පිළියන්දල ව්‍යාපාරිකයකුගේ නිවෙසින් කෝටියක රන් උස්සා සුර සැප වින්ද මත්ලෝලියා | Page 4 | සිළුමිණ

පිළියන්දල ව්‍යාපාරිකයකුගේ නිවෙසින් කෝටියක රන් උස්සා සුර සැප වින්ද මත්ලෝලියා

 

මත්කුඩු වනාහි අමුතුම ආකාරයේ ඇබ්බැහියකි. "කුඩු ගැහුවා වගේ තමා" යැයි නූතන ජන කියමනක්ද ඇත්තේ එනිසා වන්නට ඇත.

මත්කුඩු පාවිච්චිaයට ඇබ්බැහි වූවෙකුට කිසි ලෙසකින්වත් ඉන් ගොඩ ඒමට නොහැකි වීමට තරම් මත්කුඩුවලට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. මේවාට ඇබ්බැහි වූවන් මත්කුඩු ලබාගැනීම වෙනුවෙන් තම ඇඳිවත වුවද උකසට තැබීමට සූදානම්ය. හොඳ-නරක, පින්-පව් පිළිබඳ ඔවුන්ට වගේ වගක් නැත. අවශ්‍ය වන්නේ මුදල් පමණි.

මත්කුඩු ලබා ගැනීමට මුදල් සොයා ගැනීමේ අරමුණින් සිදුකළ දහසකුත් එකක් සොරකම් පිළිබඳ ලංකාවේ සතර දිග්භාගයෙන්ම දිනපතා වාර්තා වුවද මේ පවසන්නට යන කතාව තරමක් අමුතුම කතාවකි. මත්ලෝලී මෙම පුද්ගලයාට ස්ථිර රැකියාවක් නැත. රැකියාව ඉදිරියෙන් 'කුලී වැඩ' ලෙස සටහන් වුවද මොහු දිනකට මත්කුඩු වෙනුවෙන් පමණක් වියදම් කරන මුදල රුපියල් ලක්ෂයකට අධිකය. පදිංචිය මකුළුදූව, පිළියන්දල ලෙස හැඳුනුම්පතේ සටහන් වුවද ඔහුගේ පදිංචිය වූයේ දිනකට රුපියල් හයදහසට අලෙවි වූ නුගේගොඩ ප්‍රදේශයේ හෝටල් කාමරයකි. එයද තනි මැකීමට මුදල් යොදවා ගෙන්වා ගත් සුරූපී අංගනාවන්ගෙන් පරිපූර්ණ වූ වාස භවනකි. අතිශය සුඛෝපභෝගී ලෙස සෙල්ලක්කාර දිවි පෙවෙතක් ගත කරමින් මෙතරම් හරියක් සිදුකළ මේ සැකකරුට වයස අවුරුදු 31කි.

අටුවාටීකා සහිතව මෙකී සියලුම තොරතුරු හෙළි වූයේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් පසුගියදා මෙම තරුණයාගේ දෑතට විලංගු ලූ අවස්ථාවේදීය. සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ සැකකරු අත්අඩංගුවට පත් වීමට හේතු වූ අපරාධයද ඔහු ගත කළ ජීවිතය මෙන්ම සුඛෝපභෝගී එකකි.

රුපියල් ලක්ෂයක් දෙකකින් සෑහීමකට පත් වීමට කිසි ලෙසකින්වත් අකමැති වූ මෙම තරුණයා කෙළින්ම අත ගැසුවේ රුපියල් කෝටියක වටිනාකම ඉක්මවූ මහා පරිමාණ සොරකමකටය. ඒ පෙර සඳහන් කළ ලෙසට මත්කුඩු සහ ඔහුගේ සුඛවිහරණය උදෙසා මුදල් උපයා ගැනීමටය.

පිළියන්දල, මකුළුදූව ප්‍රදේශයේ පිහිටි ධනවත් ව්‍යාපාරිකයකුට අයත් නිවසක් තම 'ගොදුර' ලෙසින් තෝරාගත් සැකකරු එම නිවසේ කිසිවකු නොමැති අවස්ථාවක් බලා වහලයෙන් ඊට ඇතුළු වන්නේ 'අතමිට පිරි හෙට දිනක්' වෙනුවෙන් යමක් සොරා ගැනීමටය. ඔහු සිතුවාටත් වඩා උත්සාහය සාර්ථක වන්නේ බලාපොරොත්තු වූ ප්‍රමාණයද ඉක්මවා ගිය දේපළ තොගයක් සොරා ගැනීමට ඔහුට හැකි වීම නිසාය. මේ සොරකමෙන් පසු ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටීමටද මේ පුද්ගලයා කටයුතු කරන්නේ ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලෙන් පසු පොලිසිය සොරකම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් දියත් කරන බවට සක්සුදක් සේ දැන සිටි බැවිනි.

කල්යල් බලා අති සාර්ථක අයුරින් නිමාව දුටු මේ සොරකමෙන් පසු පොලිස් ඇසට වැලි ගසා සැඟව සිටීමට ඔහුට හැකි වුවද, මත්කුඩු නොමැතිව එක් පැයක් හෝ සිටීමට නොහැකි වීම පොලිසියේ වාසියට පෙරළෙද්දී, එයම සැකකරුගේ අවාසිය බවට හැරෙන්නේ ඔහු මත්ද්‍රව්‍ය මිලට ගැනීමට පැමිණෙන බවට පොලිසියට ලැබෙන ආරංචියත් සමඟිනි.

ඒ අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේට සිය පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබෙන තොරතුරකින් මේ සැකකරු බඩෝවිට ප්‍රදේශයට මත්කුඩු මිලට ගැනීමට පැමිණෙන බවට තහවුරු කරගන්නා ලදී. පසුව ප්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත ගමගේ, උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත, කොස්තාපල්වරුන් වන (78065)මේනක, (87657)ලක්මාල්, (40527)කුමාර, (92438)මධුෂාන්, (102022)කරුණාරත්න සහ (89863)රංගන යන නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් බඩෝවිටට පිටත්ව යන්නේ මෙම "රජ වැඩකරු" නීතියේ රැහැනට හසුකර ගැනීම පිණිසය.

මකුළුදූව ව්‍යාපාරික නි‍ෙවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවල සටහන්ව තිබූ දර්ශනවලට අනුව සැකකරු සම්බන්ධයෙන් මනා වැටහීමකින් සිටි පොලිසියේ උත්සාහය මල්ඵල ගන්වමින් සැකකරුගේ දෑතට විලංගු වැටෙද්දී, පොලිස් නිලධාරීන්ද පුදුමයට පත්වන්නේ රන් භාණ්ඩ අලෙවි සැලක්ද පරයා සැකකරු කොල්ලකෑ රන් ආභරණ ප්‍රමාණය දැකීමෙන් පසුය‍ෙ

එලෙස සොරාගත් එක් රන් තැල්ලක් ග්‍රෑම් 22ක බරින් යුක්ත වන අතර, එය සෙන්ටිමීටර් 31ක දිගින් සහ සෙන්ටිමීටරයක පළලින් යුක්තය. සැකකරු සොරාගෙන තිබූ කරාබු යුගල් ප්‍රමාණය පහක් වන අතර ඒවායේ බර ග්‍රෑම් අටකට අධිකය. තවද ග්‍රෑම් දහ අටකට ආසන්න බරැති රන් පෙන්ඩන් තුනක් සහ ග්‍රෑම් තුනක් පමණ බර රන් මාලයක්ද මේ සැකකරු සොරාගෙන තිබුණි.

ඉහත භාණ්ඩවලට අමතරව රන් සුරයක්ද, ග්‍රෑම් හයක් බරැති රන් පැහැ සාරි කටුවක්ද, එය බහා මුද්‍රා තබා තිබූ රන් පැහැ ආවරණයකින් වැසූ බෝතලයක්ද මොහු විසින් සොරාගෙන තිබුණේ සියලුම ආකාරයේ ආභරණ නියෝජනය වන ලෙස මෙම සොරකම සිදුකළාක් මෙනි. රන් භාණ්ඩවලින් නොනැවතුණු සැකකරු අල්මාරි තුළ සුරැකිව තිබූ වටිනා රිදී ආභරණද සොරාගෙන තිබුණි. ඒ අනුව, සෙන්ටිමීටර් 23ක් දිග, සෙන්ටිමීටර් භාගයක් පළල ග්‍රෑම් 82ක් බරැති රිදී අත් පලඳනාවක් රිදී ආභරණ ලැයිස්තුවේ කැපී පෙනුණි.

තවද රිදී පා සලඹක්, සම්පූර්ණ බව ග්‍රෑම් 56ක් වන රිදී කර මාල දෙකක්, ග්‍රෑම් විසිපහකට ආසන්න බරැති රිදී පෙන්ඩන් දෙකක්, ග්‍රෑම් දහතුනකට ආසන්න රිදී මුදු තුනක්, රිදී කැබලි තුනක් බහා මුද්‍රා තබන ලද රන් පැහැති ආවරණයක් සහිත වීදුරු බෝතලයක්ද ඒ අතර විය. රන් රිදී ආභරණවලට අමතරව අල්මාරි තුළ තිබූ විදෙස් මුදල් නෝට්ටු තොගයක්ද සැකකරු සොරකම් කර තිබූ අතර, ඒ අනුව, ජපන් යෙන් දහසක නෝට්ටුවක්, තායිලන්ත බාත් මුදල් නෝට්ටු දාහතරක් සහ ඉන්දිය මුදල් නෝට්ටු දහයක්ද මේ සැකකරු විසින් සොරකම් කර තිබිණි. ඉහතින් සඳහන් කරන ලද රන් සහ රිදී ආභරණවල වටිනාකම රුපියල් ලක්ෂ 99කට ආසන්න වූ අතර, ඒ අනුව සැකකරු විසින් සිදුකර තිබූ කොල්ලය රුපියල් කෝටියක සීමාවද පසුකර ගොස් තිබුණි. වැඩිදුර සෝදිසි කිරීම්වලදී කොල්ලකරු සන්තකයේ වූ හෙරොයින් මිලිග්‍රෑම් 5200ක්ද පොලිස් භාරයට ගැනුණි.

සොරා ගන්නා ලද ආභරණවලින් කොටසක් ඔහු පදිංචිව සිටි හෝටල් කාමරයේද, තවත් කොටසක් නුගේගොඩ සහ බත්තරමුල්ල ප්‍රදේශවල මූල්‍ය ආයතන දෙකකත්, මහරගම සහ නුගේගොඩ උකස් මධ්‍යස්ථාන දෙකකත් උගස් කර තිබී පොලිසියට සොයා ගැනීමට ලැබුණු අතර, අධිකරණ නියෝග මත ඒවා පොලිස් භාරයට ගැනීමට නියමිතය. තවදුරටත් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මීට මාස දෙකකට පමණ ඉහතදී මත්තේගොඩ පොලිස් ස්ථානයේ ලියැවුණු වතුර විදින යන්ත්‍රයක් සොරකම් කිරීම සම්බන්ධයෙන්ද මේ සැකකරු වගකිවයුතු බවට කරුණු අනාවරණය විය.

සළෙලු ලියන් පිරිවරා ගනිමින් සුපිරි හෝටල් කාමරයක සුරසැප විඳි සැකකරුගේ සුඛෝපභෝගී දිවිය අවසානයේදී බන්ධනාගාරයේ අඳුරු බිත්ති හතරක් අතරට කොටුව ගියේ එලෙසිනි.

 

Comments