මත නිසා නැසුණු ජීවිතයක් | Page 4 | සිළුමිණ

මත නිසා නැසුණු ජීවිතයක්

 

තෙබුවන පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටා ඇති නෑබඩ, ක්ලෝඩන් වතු යාය සරුසාර රබර් වගාවෙන් පොහොසත් බව අමුතුවෙන් කිව යුතු නොවේ . දහස් සංඛ්‍යාත පිරිසකගේ කුසගිනි නිවන මංපෙතක් බවට පත් වී ඇති මෙම වතු යායේ දිවි ගෙවන පිරිස අතරින් 'වැඩි ඉඩක්' හිමිකර ගෙන සිටින්නේ දෙමළ ජනතාව වීම විශේෂය. කඳු පන්තිවලින්ද සැදුම්ලත් 'ක්ලෝඩන් වතුයායේ' සුන්දරත්වයට යටින් ගලා යන දුක් වේදනාවන්ද එමටය. එක පෙළට ඉදිකර ඇති කුඩා ලැයින් කාමරවල දිවි ගෙවන වතු කම්කරුවන් අතර නිතරම නොයෙක් විරසක ඇති වීම ස්වාභාවිකය. කුලී රැකියාවල නිරත වන ඔවුන් හැන්දැවට 'ඇඟපත රත්' කර ගන්නේ මත්පැන් පොදක පිහිට පැතීමෙනි.

'කන්දසාමි පිරුබාගරන්' පදිංචිව සිටියේ මෙම වතු යායේ 'පරණ කොටසේය'. හතළිස් හැවිරිදි වියේ පසු වූ කන්දසාමි තිදරු පියෙකි. දියණියකගේ සහ පුතුන් දෙදෙනකුගේ 'වගකීම' කරට ගත් ඔහු රැකියාව ලෙස තෝරා ගත්තේ තරමක් වෙනස් කර්මාන්තයකි. ඒ සත්ත්ව පාලනයයි. ඌරන්, එළුවන්, කුකුළන් ඔහුගේ සත්ත්ව ගොවිපළේ හැදී වැඩුණේ ඔහුට මුදල් අතින් වාසිදායක තත්ත්වයක් ඇති කරමිනි. ඔහුගේ බිරිය විජය කුමාරිද හරි හරියට ඔහුට උදවු වෙමින් මෙම කටයුතුවලට සහයෝගය දුන්නේ පවුලේ දියුණුව දැක ගැනීමේ බලාපොරොත්තු පෙරදැරිවය. දහඅට හැවිරිදි දියණියගේ මෙන්ම 15 සහ 11 වයස්වල පසුවන පුතුන් දෙදෙනාගේද ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට 'විජය කුමාරි' වෙහෙස වෙද්දී කන්දසාමි මත්පැන්වලට ගිජු පුද්ගලයකු බවට පත් වූයේ නිරන්තරයෙන් ඔහුගේ අත ගැවසුණු මුදල් නිසා විය යුතුය. පදමට වෙරි වන ඔහු ඒ අවස්ථාවල එක දිගට කියවන්නට පටන්ගන්නේ අසල්වැසියන්ටද විශාල හිරිහැරයක් වන පරිදිය.

කන්දසාමිගේ නිවෙසට මීටර් හැටක් පමණ දුරින් පදිංචිව සිටියේ මැදි වයසේ පසු වූ කාන්තාවකි. ඇගේ තරුණ පුතා මෙන්ම විවාහක දියණියත් දියණියගේ සැමියාත් පදිංචිව සිටියේ ඇය සමඟය. කාලයක සිටම කන්දසාමි මෙම පවුල සමඟ ගැටුම් ඇති කර ගත්තේ බීමත්කමේ ප්‍රතිඵලයක් ලෙස යයි කීවොත් නිවැරැදිය. හේතුවක් ඇතුව හෝ නැතුව මෙම පවුල් දෙක අතර ඇතිවන කතාබහ අවසානයේ නතර වන්නේ පැමිණිල්ලක් ද තෙබුවන පොලිසිය දක්වා යාමෙන් පසුවය. මේ නිසා දෙපාර්ශ්වයටම නඩු පැවැරී ඇති අතර සමාදාන වූ අවස්ථාද නැතුවාම නොවේ. මොවුන්ගේ මෙම 'කන්දොස්කිරියාව' ගමේ කාටත් හොඳට හුරු පුරුදු නිසා කවුරුත් ඒවාට මැදිහත් වීමට ඉදිරිපත් වන්නේ නැත.

සාමය කඩවීම සම්බන්ධයෙන් 81 වගන්තිය යටතේ නඩුවක් ගොනු කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත්තේ මෙම පවුල් දෙක නිසා මහජනතාවට සිදු වන හිරිහැරයේ බරපතළකම නිසාම විය යුතුය.

කන්දසාමි පසුගිය දිනකත් සිටියේ පදම ඉක්මවන තරමටම බීමත්වය. මේ නිසා ඔහුගේ මුවින් වෙනදා ලෙසම බරපතළ වචන පිට වූයේ අවට සිටින පිරිසටද කන්කරච්චලයක් වන ලෙසය.

කෙසේ වුවත් එදින ඔහු පෙර කී පවුල සමඟ ඇති කර ගත් 'වාග් සංග්‍රාමය' බිම් කරුවලත් සමඟ ටික ටික වර්ධනය වුයේ එම පවුලේ පිරිසද ඊට 'ප්‍රතිප්‍රහාර වදන්' එල්ල කිරීමට පටන් ගැනීමත් සමඟය. කොල්ලන් කුරුට්ටන් මෙන්ම වැඩිහිටියන්ද නොමිලේ නරඹමින් සිටි 'සටන් ජවනිකාව' මහා භයානක යුද්ධයක් බවට පත් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. පොලු මුගුරු මෙන්ම කැති පොරෝවලින් සන්නද්ධ එකම පවුලේ සාමාජික පිරිස මෙන්ම අසල්වැසි පිරිමි දෙදෙනකුද කන්දසාමි වටකරගෙන පහර දෙන්නට වූයේ ඉවක් බවක් නොමැති ලෙසය. ඒ ඔහුගේ ‘කට‘ මට්ටු කිරීමට විය යුතුය. කෙසේ වුවත් තනි පුද්ගලයකුට පිරිසක් සමඟ එවැනි සටනකට මුහුණ දීම අසීරුය. ඔහු අඩපණ වූයේ ලේ විලක් මැදය. ඒ රාත්‍රි 10.45 ත් 11 ත් අතර කාලයේදීය.

ප්‍රදේශවාසීන් තෙබුවන පොලිසියට මේ පුවත දැනුම් දෙන්නේ පොලිස් හදිසි ඇමතුම් අංකය හරහාය. ඒ දෙපාර්ශ්වයක සිදු වූ ආරවුලක් ලෙසය.

කළුතර කොට්ඨාස භාර ‍ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරි නිලුපුල් පිරිස් වෙත මේ පුවත දැනුම් දෙන තෙබුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එම්. රාජරත්න සිද්ධිය වූ ස්ථානය බලා පිටත් වන්නේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක හේවගේ, සැරයන්වරුන් වන 61896 කරුණාරත්න, 55277 කිත්සිරි සහ කොස්තාපල්වරුන් වන 155 තරංග, 99328 මධුසංඛ, 73160 චතුරංග යන නිලධාරින්ද සමඟය.

පොලිසියේ සිට කිලෝ මීටර් 10 ක් පමණ දුර සිද්ධිය වූ ස්ථානයට යන විට පොලිස් නිලධාරීන් දුටුවේ පුද්ගලයකු වැටී සිටින බවය. ඔහුගේ ශරීරය පුරා ලේ ගලන තුවාල තිබුණේ සිදු වී ඇත්තේ බිහිසුණු සිද්ධියක් වූ බව කියාපාමිනි. පෙර කී කාන්තාවගේ නිවෙසට හැරෙන පාරේ වැටී සිටි පුද්ගලයා 'කන්දසාමි' බවට හඳුනාගත් අතර සුවසැරිය ගිලන් රථය පැමිණ ඔහු රෝහල්ගත කිරීමට සුදානම් වුවත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිටියේය. හිස, නළල, දෑත්, දෙපා මෙන්ම ශරීරයේ විවිධ ස්ථානවල තුවාල සහිතව ඔහු වැටි සිටියේ එම ස්ථානය යුධ පිටියක් බවට පත් වී ඇති බව සනාථ කරමිනි.

මෙම අපරාධයට සම්බන්ධ මව, දියණිය බෑනාත් එම අවස්ථාවේදිම අත්අඩංගුවට පත් වෙන්නේ ඒ අනුවය. පහරදීමට උපයෝගි කරගත් ලේ තැවරුණු මන්නය සොයා ගත්තේ එම නිවෙසේ මුළුතැන්ගෙයි සඟවා තිබියදීය. පලා ගිය පුතා සහ අසල්වැසි පුද්ගලයින් දෙදෙනා පොලිසිය විසින් කොටු කර ගත්තේ ඉන් අනතුරුවය. පහර දීමට යොදා ගත් පොල්ලක්, යකඩ පොල්ලක්, පොරවක් මෙන්ම පිහියක්ද ඒ අසල කැලෑවට විසිකර තිබියදී සොයා ගැනීමට පොලිසිය කටයුතු කළේ අපරාධයක් සිදු කරන අයට වැඩි ආයුෂක් නොමැති බව පෙන්වා දෙමිනි.

සිද්ධිය ස්ථානයේ ස්ථානීය පරීක්ෂණ සිදු කළ මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා නිගමනය කළේ මොළය දක්වා සිදු වූ කැපුම් තුවාල හේතුවෙන් ලේ කැටියක් මොළයට ගමන් කිරීමෙන් කන්දසාගේ මරණය සිදු වී ඇති බවය.

“එයා බීලා ඇවිත් කෑගැහුව නිසා තමයි මේ දේ වුණේ...”

“එයාගෙ වරදින් තමයි මෙහෙම වුණේ...” ප්‍රදේශවාසීන්ගේ මතය එයයි.

කවුරු කොහොම කොයි ලෙස පැවසුවත් සිදු විය යුතු සියල්ල සිදු වී හමාරය. අසරණ දරු තිදෙනකුට පිය සෙනෙහස අහිමි වී හමාරය. ඔවුන්ගේ ජීවිතවල ඒ අඩුව පිරවීමට කිසිවකුටත් දැන් නොහැකිය.

කාලයක් තිස්සේ හිතේ කැකෑරුණු ක්‍රෝධය, වෛරය සහ පළිගැනීම හේතුකොට ගෙන හයදෙනකු එකතු වී සිදු කළ මෙම සහාසික අපරාධය පමණ ඉක්මවා මත්පැන් පානය කිරිමේ අනිටු ප්‍රතිඵලය රටට කියා පෑමක් නොවේද?

Comments