ජිලේගේ බලේ නැති කළ එස්ටීඑෆ් ‘කුඩු’ මෙහෙයුම | Page 4 | සිළුමිණ

ජිලේගේ බලේ නැති කළ එස්ටීඑෆ් ‘කුඩු’ මෙහෙයුම

 

මේ දිනවල හෙරොයින් මත්ද්‍රව්‍යවලට වඩා කතාබහ ඇතිවී ඇත්තේ ‘අයිස්‘ හෙවත් ක්‍රිස්ටල් මෙතන්ෆෙටමින් නමින් හඳුන්වන ‘සින්තටික් ඩ්‍රග්ස්‘ හෙවත් ‘රසායනික මත්ද්‍රව්‍ය‘ පිළිබඳවය. විශේෂයෙන්ම මේ අයිස් මත්ද්‍රව්‍ය පාසල් සිසුන් ද බිලි ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වූයේ පසුගියදාය.

කෘත්‍රීම මත්ද්‍රව්‍ය ගණයට වැටෙන ‘අයිස්‘ පිළිබඳ රටේ බොහෝ කතාබහ සිදු වෙද්දී පාතාල සාමාජිකයන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් රට ඇතුළත හෙරොයින් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය කිසිසේත්ම අත්හැර නොමැති බව දිස් වන්නේ දිනෙන් දින පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා හෙරොයින් ප්‍රමාණයේ ක්‍රමික වැඩිවීම නිසාය.

ඒ අනුව පසුගිය 14 වැනිදා දහවල් පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකක 3 හි නිලධාරින්ට ලද තොරතුරකට අනුව අංගොඩ, ටයර් හන්දියේ නිවෙසක තිබී වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 35ක් පමණ වන හෙරොයින් කිලෝ 13යි ග්රෑම් 410ක් අත්අඩංගුවට ගන්නේ සැකකරුවන් දෙදෙනෙකුද සමඟිනි. එම සැකකරුවන් දෙදෙනා හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන්ගේ ඥාතීන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධරයන්ට බාධා කළහ.

එම හෙරොයින් තොගය දැනට විදෙස් රටක සිටින වැලිගම නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් දනුෂ් බුද්ධික හෙවත් ‘ජිලේ‘ට අයත් ඒවා බව හෙළි වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධරයන් සිදු කරන ලද විමර්ශනයේදීය.

ඉන්දියාවේදී මරණයට පත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා‘ගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘ජිලේ‘ විසින් මෙහෙයවනු ලැබූ එම හෙරොයින් ජාවාරම හෙළි කරගන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රෝහණ කරුණාරත්නගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/මත්ද්‍රව්‍ය නාශක/විශේෂ මෙහෙයුම්) සාගර කුලසේකරගේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් ඒකක 3හි නිලධාරින් විසිනි. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් එම මෙහෙයුම සිදුකළ අයුරු මුල සිට අග දක්වා පෙළ ගැසෙන්නේ මෙසේ ය.

ඒ, ඉකුත් 14 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ වැටලීම් ඒකක 3හි නිලධාරියෙකුට සිය තොරතුරුකරුවකුගෙන් එදින විශ්වසනීය තොරතුරක් ලැබිණි.

“සර්... ජිලේගේ කුඩු වගයක් ගල්වානේ ගෙදරකට මේ දැන් ඇවිල්ලා තියෙනවා... තුවාන් රොෂාන් කියන කෙනෙකුට තමයි ඒවා එවලා තියෙන්නෙ... ජීලා... තුවාන්ට කියලා තියෙනවා... ආපු බඩු ටික හංගලා තියාගනින්... මම කියන විදිහට බඩු ටික දීපන් කියලා... මුං බඩු ටික බෙදන්න ඉස්සෙල්ලා සර්ච් කළානම් බඩුත් එක්කම ඌ අල්ලගන්න පුළුවන්... සර්...“

ඒ අනුව අදාළ තොරතුරුකරු අකුරක් නෑරම එම හෙරොයින් මත්කුඩු තොගය සඟවා තිබූ නිවෙසෙහි විස්තර ඇතුළු ජාවාරම්කරුවන්ගේ සියලු තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියාට ලබා දුන්නේය. එම තොරතුරුකරුගෙන් කියැවුණේ හෙරොයින් මත්කුඩු තොගය ලැබී ඇත්තේ මුල්ලේරියාව, අංගොඩ, ටයර් හන්දියේ බාරෝන් තිලකානන්ද මාවතේ, නොම්මර් 35/3 දරන නිවෙසකට බවයි.

එම තොරතුර ලද සැණින් පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් මත ඒකක 3හි නිලධරයෝ අදාළ නිවෙස සොයා එහි යන්නේ විදුලි වේගයෙනි. ඒ වන විට වේලාව එදින පස්වරු 1.20ට පමණය. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සොයා ගිය නිවෙස දෙමහල් නිවෙසකි. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධරයෝ අදාළ නිවෙස වට කළෝය. ඒ අවස්ථාවේ නිලධාරිහු කීප දෙනෙක් නිවෙසට ඇතුළු වූහ. තොරතුරුකරුගෙන් ලද එම තොරතුර ‘තිතට‘ම නිවැරැදිය. ඒ වන විට නිවෙසේ පහළ මහලේ කාමරයක පිරිමි දෙදෙනෙක් එම හෙරොයින් තොගය පරීක්ෂා කරමින් තවත් බෑයකට අසුරමින් සිටියේ කිසිම කලබලයකින් තොරවය.

ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය නිලධරයෝ හෙරොයින් තොගය සිය භාරයට ගෙන සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගන්නා ලදී. හෙරොයින් තොගය සෝදිසි කර බැලු නිලධාරීන්ට දැක ගැනීමට හැකි වූයේ එම හෙරොයින් තොගය පාර්සල් 12ක අසුරා ඇති බවය. පසුව අනාවරණය වූයේ එම පාර්සල් දොළහ ඇතුළත හෙරොයින් මත්කුඩු කිලෝ 13යි ග්රෑම් 410ක් ඇති බවය. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 35 පමණය.

එම හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරුවා වූයේ සාලිහිම් තුවාන් රොෂාන් නමැත්තාය. ඔහු 37 හැවිරිදි තිදරු පියෙකි. රොෂාන් තුවාන් පලතුරු වෙළෙඳාමේ නිරත වෙමින් සිටින අතරේ මත්කුඩු ජාවාරමටද එක්ව සිටි අයෙකි. තුවාන් පවුලේ වැඩිමලාය. මව පමණක් සිටින ඔහුට බාල සහෝදරියන් දෙදෙනෙකි. තුවාන් අත්අඩංගුවට ගන්නා මොහොතේ ඔහුගේ පවුලේ සිටි කාන්තාවන් කීපදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධරයනට විරෝධය පාමින් කෑකෝ ගසන්නට වූයේ තම සහෝදරයා මත්කුඩු ජාවාරමේ නිරත නොවූ බව පවසමිනි. එහෙත් ඔහු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධරයන්ට කොටු වූයේ හෙරොයින් සුළුපටු ප්‍රමාණයක් සමඟ නොව කිලෝ 13ක් සමඟිනි.

තුවාන් සමඟ හෙරොයින් මත්කුඩු ජාවාරමට එක්වූ සෙසු පුද්ගලයා ලියනආරච්චිගේ රවිඳු දිල්ෂාන්ය. 26 හැවිරිදි අවිවාහක පුද්ගලයකු වන දිල්ෂාන් බියගම වෙළෙඳ කලාපයේ රැකියාවක නිරත වූවෙකි. දිල්ෂාන් එම මත්කුඩු තොගය සිය මිතුරෙකුට අයත් ත්‍රිරෝද රථයකින් තුවාන්ගේ නිවෙසට ප්‍රවාහනය කිරීමට සහාය වී තිබිණි. දිල්ෂාන්ගේ පෙම්වතිය පදිංචිව සිටින්නේ තුවාන්ගේ නිවෙසට යාබද නිවෙසකය. වසර ගණනාවක එම පෙම් පලහිලව්ව නිසා පෙම්වතියගේ නිවෙසට යනඑන අතර දිල්ෂාන්, තුවාන් සමඟ මිතුරුව සිටියේය. එම මිතුදම නිසාම තුවාන් සමඟ දිල්ෂාන් ද මත්කුඩු ජාවාරමට එක්ව සිටියේය. එදින අලුයම් කාලයේ කිසියම් පුද්ගලයකු අංගොඩ ප්‍රදේශයේ ස්ථානයකට ගෙනැවිත් තිබූ මත්කුඩු තොගය එදින පෙරවරුවේම දිල්ෂාන් සිය මිතුරෙකුගෙන් ඉල්ලා ගත් KG – 7078 දරන ත්‍රිරෝද රථයේ පටවාගෙන රොෂාන් තුවාන් සමඟ එක්ව තුවාන්ගේ නිවෙසට රැගෙන විත් තිබිණි. ඒ සියලු කටයුතු විදේශයක සිට වට්ස්ඇප් දුරකතන ඇමතුම් ලබා දෙමින් මෙහෙයවා ඇත්තේ ජිලේ විසිනි.

අත්අඩංගුවට ගැනුණු දෙදෙනාගෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ තමන් මත්කුඩු ජාවාරමට එක් වූයේ පළමු වරට බවය. එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වන්නේ රොෂාන් තුවාන් කලෙක සිටම අංගොඩ ජිලේගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින අයෙක් වන බවය.

රොෂාන් තුවාන් සිදුකර ඇත්තේ විදෙස් රටක සැඟවී සිටින ජිලේ විසින් ලබා දෙන උපදෙස් අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ මුදල් එක්රැස් කරන අතරේ ජාවාරම්කරුවන්ට ජිලේගේ උපදෙස් මත මුදල් ලබා දෙමින් සහාය වීමය. ඩුබායි හෝ ඉන්දියාවේ සැඟවී සිටින බවට සැල වන ජිලේ එංගලන්තයට අයත් සිම්පතකින් වට්ස්ඇප් ඔස්සේ දුරකතන ඇමතුම් දෙමින් මෙම ජාවාරම් මෙහෙයවා ඇති බවත් රොෂාන් තුවාන් සිදුකළ පාපෝච්චාරණ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය අනාවරණය කරගෙන තිබේ.

30 හැවිරිදි පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් දනුෂ් බුද්ධික හෙවත් ජිලේ විවාහකයෙකි. ඔහු එක් දරු පියෙකි. ජිලේ 2020 වසරේ ජුලි 03 වැනිදා ඉන්දියාවේ කොයිම්බතූර්හිදී අබිරහස් ලෙස මරණයට පත් ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකි. අංගොඩ ලොක්කා මරණයට පත් වීමත් සමඟ ඔහුගේ මත්කුඩු ජාවාරම් ඇතුළු නොයෙක් කූට ජාවාරම්වලට ගෝලයන් අතර ගැටුම් හට ගැනිණි. එම ගැටුමක ප්‍රතිඵලයක් මත 2021 වසරේ ඔක්තෝබර් 26 වැනිදා පෙරවරුවේ අංගොඩ, මීගහවත්තේ නිවෙසක් තුළදී ඝාතනයක් විය. නිවෙසේ කාමරයටම පැමිණ වෙඩි වරුසාවක් එල්ල විය. වෙඩි පහරින් ඝාතනය වූයේ මාර්ග ඉදිකිරීම්හි කොන්ත්‍රාත් කටයුතුවල නිරත 42 හැවිරිදි තන්තිරිගේ ප්‍රණීත් නුවන් මිලින්ද නමැති අවිවාහක පුද්ගලයෙකි.

එදින පාන්දර 6.10ට පමණ කළු පැහැති ජැකට් සහ හිස් ආවරණ පැලඳ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මීගහවත්ත පන්සලක් අසල යතුරුපැදිය නවතා එම නිවෙසට ඇතුළු වී තිබුණේ, “අපි පොලිසියෙන්... කෝ මිලින්ද“ යැයි පවසමිනි.

අනතුරුව මිලින්ද නිදා සිටි කාමරයේ දොර කඩා ඊට ඇතුළු වූ දෙදෙනා එහි බිමට මෙට්ටයක් එළාගෙන නිදා සිටි මිලින්දට මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර හයක් පමණ එල්ල කළේය. එසේ මිලින්දට වෙඩි ප්‍රහාර එල්ල කරද්දී නිවෙසේ වෙනත් ස්ථානයක බුදුන් වඳිමින් සිටි මිලින්දගේ නැඟණියගේ ස්වාමියා වන බුද්ධික වසන්ත නමැත්තා ද එම කාමරයට ගොස් වෙඩික්කරුවන් දෙදෙනාගෙන් කෙනෙකු සමඟ පොර බැදුවේය. එසැණින් ක්‍රියාත්මක වූ වෙඩික්කරුවෝ ඔහුගේ මුඛයටද වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබුණේ ත්‍රාසජනක චිත්‍රපට දසුනක් මවමිනි. ඝාතකයන් දෙදෙනා පැමිණි යතුරුපැදියෙන්ම පලා යන ආකාරය අසල සීසීටීවී කැමරාවකද සටහන්ව තිබිණි. මිලින්දගේ ඝාතකයා බවට අනාවරණය වූයේ ජිලේය. ජිලේ මුල්ලේරියාව, නව නගරය අංක 42/02, බාරොන් තිලකානන්ද මාවතේ පදිංචිව සිටියේය. ඊට අමතරව ඔහු මුල්ලේරියාව උඩුමුල්ල අංක 252 නිවෙසේ සහ බිරියගේ නිවෙස වන මාලඹේ, රොබට් ගුණවර්ධන මාවතේ අංක 333/සී නිවෙසේද පදිංචිව සිටියේය.

ජිලේ බොහෝ විට අංගොඩ, හිඹුටාන, මුල්ලේරියාව නවනගරය, වැලිගම, මිදිගම, හික්කඩුව සහ ගාල්ල ප්‍රදේශවල සැරිසරන බවත් අත් දෙකෙහිම උරහිසේ සිට වැලමිට දක්වා පච්චා කොටා ඇති බවද ඒ දිනවල පොලිසිය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. එම නිවේදනයේ එකී ඝාතනයට අදාළව ජිලේ පිළිබඳ ඔත්තුවක් පොලිසියට ලබා දෙන තැනැත්තකුට රුපියල් විසිපන් ලක්ෂයක මුදල් ත්‍යාගයක්ද ලබා දෙන බව සහ ඔහුට මිනීමැරුම් චෝදනා පහක් පමණ ඇති බවද නිවේදනය කෙරිණි.

එම ඝාතනයත් සමඟ ජිලේ ආරක්ෂක අංශවලට බයෙන් විදෙස් රටකට පැන ගිය බවට සැල විණි. එහෙත් ඔහු නිශ්චිත ලෙසටම විදෙස් රටකට පැන ගියාද නැතිනම් වෙස්වලාගෙන මෙරට සිටිනවාද යන්න තවමත් නිසි ලෙස තහවුරු වී නැත.

ජිලේ කෙසේ හෝ අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරම එලෙසම අංගොඩ, මුල්ලේරියාව සහ කොළඹ අවට ප්‍රදේශවල නිරුපද්‍රිතව සිදු කරමින් සිටින වග මෙවැනි මත්කුඩු තොග අත්අඩංගුවට ගැනීමෙන් තහවුරු වේ. ජිලේ එලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින්නේ වැලිගම නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, පාණදුරේ කුඩු සලිඳු ඇතුළු ජාවාරම්කරුවන් සමඟ එක්වය. පසුගිය අගෝස්තු 2 වැනිදා සවස් යාමයේ වෙඩි තබා ඝාතනය කළ මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී සුමුදු රුක්ෂාන් ඝාතනයේ චෝදනාවද එල්ල වී තිබුණේ ජිලේ විසින් මෙහෙයවා සිදුකළ බවටය.

මේ වන විට මෙරටට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය එවනු ලබන ජාවාරම්කරුවකු ලෙස සැලැකෙන හරක් කටා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ජිලේට ලබා දුන් මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ බවකි. එලෙස ජිලේගේ මෙහෙයවීම මත මෙරට තුළ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කරන රොෂාන් තුවාන් සහ ජිලේ අංගොඩ, බාරොන් තිලකානන්ද මාවතේ ආසන්න නිවෙස්හි පදිංචිකරුවන්ය. ඔවුහු කුඩා කාලයේ සිටම මිතුරන්ය. රොෂාන් තුවාන් පවසන්නේ ජිලේ ඔහුට වඩා වයසින් බාල බවයි. අනතුරුව ජිලේ අංගොඩ ලොක්කා සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම්, කොල්ලකෑම්, මිනිස් ඝාතන ඇතුළු අපරාධ සිදුකර ඇති අතර ඒ නිසා රොෂාන් තුවාන්, ජිලේට බියෙන් ජීවත් වී ඇත. ඒ සමඟම රොෂාන් තුවාන් පලතුරු වෙළෙඳාමේ නිරත අතරේ ජිලේ ලබා දෙන උපදෙස් අනුව ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරමටද සහාය දී ඇත. ඒ සඳහා ඔහුට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවා ඇති බවද හෙළි වී තිබේ.

“සර්... ජිලේ...‘ ලොක්කට‘ එකතු වෙලා පාතාලෙට ගියාට පස්සේ මාත් ජිලේගෙ වැඩවලට සපෝට් එක දුන්නා... ඒ මිනිහට තිබුණ බයටම... ඊට පස්සේ මං ජිලේ කියන විදිහට වැඩ කළා... එයා මට මාස්පතා ගාණක් දුන්නා...“ යැයි රොෂාන් තුවාන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

ඒ අනුව රොෂාන් තුවාන් විසින් ජිලේ කියන පරිදි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට අදාළ මුදල් රැස් කිරීම් ඇතුළු බොහෝ කාර්යයන්හි නිරතව ඇත. ඒ වෙනුවෙන් මාස්පතා ජිලේ මුදල් ගෙවීම් කරන අතරේ ජිලේ විසින් රොෂාන් තුවාන්ගේ දරුවන්ගේ උපන් දින සාද ඇතුළු බොහෝ දෑ සඳහාද වියදම් දරා ඇති බවත් තුවාන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය විය.

එලෙස පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත් රොෂාන් තුවාන් සහ දිල්ෂාන් සමඟ හෙරොයින් මත්කුඩු තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දිනෙන් දින සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ‘තිත‘ තබමින් රටේ අනාගත පරම්පරාවේ මත් උවදුරෙන් වළකා ගැනීම සැමගේ වගකීමය. ඊට ආරක්ෂක අංශ සඳහා සහාය දෙමින් මත් ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම රටේ සෑම පුරවැසියෙකුගේම වගකීමය.

 

Comments