කල්පිටියෙන් මට්ටක්කුලියට එන ‘අයිස්’ සැක දෙදෙනාම රිමාන්ඩ් | සිළුමිණ

කල්පිටියෙන් මට්ටක්කුලියට එන ‘අයිස්’ සැක දෙදෙනාම රිමාන්ඩ්

අයිස් මත්ද්‍රව්‍ය පොලිස් නිලධාරීන් පරීක්ෂා කරමින්

- ප්‍රධාන සැකකරු මට්ටක්කුලියේ පදිංචිකරුවෙක්
- රුපියල් කෝටි දෙකක බඩු ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට
- ඔත්තුව ලැබුණේ කල්පිටිය විශේෂ කාර්යාංශයට

න්දියාවේ සිට මෙරටට ධීවර යාත්‍රා මඟින් නීති විරෝධි ලෙස භාණ්ඩ රැගෙන ඒම දිනෙන් දින වැඩි වන බවක් දක්නට ඇත. මෙසේ ගෙන එන භාණ්ඩ අතර රෙදිපිළි, කුළුබඩු වර්ග, බීඩි කොළ, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොග ගණනින් තිබීම ද සුවිශේෂිය. මෙසේ නීති විරෝධී ලෙස විශාල වශයෙන් මෙරටට භාණ්ඩ රැගෙන එන්නේ වයඹ මුහුදු තීරය ඔස්සේය. මේ වන විට වයඹ වෙරළ ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරාම් දිනෙන් දින ඉහළ යන බව පොලිස් බුද්ධි අංශ විසින් සිදු කරනු ලබන විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය නොයෙකුත් මුහුණුවරින් විවිධ අවස්ථාවල සමාජගත වේ. කුමන ආකාරයෙන් මෙරට සමාජයට මත්ද්‍රව්‍ය පැමිණියත් ඒවායින් සමාජයට සිදුවන හානිය මෙතෙකැයි කියා නිම කළ නොහැක.

මෑත කාලයේදී සමාජය තුළ ආන්දෝලනයන් ඇති කරන්නේ අයිස් මත්ද්‍රව්‍යයයි. වෙනත් මත්ද්‍රව්‍යවලට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය සමාජය තුළ ව්‍යාප්ත වීම ඉතා ශීඝ්‍රයෙන් සිදුවිය. අයිස් මත්ද්‍රව්‍ය මේ වන විට නගරයෙන් ගමට පැමිණ ගම්දනව් සිසාරා ද ව්‍යාප්ත වී හමාරය.

පාසල් සිසු දරුවන්ට ද ඉන් එල්ල ‍වී ඇත්තේ දැඩි බලපෑමකි. ලෝකයේ පවතින බලවත්ම මත්ද්‍රව්‍ය වන 'අයිස්' වෙනත් මත්ද්‍රව්‍යවලට වඩා ඉතා වේගයෙන් ශරීරගත වීම ද විශේෂත්වයකි. මින් ක්ෂණිකව ලැබෙන උත්තේජනය හේතුවෙන් සහ සෙසු අයට නොදැනෙන සේ ඉතා පහසුවෙන් ලැබෙන්නා වූ උත්තේජනය හේතුවෙන් සහ සෙසු අයට නොදැනෙන සේ ඉතා පහසුවෙන් මෙහි ආස්වාදය ලබා ගැනීමට හැකි වීම ද අයිස් මත්ද්‍රව්‍ය ප්‍රබල ලෙස ව්‍යාප්ත වීමට තවත් එක් හේතුවක් බව හඳුනාගෙන තිබේ.

එමෙන් ක්ෂණිකව ශරීරගත වීම හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ ද සුළුපටු නොවේ.

මේ වන විට අයිස් මත්ද්‍රව්‍ය රටපුරා ව්‍යාප්ත වීම වැළැක්වීමට පොලිසිය ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතන දැඩි ආරක්ෂිත පියවර ගෙන තිබේ.

විශේෂයෙන් මුහුදු මාර්ගය ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට වෙරළ ආශ්‍රිතව දැඩි රැකවල් යොදා ඇත.

විශේෂයෙන් කල්පිටිය මුහුදු තීරය ඔස්සේ නිරන්තරයෙන් නීති විරෝධී ක්‍රියා සිදුවන හෙයින් කල්පිටිය පොලිසිය සහ බුද්ධි අංශය ද විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරමින් සිටී. කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් පැය 24 පුරා ප්‍රදේශයේ සැරිසරමින් රාජකාරියේ නිරත වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාය.

මේ අතර පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන්ට තොරතුරක් ලැබෙන්නේ මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන එන අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹට ප්‍රවාහනය කිරීමට සැලසුම්කර ඇති බවටය.

ඒ අනුව කල්පිටිය පොලිසියට අනුයුක්ත විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති මධුරංග ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත තම කණ්ඩායම සීරුවෙන් තැබීමට කටයුතු කෙළේය. මේ අතර ඔවුන්ට තොරතුරක් ලැබෙන්නේ කල්පිටිය සිට කොළඹ දක්වා ප්‍රධාන මාර්ගය ඔස්සේ ත්‍රීරෝද රථයකින් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යාමට සැලසුම් කර ඇති බවටයි. ඒ ඉකුත් නවවැනි දිනය.

ඒ අනුව රුපියල් කෝටි තුනකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් රහසිගත ලෙස සඟවා කල්පිටියේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ කල්පිටිය සින්නකුඩිරිප්පුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නේ ඉකුත් නවවැනි දින සවසය.

කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු සහ කල්පිටිය‍ 'තෝරඅඩිය' ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය කිලෝ දෙකක් වන අතර ඒවා ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් කල්පිටියට ධීවර යාත්‍රා උපයෝගි කර ගනිමින් රැගෙනවිත් මෙසේ කලක සිට ජාවාරමේ නිරත වී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 20,000ක්, ජංගම දුරකතන දෙකක් පොලිස් භාරයට ගෙන තිබු අතර සැකකරුවන් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වයි. එම්. සෙනෙවිරත්නගේ සහ පුත්තලම කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් හේසිරිගේ උපදෙස් මත කල්පිටිය පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.වී.එස්. මුණසිංහ, පොලිස් විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුරංග, පොලිස් සැරයන් 61578 බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් වැටලීම සිදුකරන ලදී.

Comments