
පිහි පහෙරන් පුතුටත් බරපතළයි
දියණිය උදවු ඉල්ලා අසල නිවෙස්වලට යන අයුරු සීසීටීවී කැමරාවේ
නෙලෝමිගේ සැමියා කලක සිට වෙන්ව ඉඳලා
මෙරටින් පිටත ශ්‍රී ලාංකිකයන් බහුලවම ජීවත්වන රාජ්‍යයන් අතරින් ඔස්ට්‍රේලියාවට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අගනගරය වන මෙල්බර්න් ශ්‍රී ලාංකිකයන් වැඩිපුරම ජීවත්වන නගරය ලෙස සැලැකේ.
එලෙස ශ්‍රී ලාංකිකයන් බොහෝ සේ වෙසෙන මෙල්බර්න් නගරයෙන් මෙරට මෙන්ම මුළු ලෝ වැසියන්ගේම හදවත් කම්පා කරවන පුවතක් පසුගිය දා වාර්තා විය. ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළ එම අනූවේදනීය පුවතෙන් කියැවුණේ ඔස්ට්‍රේලියාවේ වාසය කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇගේ සැමියා විසින් ඝාතනය කළ පුවතයි. එසේ ඝාතනය කැරුණේ මෙල්බර්න්හි සැන්ඩ්හර්ට්ස්හි වාසය කළ නෙලෝමි පෙරේරාය. ඇය තිදරු මවකි. ඇගේ සැමියා ඇයට පිහියෙන් ඇන රාත්‍රි කාලයේදී එම ඝාතනය කර තිබූ බවත් සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම මාධ්‍ය වාර්තා හෙළි කළේය.
එම ඝාතනය සිදු කළ නෙලෝමිගේ සැමියා 45 හැවිරිදි දිනුෂ් කුරෙයිරා නමැත්තෙකි. නෙලෝමි ඝාතනය කර සිටි ආකාරය දුටු ඇගේ දරුවකු අසල්වාසි නිවෙස්වලට යමින් උදවු ඉල්ලා හඬා වැටී තිබිණි. එම ශෝකීජනක දසුන් ඒ අවට සීසීටීවී කැමරාවන්වලද සටහන්ව තිබී ඇත. ඒ පිළිබඳව නෙලෝමි විසූ නිවෙසේ අසල්වාසීන් ඔස්ට්‍රේලියානු මාධ්‍යයට කරුණු පවසා තිබිණි. එහිදී අසල්වාසීන් කියා තිබුණේ ‘නෙලෝමිගේ දියණිය පැමිණ ‘මගේ අම්මා මැරිලා... මගේ අම්මා මැරිලා...‘ යැයි තමන්ට පැවැසූ බවයි.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මෙම අඹුසැමියන්ගේ පුත්‍රයෙක්ද සිය පියාගේ පිහි පහරට මැදිව ඇති බවයි. පාසල් වයසේ පසුවන එම දරුවා පිහි පහරට ලක්වීමෙන් පසු එම ස්ථානයෙන් පලා යාමට සමත්ව තිබිණි. එම දරුවා මේ වන විට බරපතළ තුවාල සහිතව රෝහල්ගතව සිටී. ඔහුට ශල්‍යකර්මයක්ද සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නෙලෝමි සහ දිනූෂ් ඉකුත් කාලය පුරාම ඇතිවූ ආරවුල් නිසා වෙන්ව ජීවත්ව ඇත. එසේ දෙදෙනා වෙන්ව ජීවත්වීමත් සමඟ නෙලෝමි විසින් ඇය වාසය කළ නිවෙසේ දොරගුළු පවා වෙනස් කර තිබූ බවද ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. නෙලෝමි ඝාතනය කළ දිනූෂ් එම ඝාතනයෙන් පසු පළා යාමට උත්සාහ දැරුවත් ඔහු අත්අඩංගුවට ගැනීමට මෙල්බර්න් පොලිසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් දිනූෂ් අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඔහුට විරුද්ධව නීතිමය කටයුතු ලබන වසරේ ක්‍රියාත්මක කිරීමටද නියමිත බවත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාවේදී මෙලෙස ශ්‍රී ලාංකිකයන් සිය බිරිය ඝාතනය කළ සිදුවීම් කිහිපයක්ම පසුගිය කාලයේදී වාර්තා විය. ඒ අතර බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදී ද 2019 වසරේ ජුනි මාසයේදී ඝාතනයක් සිදු විය. එලෙස ඝාතනය වූයේ 40 හැවිරිදි දර්ශිකා කුඩලිගම විතානයි. ඇය ඝාතනය කර තිබුණේද ඇගේ සැමියා වූ 44 හැවිරිදි උපේන්ද්‍ර පත්මශ්‍රී ඉහළගමය. ඝාතනය වූ දර්ශිකා ඔස්ට්‍රේලියාවට යාමට පෙර මෙරට ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසල් කීපයකම ශාරීරික අභ්‍යාස ගුරුවරියක ලෙස කටයුතු කළ තැනැත්තියකි. ඇගේ ඝාතනය සිදුකළ සැමියා දැඩි මානසික ආතතියකින් පෙළෙමින් සිටි බවටද සැලවිණි.
තවත් මෙවැනිම ඝාතනයක් නැතිනම් සියදිවි නසා ගැනීමක් මේ වසරේ ජනවාරි මාසයේද ඔස්ට්‍රේලියාවේදී සිදු විය. පර්ත් නගරයට ආසන්න හන්ටිංඩේලිහිදී සිදුවූ එහිදීද මරණයට පත්ව සිටියේ ශ්‍රී ලාංකික පියකු සහ දරුවන් දෙදෙනායි.
40 හැවිරිදි ඉන්දික ගුණතිලක නමැති පියා 6 හැවිරිදි කොහාන් සහ 4 හැවිරිදි දියණිය ලිලී එලෙස මිය ගොස් සිටියේය. එහිදී ඉන්දික ඔහු පදිංචි නිවෙසේ ගරාජය තුළ මියගොස් සිටි අතර දරුවන් දෙදෙනා නිවෙස ඇතුළේදී මරණයට පත්ව සිටියහ. එම මරණ පිළිබඳව ඔස්ට්‍රේලියානු පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව තිබුණේ ඉන්දික දරුවන් දෙදෙනා ඝාතනය කොට ඔහුද සියදිවි හානි කරගෙන ඇති බවකි. ඉන්දිකද මානසික ආතතියකින් පෙළෙමින් සිටි අයෙක් බව ඔහු ජීවත්ව සිටියදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයන්ට මුදාහළ තිබූ වීඩියෝවලින් හෙළිදරව් විය.