දැමු ස්ථානය පරීක්ෂාවටයි. ඒ ඉකුත් 9 වැනිදායි. එසේම ප්‍රධාන සැකකරු ෆර්හාන් නිවෙසේ සිටිතැයි සිතූ විමර්ශන නිලධාරින් එදින නිවෙස වැටළුවේය. නිවෙසේ කිසිවෙක් නොවීය. සිරුරු වළ දැමුවේ යැයි කියූ ස්ථානය කොන්ක්‍රීට් ස්තරයක් දමා නව කුකුළු කූඩුවක්ද ඉදිකර තිබූ ආකාරයක් දිස් විය.

කිසිවෙක් නොසිටි නිවෙස පරීක්ෂාවේදී සියල්ල අස්පස් කරගෙන ගොස් තිබුණේ නැවත පදිංචි නොවීමේ අරමුණෙනි. ඒ අනුව විමර්ශන නිලධාරින්ගේ සැකය වූයේ සාදික් පලා ගිය සැණින් මෙකී අපරාධය ‘ලීක්‘ වේයැයි සිතා පිරිස නිවෙස අතහැර යන්නට ඇතැයි කියාය.

පසුව ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරද්දී අදාළ ස්ථානයේ ඇතැයි සඳහන් වූ මළසිරුරු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ සමඟම ඉකුත් 12 වැනිදා සහ 13 වැනිදා එම ස්ථානයේ කැණීම් කිරීමත් සමඟ අර්ෆත්ගේ සහ අසාර්ගේ මළසිරුරු ගොඩ ගත්තේ රඹුක්කන, මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කම්පාවට පත් කරවමිනි. පළමු දින 12 වැනිදා හමු වී තිබුණේ අසාර්ගේ සිරුරයි. පසුදා මුලින් ඝාතනය කළ අර්ෆත්ගේ සිරුර හමු විය.

දිගින් දිගටම සැකකරුවන් සොයා විමර්ශන සිදුකළ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් මෙකී ද්විත්ව ඝාතනයට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 15 වැනිදා මාවනැල්ලේදී සහ වැලිඔයදී අත්අඩංගුවට ගන්නා ලදී. ඒ මාවනැල්ලේ පදිංචි 30 හැවිරිදි මොහොමඩ් රිකාස් සහ කුරුණෑගල අයකු වන වැලිඔය පදිංචි 29 හැවිරිදි සජිත් මධුමාල්ය. වැලිඔය සජිත්ගේ බිරියගේ නිවෙසේ තිබී අසාර් පැමිණි WP WF 4323 දරන පල්සර් යතුරුපැදිය, හිස් වැසුම සහ යතුරුපැදියේ ලිපි ලේඛනද පොලිසිය සොයා ගත්තේය. මොවුන් දෙදෙනා හෙළිකර තිබුණේ අර්ෆත් සහ අසාර් පහරදී ඝාතනය කළ බවත් ඊට ෆර්හාන් සමඟ හයදෙනෙකු එක්වූ බවයි. සජිත් ෆර්හාන්ට එක්වී ඇත්තේ ඔහු මන්නාරමේ ආයුර්වේද නිෂ්පාදන අලෙවි කිරීමට නියෝජිතයකු ලෙස ගොස් සිටියදී හඳුනාගත් ෆාහිඩ් මාර්ගයෙනි. ෆාහිඩ්, ෆර්හාන්ට කේජී ගංජා සැපයූ අයෙකි.

දැනඋගත් තරුණයකු වන සජිත් 2022 වසරේ මාර්තු මාසයේ ෆර්හාන් හඳුනා ගැනීමත් සමඟ දැඩිව අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව පසුව ආයුර්වේද නිෂ්පාදන වෙනුවට අයිස් මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට සම්බන්ධ වී ඇත. සාදික් පලා ගොස් තිබුණේ සජිත් සමඟ සිටියදීය. සාදික් පලා යාම නිසා උරණ වූ ෆර්හාන් සජිත්ටද දසවධ දී ඇත. එම නිසා සජිත්ට සිදුවූ තුවාල තවමත් තිබේ. අසාර් පැමිණි යතුරුපැදිය වැලිඔය රැගෙන ගොස් සඟවා තබන ලෙස ඔහුට පවසා ඇත්තේ ෆර්හාන්ය.

ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ෆර්හාන් ඇතුළු සෙසු සැකකරුවන් සොයා වැඩිදුරටත් විමර්ශන සිදු කෙරෙද්දී ඔවුන්ට රටින් පලා යාමට නොහැකි වන ලෙස ගුවන් ගමන් තහනමක්ද ලබා ගැනීමට විමර්ශන නිලධාරින් කටයුතු කර ඇත.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්තගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකරගේ අධීක්ෂණයෙන් පොලිස් පරීක්ෂිකා අප්සරා අබේසේකර සහ උපපොලිස් පරීක්ෂක කසුන් විතානාරච්චි, සැරයන්වරුන් වන 39508 උපුල්, 27226 සුමිත්, 27227 අමරසිංහ, 60416 සංජීව, කොස්තාපල්වරුන් වන 69773 බණ්ඩාර, 66978 කරුණානායක, 85316 සමරනායක, 69319 රොෂාන්, 70133 චමින්ද, 75291 බණ්ඩාර, කොස්තාපල් රියැදුරු 16054 මහේෂ් නිලධාරිහු විමර්ශනවලට එක් වූහ.

ඡායාරූප - චමින්ද ජයලත් (කෑගල්ල විශේෂ)

Comments