සාදයට ගිය දිමුතුට අත්වූ ඉරණම | Page 4 | සිළුමිණ

සාදයට ගිය දිමුතුට අත්වූ ඉරණම

- ඉහළ මාලයෙන් වැටී මිය ගියැයි සැක කළත් මරණය සිදු වූයේ මත්පැන් නිසා
- රුධිරගත ඇල්කොහොල් ප්‍රමාණය වැඩි වීමෙන් මරණය සිදු වූ හැටි අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළිවේ

දිමුතු යොවුන් වියේ පසු වූ හැඩකාර තරුණයෙකි. ඔහු පවුලේ එකම පිරිමි දරුවාය. දිමුතුගේ පියා මෙන්ම මවද රජයේ උසස් රැකියාවල නිරතව සිටියහ. දිමුතු ඉගෙනුම ලැබුවේ මෙරට ඇති ජනප්‍රිය පිරිමි පාසලකිනි. විද්‍යා අංශයෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටියද ලකුණු කීපයක් මදි වීම නිසා ඔහුට විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ වරම් හිමි වූයේ නැත. දිමුතුගේ එකම බලාපෙරොත්තුව වූයේ වෛද්‍යවරයකු වීමය. 

“දිමුතු පුතා අපි පිටරටකට යවලා පුතා දොස්තර කෙනෙක් කරමු” යැයි දිමුතුගේ පියා මවට කීවේය.

“ඒක හොඳයි... අපට ඉන්න එකම වස්තුව පුතා විතරයිනේ...” මවද පියාගේ යෝජනාව අනුමත කළාය. මේ ගැන දිමුතුද දැනුම්වත් කිරීමට මවුපියෝ කටයුතු කළහ. දිමුතුද මේ යෝජනාවට කැමති විය.

ඒ අනුව දිමුතුගේ මවුපියන් වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා දිමුතු චීනයට යැවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරනු ලැබීය. අවශ්‍ය ලියකියවිලි සකස්කොට මුදල් ගෙවීමටද කටයුතු කෙරිණි. ඒ අනුව දිමුතු වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශත වීමට සූදානමින් සිටියේය. දිමුතුට මිතුරන්ගෙන්ද අඩුවක් නොවිය. ඔහු මිතුරන් රැසක් ඇසුරු කළේය. ඒ අය අතර නාහෙට නාහන මිතුරන්ද දිමුතුට සිටියේය. දිමුතුලා පදිංචිව සිටියේ මුහුදුකරය ආශ්‍රිත ගම්මානයකය. ඇතැම් දිනවල රාත්‍රි සාදවලට ද ඔහු මිතුරන් සමඟ ගියේ විනෝද වීම සඳහා ය.

“අනේ පුතේ රෑ පාටිවලට යන්න එපා.” දිමුතුගේ මවුපියන් ඔහුට එසේ අවවාද කළද ඔහු ඒ කිසි දෙයක් තුට්ටුවකට ගණන් ගත්තේ නැත. දිමුතුගේ මේ හැසිරීම ගැන මවුපියන් සිටියේ කනගාටුවෙනි. එක් දිනක රාත්‍රි දිමුතු මිතුරකුගේ නි‍ෙවසේ පැවති සාදයකට සහභාගිවීම සඳහා පිටත්ව ගියේය.

“පුතේ ඔය ගමන යන්න එපා...” දිමුතුට මව කීවාය. එහෙත් මවගේ අණට කීකරු නොවූ දිමුතු නි‍ෙවසින් පිටත්ව ගියේය.

දිමුතුට අතරමඟදි මිතුරන් පිරිසක්ද මුණගැසුණේය. මේ අය විනෝද වීම සඳහා අලුතෙන් ඉදිකරගෙන යන දෙමහල් නි‍ෙවසක් වෙත ගියහ. එම දෙමහල් නි‍ෙවසේ ඉහළ මාලයට ගිය දිමුතු ඇතුළු මිතුරෝ පිරිස මත්පැන් පානය කරමින් විනෝද වන්නට වූහ. සාදය මැදියම් රාත්‍රිය වන තෙක්ද පැවතුණි. මෙම සාදයේ දිමුතු සහ මිතුරන් කීප දෙනකු අතර වචන හුවමාරුවක් ද සිදු විය. එහෙත් එය වැඩිදුර ගියේ නැත. සාදය ජයටම පැවැත්වෙමින් තිබිණි. ඉන් අනතුරුව දිමුතු අතුරුදන් විය. මිතුරෝ දිමුතු ගැන හොයන්නට වූහ. එහෙත් දිමුතු ඉහළ මාලයේ සිටියේ නැත. අලුයම 1.00 පමණ විය. දිමුතු උඩු මහලින් බිමට වැටී සිටිනු තවත් මිතුරකු දුටුවේය. ඔහු දිමුතුට කතා කළද දිමුතු කතා කළේ නැත. දිමුතු රෝහල්ගත කිරීමට මිතුරන් පියවර ගනු ලැබීය. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටියේය.

දිමුතුගේ මරණය පිළිබඳ නොයෙකුත් සැක සංකා ඇති විය. දිමුතු ඉහළ මාලයෙන් තල්ලු කළාද? ඔහුට පහර දුන්නාද? නැතිනම් පහළ මාලයෙන් බිමට වැටුණාද යන ප්‍රශ්න වැලක් පැන නැඟිණි. දිමුතුගේ මරණය පිළිබඳ ඔහුගේ මවුපියන්ටද සැකයක් ඇතිවී තිබූ අතර ඔවුන් ඒ සම්බන්ධව චෝදනා කළේ දිමුතුගේ මිතුරන්ටය.

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර දිමුතුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය. දිමුතුගේ සිරුර බාහිරව අධිකරණ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කළේය. එහෙත් දිමුතුගේ සිරුරේ ඉතා කුඩා සිරීම් තුවාල දෙකක් හැරෙන්නට කිසිම තුවාලයක් දක්නට නොවිය. කෙනකු උඩකින් වැටුණු විට අස්ථි බිඳීම් ඇතුළු බරපතළ ගණයේ තුවාල රැසක් තිබිය යුතුය. එහෙත් දිමුතුගේ සිරුරේ එවැනි තුවාල දක්නට නොවීය. හෘදයාබාධයක් හෝ රුධිර ගලනයක් වැනි දෙයකින් දිමුතු මියගොස් සිටියේ ද නැත. ඉක්බිති අධිකරණ වෛද්‍යවරයා විසින් පටක පරීක්ෂණයක්ද සිදු කරනු ලැබීය. නමුත් ඒ පරීක්ෂණය තුළින්ද කිසිවක් අනාවරණය වූයේ නැත. 

ඉන්පසු විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් දිමුතුගේ උදරය විවෘත කළේය. මත්පැන් ගඳ දැඩි ලෙස වහනය වන්නට විය. ලේ සාම්පල් කිහිපයක් සහ උදරයේ තිබූ කොටස් රස පරීක්ෂක වෙත යැවීමට අධිකරණ වෛද්‍යවරයා විසින් කටයුතු කළේය.

“මේ මුත්‍රා සාම්පල්ද පරීක්ෂණවලට යොමු කළා. මේ තරුණයාගේ රුධිරගත ඇල්කොහොල් ප්‍රමාණය මිලි ග්රෑම් 425ක් තිබුණා. ඒක ඉතා ඉහළ අගයක්. ඇල්කොහොල් විස වීමෙන් මිය යන්න පුළුවන්. මේ පුද්ගලයා මීට කලින් දැඩි ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී සිටි අයෙක්ද නෙවෙයි. මෙයා මිය යන විට මීට වඩා ඇල්කොහොල් ප්‍රමාණයක් මෙම පුද්ගලයාගේ රුධිරයේ තියෙන්න පුළුවන්. නමුත් මියගිය විට ඇල්කොහොල් ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. රස පරීක්ෂක වාර්තාව අනුව මෙම තරුණයා මියගොස් තිබුණේ රුධිරගත ඇල්කොහොල් ප්‍රමාණය විස වීමෙන්. මත්පැන්වලට ඇබ්බැහි නොවූ අයකු එක්වර විශාල වශයෙන් මත්පැන් ගත් විට මේ වගේ දේවල් වෙන්න පුළුවන්” යැයිද විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කළේය.

කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීරගේ ඇත්දැකීම් ඇසුරෙනි.

Comments