ආදරය වෙනුවෙන් දිවිදුන් සුජාතා | සිළුමිණ

ආදරය වෙනුවෙන් දිවිදුන් සුජාතා

- චමින්ද සමඟ අමනාපයෙන් තිනියාවල නිවෙසට ආ සුජාතා ඝාතනය වන්නේ නිවෙස ඇතුළේ
- දෙවැනි සැමියාගේ පිහි පහරෙන් දෙදරු මව ජීවිතක්ෂයට

“සේරම අමතක කරලා ගෙදර යමු දෝනි. සත්තයි. මං ආයි පාරක්වත් ගහන්නෙ නෑ උඹට...“ චමින්දගේ හඬ බෙහෙවින්ම ආයාචනාත්මකය. “මං සැරයක් කිවුවනේ. මොකටද මාව හොයාගෙන ආවේ? ආපු අතක් බලාගෙන යනවා යන්න...“ චමින්ද, සුජාතාට ඇවිටිලි කළ පළමු අවස්ථාව මෙය නොවේ. ඔහු කීප විටක්ම ඇයට කන්නලව් කළේ තමා සමඟ යළි පැමිණෙන ලෙසය. එහෙත් ඇගේ හිත ගලක් මෙන් දැඩිය.

“මට ආයිත් කරදර කරන්න නං එන්න එපා... පිං සිද්ධ වෙයි. මට මගේ පාඩුවේ ඉන්න ඉඩ දෙනවා...“ සුජාතා මෙලෙස වියරු වැටී සිටින්නේ චමින්ද ඇයට පහර දුන් නිසාය. ගෙවුණු වසර දොළහක කාලය තුළම සුජාතාත් චමින්දත් අතර නිතර දෙවේලේ සුළු සුළු ගැටුම් ඇති වුණේ ඇගේ හිතුවක්කාරි ක්‍රියා චමින්ද අනුමත නොකළ නිසාය. 

චමින්දත් සුජාතාත් පදිංචිව සිටියේ හිනිදුම පොලිස් වසමේ 'හීන්ගල්ගොඩ' කුඩා ගම්මානයේ එළවළු ගෙදර ලිපිනයේය. විවාහ නොවුණත් පෙර ඇසුර තිබූ මේ දෙදෙනාටම එක් දරුවෙකු බැගින් සිටින නමුත් එම දරු පවුල් අතහැර මොවුන් දෙදෙනා විවාහ වූයේ යළි කිසි දින වෙන් නොවන අදිටනින් යුතුවය. ඔහු ඇයට ආදරයට ඇමතුවේ 'දෝනි' යන හුරතල් නාමයෙනි.

සුජාතා පෙර සැමියා සමඟ අනියම් ඇසුරක් ගොඩනඟාගෙන ඇතැයි චමින්ද සිතන්නට වූයේ ඇගේ හැසිරීමේ යම්කිසි වෙනසක් දැක ගැනීමට ලැබීමත් සමඟින්ය. දිනෙන් දින ඒ සැකය වැඩි වූවා මිස අඩුවක් නොවුණේ සුළු දෙයටත් ඔහු ඇය සමඟ රණ්ඩු සරුවල් ඇති කර ගැනීමට පෙලඹුන බැවිනි. කෙසේ වුවත් සුජාතාද ඔහු සමඟ කට ගහගෙන යන බැවින් මෙම ආරවුල් දිග්ගැස්සෙනවා මිස සමථයකට පත් වීමක් නොවිණි.

පසුගිය 30 වැනිදා ද චමින්ද සුජාතා සමඟ ආරවුලක් ඇති කරගත්තේ ඔවුන් ගිය ගමනකදී ඇය වෙනත් පිරිමියකු සමඟ කතා කරමින් සිටිනු දුටු නිසාය. ඇගේ එකට එක කියා ගැනීම නතර කිරීමට ඔහු කළේ ඇයව පාරේ පෙරළාගෙන පහර දීමය. පහර කෑමෙන් බරපතළ තුවාල නැතත් සුජාතා ගොස් හිනිදුම රෝහලේ නතර වූවේ චමින්දට පාඩමක් ඉගැන්වීමට විය යුතුය.

ඇයට බෙහෙවින් ආදරය කළ චමින්ද ඇය බැලීමට රෝහලට ගොස් පැවසුවේ නැවත ගෙදර පැමිණෙන ලෙසය. එහෙත් සුජාතා චමින්දගේ ඉල්ලීම පිළිගැනීමට සූදානම් වූවේ නැත. ඇය පසු දින රෝහලෙන් පිටවී ගියේ තම බාල සහෝදරයා සමඟය. ඒ මව සහ බාල සහෝදරයා පදිංචිව සිටින තිනියාවල පොලිස් වසමේ, බටහේන, ඉහළ හෙවෙස්ස තේ වත්තේ නිවෙස වෙතය. එම නිවෙසේ 24 හැවිරිදි අවිවාහක බාල සහෝදරයාත් බාල සහෝදරියත් හැට හැවිරිදි මව සමඟ පදිංචිව සිටින අතර සුජාතා එහි ගියේ ඇගේ දස හැවිරිදි දියණියද කැටුවය. අක්කර 17 ක් පමණ විශාල මෙම තේ වත්තේ බ්ලොක් ගල්වලින් බඳින ලද නිවෙසක් ඔවුන්ට වතු හිමියා විසින් ලබා දී ඇත. එහි පදිංචිව සිටින මේ පවුල ජීවත් වූවේ වත්තේ කුලී රැකියාවල යෙදෙමින්ය.

මින් පසුවට නම් චමින්දගේ හෙවණැල්ලක්වත් එපා යැයි සිතාගත් සුජාතා එම තේ වත්තේ කුලි වැඩක් සොයා ගත්තේ මල්ලිට වුවත් බරක් වීමට තිබූ අකැමැත්ත නිසාය. ඉක්මන් කෝපයට කුමක් කළත් සුජාතා සහ දියණිය නැති නිවෙස පිරී ඇත්තේ මූසල පාළුවකින්ය. ඔහු ඇය සොයා මීට පෙර කිසි දින නොගිය ඇගේ මවගේ නිවෙසට ගියේ ඒ නිසාය. ඒ පසුගිය දෙවැනිදා පෙරවරුවේය.

"මං තමුසෙත් එක්ක එන්නෙ නෑ. නෑ... කිවුවොත් නෑම තමයි. තමුසෙගෙ අතපයවල හිරි ඇරගන්න හිතාගෙන ඉන්නෙ මට තඩි බාලද. මං කවුරු කියලද? දන්නෙ නෑ ඒ...“ සුජාතා චමින්ද ප්‍රතික්ෂේප කළේ වරක් දෙවරක් නොවේ. ඇය ඔහුට බැණ වැදුණේ නිවැසියන් ඉදිරිපිටමය. “මං ආයි ඔයාට පාරක්වත් ගහන්නෙ නෑ 'දෝණි'. ගෙදර යං. මට හරි පාළුයි උඹ නැතුව...“ චමින්ද එලෙස බැගෑපත් වූයේ සුජාතාගෙන් තොර ලෝකයක් ඔහුට නොමැති බැවිනි.

“උඹට වඩා මගෙ කලින් මිනිහා දාහෙන් සම්පතක් මට. හිතන්න එපා. මං උඹත් එක්ක ආයි එයි කියල. බම්බු ගහගනිං දැං. මං ඒ මිනිහත් එක්ක යනවා...“ සුජාතා එකහෙළාම චමින්ද ප්‍රතික්ෂේප කළේ ඔහුව තඹ දොයිතුවකට මායිම් නොකරමිනි.

“ඇත්තටමද උඹ ඔය කියන්නෙ...“ චමින්ද සුජාතාගෙන් අසන්නේ ඇගෙන් තීරණාත්මක පිළිතුරක් බලාපොරොත්තුවෙනි. “ඔව්... ඇත්තටම තමයි. උඹ මොනව කරන්නද..?“ සුජාතා චමින්දට එලෙස පිළිතුරු දුන්නාය. “එහෙනං මං තෝව මරනවා...“ චමින්ද ගෝරනාඩු කළේ ඇය බිය ගැන්වීමට මෙන්ය. "හා මරපං. මං බය නෑ. හැමදාම උඹ කළේ මාව නොමරා මරපු එකනෙ. තවත් මොනවටද බලා ඉන්නෙ. ඉතිං මරපං...“ සුජාතා චමින්ද සමඟ තරගයට මෙන් එකට එක කීවාය.

පරාජය බාරගත් චමින්ද සුජාතාගෙන් සමුගෙන ආපසු හැරුණේ හඬමිනි. එහෙත් ඔහු හිනිදුම, හීන්ගල්ගොඩ තම නිවෙසට ගියේ නැත. එම තේ වත්තේ පහළින් තිබූ ගරා වැටී අත්හැර දැමූ පාසලට වී හඬමින් ඔහු කල්පනා කළේ සුජාතා තමාට බැණ වැදුණු ආකාරය ගැනය. ඔහු ඇය සොයාගෙන ආවේ මෙවැන්නක් බලාපොරොත්තුවෙන් නොවේ. ඇය සමඟ එම නිවෙසේ හෝ නතර වීමේ අරමුණිනි. ඔහුගේ ඇඳුම්, විදුලි පන්දම, පිහියක් මෙන්ම තවත් උවමනා දේවල් කීපයක් උරයක දමාගෙන රැගෙන ඒමට අමතක නොකළේ එබැවිනි.

ක්‍රමයෙන් රාත්‍රිය ළඟා වන විට ආදරය අබිබවා වෛරය ඉස්මතු වීමට පටන් ගත්තේ චමින්දටත් නොදැනීය. රෙදි උරයේ තිබූ පිහිය වෙත ඔහුගේ අත ගිය අතර ඔහු හිමින් සීරුවේ කන්ද නැග්ගේ සුජාතාගේ මවගේ නිවෙස වෙතය. වේලාව රාත්‍රි අට පමණ වී තිබුණි. එක්වර වියරු වැටි නිවෙසට ඇතුළු වූ චමින්දගේ ස්වරූපය දුටු සාලයේ රාත්‍රි ආහාර ගනිමින් සිටි පිරිස හොඳටම බය වී එළියට පැන දිවූ අතර මේසය අස් කරමින් සිටි සුජාතාගේ ගෙලට පිහි පහර එල්ල විය. චමින්ද මෙතෙක් වේලා ඇයට වැඳ වැටී සිදු කළ කන්නලව්ව නිමා කර පැන දිවුවේ සියල්ල නිවැරැදි යැයි සිතා විය යුතුය.

සාලය මැද ලේ විලක් මවමින් ඇද වැටුණු සුජාතා මියගොස් ඇති බව තිනියාවල පොලිසියට දැනුම් දෙන්නේ එම වත්ත බලා ගන්නා පුද්ගලයා විසිනි. පොලිසියේ සිට කිලෝ මීටර් 18 ක් පමණ දුරින් පිහිටි මෙම නිවෙසට පොලිසිය පැමිණියේ ඒ අනුවය.

එලෙස ඝාතනය කර ඇත්තේ හෙට්ටිආරච්චිගේ සුජාතා නමැති තිස් හැවිරිදි දෙදරු මවකි. මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට මෙන්ම අපරාධ පරික්ෂණාගාර නිලධාරින්ට ද සිද්ධිය ගැන දැනුම් දෙන තිනියාවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර කළුතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස ද මේ ගැන දැනුම්වත් කර උපදෙස් ලබා ගැනීමටද කටයුතු කළේ කඩිනමිනි.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලුත්ගේ, සැරයන් 7179 නිමල්, කොස්තාපල්වරුන් වන 84312 මධුසංඛ, 78827 සම්පත්, 21396 සුබසිංහ යන නිලධාරින්ගේ ඊළඟ රාජකාරිය වූයේ පලා ගිය සැකකරු කොටු කර ගැනීමය. තේ වත්ත පීරා මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර ඔහුට පලා යාමට නොහැකි වන ලෙස සියලු කපොලු තර කිරීමටද පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර ඇතුළු නිලධාරින් කටයුතු කළේ ක්ෂණිකවය.

අපරාධය සිදු වී පැය කීපයක් ඇතුළත තේ වත්තේ කැලෑවේ සැඟවී සිටි චමින්ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූයේ ඒ අනුවය. ඝාතනයට යොදාගත් පිහියද පොලිසිය විසින් සොයා ගත්තේ සැකකරුගේ ප්‍රකාශ මතය. එය තේ වත්තේ තැනක සඟවා තිබිණි.

Comments