
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත විවිධ තරාතිරමේ නිලධාරින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා එක්ව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට, අදාළව මත්ද්‍රව්‍ය නාශක අංශයට පසුගියදා එල්ල වූ කළු පැල්ලම් කිසිදා කිසිවකුටත් අකාමකා දැමිය නොහැකිය.
කෙරෝනා ව්‍යසනයෙන් මුළු ලොවම පැත්ත වැටී සිටි අවධියේ දී පවා ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළීම හේතුවෙන් නාකොටික් නිලධාරින් 13 දෙනෙක් නීතියට කොටු කරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකි වුණේ නිලය, බලය දඩමීමා කරගෙන වරදක් කර මොහොතක සැනසුම් සුසුමක් හෙළුවත්, සැමදා එසේ වන්නට නීතියෙන් ඉඩක් නැතැයි යන්න රටට පසක් කරමිනි.
සමස්ත පොලිස් නිලධාරින් අතරින් අතළොස්සක් එසේ වැරදි කරනා අතරේ ඔවුන්ගේ විමසිලිමත් භාවයෙන් ප්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය පමණක් නොව මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් ද අත්අඩංගුවට මත්කුඩු කිලෝ ගණන ද සමඟිනි. එවැනි මත්කුඩු මැඬලීමේ දැවැන්ත මෙහෙයුම් ජාලය හමුවේ ජාවාරම්කරුවන් ඉතිහාසයේ අන් කවරදාටත් වඩා කැලඹීමට පත්ව ඇති මෙහොතක මතු වූ කළු පැල්ලම් කෙමෙන් කෙමෙන් මැකී යාම පැසසුමට කරුණකි.
එය එසේ වුවත් මෙහි දිග හැරෙන්නේ නාකොටික් නිලධරයකු නිසා පොලිසියට එක් වූ තවත් කළු පැල්ලමක් පිළිබඳ කතාවකි.
ඒ හෙරොයින් ජාවාරම්කාර රැඳවියකු වෙනුවෙන් අධිකරණයේ පැවැති නඩු විභාගයකට පෙනී සිටීමට පැමිණි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සැරයන්වරයෙක් එම රැඳවියාගේ අනියම් බිරිය වූ කුඩු ජාවාරම්කාරිය සමඟ එක්ව මත් කුඩු අලෙවි කිරීමට ගොස් සිටියදී මත්කුඩු ග්‍රෑම් පහකට වැඩි ප්‍රමාණයක් සමඟින් කුරුණෑගල නගරයේදී ඉකුත් 14 වැනිදා දහවල් අඹන්පොළ පොලිස් ස්ථානයේ නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමකි.
හෙරොයින් මිල දී ගැනීමේ මුවාවෙන් එහි ගිය පොලිස් කණ්ඩායම ඔවුන් නීතියේ රැහැනට කොටු කරගෙන ඇත්තේ මෙසේය.
අඹන්පොළ පොලිසිය 'අයිස්' මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සිවිල් ආරක්ෂක බළකා සෙබළකු අත්අඩංගුවට ගන්නා ලද්දේ මීට දින කීපයකට ඉහතදීය.
ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී එම මත්ද්‍රව්‍ය ''අඹන්පොළ අක්කා'' හෙවත් ''කෑගලු අක්කා''ගෙන් මිල දී ගත් බව අනාවරණය විය.
ඔහු සතුව ඇගේ ජංගම දුරකථන අංකය ද තිබිණි. පොලිසිය ඉදිරිපිට දී ඔහු 'අඹන්පොළ අක්කාට' දුරකතන ඇමැතුමක් ගන්නේ හෙරොයින් මිල දී ගැනීම සඳහාය. ඒ අඹන්පොළ පොලිස් නිලධාරින්ගේ උපදෙස්වලට අනුවය.
''මල්ලී මං දැන් ඉන්නේ කුරුණෑගල ටවුමේ. මං උසාවියට එනවා. ඒ අතරේ බිස්නස් එක කරන්න පුළුවන්. මම ඉන්නේ කළු පාට එව්රි වෑන් එකේ. ඔයා එන්න. ඇවිත් මට කෝල් එකක් දෙන්න. මං ඉන්න තැන කියන්නම්.''
ඒ අනුව සෙබළා කැටුව යන පොලිස් කණ්ඩායම උසස් පොලිස් නිලධාරින්ගෙන් ලද උපදෙස් මත පෞද්ගලික වාහනයකින් ඉකුත් 14 වැනිදා පෙරවරුවේ අඹන්පොළ සිට කුරුණෑගල බලා පිටත් වූහ.
එහි ගිය පොලිස් නිලධාරින් නගරයේ නැවතී සිටියදී සිවිල් ආරක්ෂක සෙබළා දුරකතන ඇමැතුමක් ගත්තද අඹන්පොළ අක්කා තැනින් තැනට එන්නැයි කියමින් ඔවුන් නොමඟ යවනා බව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක හේරත් විජේසිංහට වැටහිණි. ඒ අතරේ එතැනින් ගිය කළු පැහැති වෑන් රථය දෙසට ඔහුගේ නෙත යොමු විණි. ඒ යන්නේ අදාළ වෑන් රථය යැයි සිතූ පොලිස් නිලධාරින් එම රථය පසුපස ලුහු බැඳ ගොස් පොලිස් ස්ථානය අසල අතුරු මාවතකින් වෑන් රථයට ඉස්සර කර ශාන්ත ආනා විද්‍යාලය ඉදිරිපිට මඟ හරස් කර නවත්වන ලදි.
ඒ සමඟම පිටුපසින් පැමිණි වෑන් රථය ද ඉදිරිය යාමට නොහැකිව නැවතිණි. එහි සිටි රියදුරු වෑන් රථයෙන් බැස පලා යද්දී පොලිස් කණ්ඩායමක් දිව ගොස් ඔහු අල්ලා ගන්නා විට තවත් පිරිසක් වෑන් රථය වට කළෝය.
''මම නාකොටික් එකේ සාජන් කෙනෙක්. උසාවියේ නඩුවකට ආව ගමන් මේ අක්කත් එක්ක ටවුන් එකට ආවා. ඇයි මොකද්ද ප්‍රශ්නය.'' ඔහු කිසිවක් නොදන්නා සේ පොලිසියෙන් ප්‍රශ්න කරනා විට පොලිසිය ඔහු පරීක්ෂාවට ලක් කළේය.
ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී හෙරොයින් සොයා ගැනිණි. ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 320 ක් හෙරොයින් ඔහු සන්තකයේ තිබිණි.
ඒ අතරේ කාන්තා පොලිස් සැරයන් ඉෂංකා වෑන් රථයේ සිටි කාන්තාව ද පරීක්ෂා කරන අතරේ ඇය සන්තකයේ තිබියදීත් මත්කුඩු ග්රෑම් 3යි මිලි ග්‍රෑම් 20 සොයා ගන්නා ලදි.
මෙම පොලිස් සැරයන්වරයා කවුදැයි යන්න විමර්ශනය කිරීමේ දී හෙළි වූයේ මෙවැනි කතාවකි. මත්ද්‍රව්‍ය නාශක අංශය මඟින් මීට වසරකට පමණ පෙර හෙරොයින් ජාවාරම්කාරයකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු දැනට බූස්ස රැඳවුම් කඳවුරේ සිටිනා අතර රැඳවියා පසුගිය14 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනෙන ලදි. එම නඩුව මෙහෙයවන්නේ මත්ද්‍රව්‍ය නාශක අංශය මඟිනි. ඒ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම සඳහා මෙකී සැරයන්ද පැමිණියේය.
මෙම කාන්තාවද අඹන්පොළ පොලිස් වසමේ පදිංචිකාරියක වුවත් ඇය පළමු විවාහයෙන් වෙන් වී මෙම රැඳවියා සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යන්නීය. එම තැනැත්තා බන්ධනාගාරගත වී සිටින නිසා ඔහු කරගෙන ගිය මත්කුඩු ජාවාරම ඇය විසින් කරගෙන යන බවකි. එදින උසාවියට ගෙනෙන ලද රැඳවියා බලන්නට ඇය පැමිණ සිටින බවත් එහිදී අනාවරණය විය.
මෙම පොලිස් සැරයන්වරයා එදින පැවැති නඩු විභාගය නිම වී යන ගමනේ දී මෙම කාන්තාව ද වාහනයට නංවාගෙන ගොස් ඇති අතර ඇගේ ඉල්ලීමකට අනුව නගරයට පැමිණි බවට ඔහු පැවැසූ නමුත් ගනුදෙනුව සඳහා මෙදින පැමිණි සෙබළාට පසු අවස්ථාවල දී දුරකතනයෙන් කතා කළේ මේ පොලිස් සැරයන්වරයා බවත්, ඔහු සන්තකයේ ද මත්කුඩු තිබී අසුවීමෙන් ඔහු සහ ඇය අතර ගොඩ නඟා ගත් සමීපතාවයන් මත දෙදෙනා එක්ව කුඩු ජාවාරම සිදුකරගෙන යන බවට පොලිසිය සැක කරයි.
එමෙන්ම පොලිස් සැරයන්වරයාගේ යැයි පැවසන වෑන් රථය සම්බන්ධව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමේ දී එය පළමු හිමිකරුගෙන් මෙම ජාවාරම්කාර කාන්තාව මිලදී ගෙන ඇති බවයි. ඇය මිලදී ගත් වෑන් රථය මෙම සැරයන්වරයාට බාර දී තිබෙන බවට ඒ සම්බන්ධ විමර්ශනවල දී හෙළි වූ බවද පොලිසිය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් නීති විරෝධී ජාවාරම් බව දැන දැන ඒවාට වගකිවයුතු අංශයක නිලධාරියකු අනුබල දීම වරදකි. එසේම ඔහු ඇඳ සිටි සාක්කුවක තිබී කුඩු අසුවීම ඊටත් වඩා වරදකි. මේ ජාවාරම්කාරිය ඇගේ අනියම් සැමියා වූ රැඳවියා බේරා ගැනීම සඳහා තමන්ට වාසිදායක ලෙසට සාක්ෂි ලබා ගැනීමට අධිකරණයේ පෙනී සිටින සැරයන්වරයා සමඟ සමීප සම්බන්ධතා පවත්වනවාද, ඒ ඔස්සේ තම නිල හැඳුනුම්පත භාවිත කොට ඇය ලබා දුන් වෑන් රථයෙන් ගොස් අන් අයට සැකයක් මතු නොවන ලෙසට දෙදෙනා හා එක්ව මෙම ජාවාරමේ කාලයක සිට සුක්ෂ්ම අයුරින් කරගෙන ගොස් ඇද්ද යන්න සම්බන්ධව වැඩිදුර විමර්ශනයන් සිදුකිරීමට නියමිතය.
සැකකරුවන් මහව වැඩබලන මහේස්ත්‍රාත් අනුෂා පී. රණසිංහ වෙත පොලිස් සැරයන් (12736) ධර්මසේන විසින් ඉදිරිපත් කරන ලදි. සැකකරු සහ සැකකාරිය 18 වැනි දා තෙක් රඳවාගෙන ප්‍රශ්න කරන්නට පොලිසියට අවසරය ලැබිණි.
නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජේ. නන්දනගේ උපදෙස් මත මහව සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධනගේ අධීක්ෂණයෙන් අඹන්පොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පෙරේරාගේ මෙහෙය වීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක හේරත් විජේසිංහ, සැරයන්වරුන් වන සේනාරත්න (5926), ප්‍රේමරත්න (46448), කාන්තා පොලිස් සැරයන් ඉසංකා (2548), කොස්තාපල් හේරත් (67883), හේරත් (88619) සහ රියදුරු පොලිස් සැරයන් මනතුංග (11710) වැටලීමට සහභාගි වූහ.